Full Story: ශ්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාඛ ‘රතු දත්ත ලැයිස්තු‘ එළි දැක්වේ

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක ඊයේ (03) දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය.

මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධව Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළේය.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්. ඒ.ආර්. ආර්. රූපසිංහ මහතා විසින් රතු දත්ත ලැයිස්තු දෙක අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය, ‘‘වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ රතු දත්ත පොත යනු වඳවීමේ හා තුරන්විමේ තර්ජනයට ලක්ව ඇති වෘක්ෂලතා හා සතුන් පිළිබඳ දැක්වෙන වාර්තාවක් පමණක් ලෙසයි. නමුත් ශ්‍රී ලංකාවේ හමුවන සියලුම සතුන් හා ශාඛ සංරක්ෂණ තත්ත්වයන් පිළිබඳව තක්සේරු කිරීමක් ද මෙම වාර්තාව මගින් සිදුවෙනවා. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම සත්ව හා ශාඛ ප්‍රජාවන් සංරක්ෂණය කර ගනිමින් කටයුතු කිරීම සම්බන්ධව අපිට අවධානය යොමු කරන්නට සිදුවෙනවා‘‘

එළි දක්වනු ලබන්නේ රතු දත්ත පොතේ වැදගත්ම රතු ලැයිස්තු දෙකයි. ඒ අනුව 2020 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළීබඳ රතු දත්ත ලැයිස්තුව සහ 2020 ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලැයිස්තුව එළිදැක්වීම සිදු වෙනවා.

මේ වනවිට පක්ෂීන්, ක්ෂීරපායීන්, උරගයින්, උභයජීවින්, සමනල්ලු, බත්කූරන්, කුහුඹුවන්, මීමැස්සන්, මකුළුවන්, මිරිදිය කකුළුවන්, හා ගොඩබිම වෙසෙන බෙල්ලන් යන විශේෂ 11ක් සම්බන්ධව රතු දත්ත ලැයිස්තු සැකසීම අවසන් වෙමින් තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ 12ක් සම්බන්ධව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් තිබෙනවා. එම අංශ 12 සම්පූර්ණ වීම මගින් රතු දත්ත පොත සකස් කරනවා.

රතු දත්ත පොත සැකසීම පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ. එසේම, අප රටේ විද්වතුන් විශාල පිරිසක් මේ සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. ඒ නිස අපේ ජෛව විවිධත්ව අංශයට හා ඒ විද්වතුන් සියලු දෙනාට මම කෘතඥතාවය පළ කරනවා.

ඒ වගේම මේ සඳහා සහයෝගය පළ කළ ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව හා එහි ශාඛාගාරයටත්, ලෝක සංරක්ෂණ සංගමය IUCN ටත් මගේ ස්තුතිය පළ කරනවා. මෙම වසර අවසන් වනවිට ඉතිරි සියලුම අංශ සම්පූර්ණ කළ හැකියි. ඒ අනුව ලබන වසර වනවිට අපිට සමස්ත රතු දත්ත පොතම එළිදැක්වීමේ හැකියාව තිබෙනවා. කොවිඩ් 19 තත්ත්වය මැද වුවත් අපේ ජෛව විවිධත්ව ඒකකයේ කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව අවධානය යොමු කර එම කටයුතු අවසන් කිරීම සම්බන්ධව මම මගේ ස්තුතිය පිරිනමනවා‘‘

වෘක්ෂ ලතා පිලිබඳ 2020 ජාතික රතු දත්ත ලැයිස්තුව.

ශ්‍රී ලංකාවේ ශාඛවල රතු දත්ත ලැයිස්තුව කියන්නේ දේශීය ශාඛවල සංරක්ෂණ තත්ත්වය පමණක් නොව එම තර්ජන හා වඳවීමේ අවදානම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගවල දර්ශකයක්. මෙම වාර්තාව සකස් කිරීමට අපේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙන්ම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාඛාගාරයේ තාක්ෂණික හා උපදේශක කණ්ඩායමක දායකත්වය ද ලබා දුන්නා.
මෙම වාර්තාවට ශ්‍රී ලංකාවේ ශාඛ විශේෂවල විශේෂයෙන් සපුෂ්ප ශාඛ හා පර්ණාංග ශාඛවල ජාතික සංරක්ෂණ තත්ත්වය ඇතුළත් වෙනවා.

මෙම වාර්තාව අනුව ජාතික රතු ලැයිස්තුවට ශාඛ කුළ 186ක සපුෂ්ප ශාඛ විශේෂ 3087ක් ඇගයීමට ලක් කළා. ඒ අනුව ඒක දේශීය සපුෂ්ප ශාඛ 863ක් ( මුළු සපුෂ්ප ශාඛවලින් සියයට 28ක්) ඇතුළත් වෙනවා. 2012 වාර්තාවට ඇතුළත් නොකළ එහෙත් මෙවර වාර්තාවට ශාඛ විශේෂ 64ක් ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. 2012 ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ නව විශේෂ 10ක් තවදුරටත් රතු ලැයිස්තුවට අන්තර් ගත වෙනවා.

2012 වාර්තාව මගින් අප රටෙන් වඳ වී ගිය ලෙස සැළකූ ශාඛ වර්ග 05කින් තුනක්ම තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශාඛ විශේෂ දෙකක් තවදුරටත් වඳ වී ගිය ශාඛ ලෙස සැළකෙනවා. පසුගිය කාලයේ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක් වු පඩු කරඳ ශාඛය හෙවත් Crudia Zeylanica ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාඛයක් නොවන බවට මෙම වාර්තාවෙන් තහවුරු කරනවා.

ඇගයීමට ලක් කරන ලද සපුෂ්ප විශේෂ 3087න් 1496ක්ම තර්ජනයට ලක් ව ඇති බවට ශාඛ රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වෙනවා. මෙම සංඛ්‍යාව අපේ රටේ සමස්ත සපුෂ්ප ශාඛවලින් සියයට 48.4ක්. මෙම තර්ජනයට ලක්ව ඇති විශේෂ ව්‍යාප්තව තිබෙන්නේ මහනුවර, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවලයි.

දිලීර ලැයිස්තු දෙකක් යටතේ ඝණ 422කට කුල 183කට අයත් ලංකාවේ ශාඛ ආශ්‍රිත දිලීර විශේෂ 1139ක් හා දෙවන ලැයිස්තුවට ඝන 96කට අයත් ඇගරික් දිලීර විශේෂ 345ක් අයත්.

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ තර්ජිත තත්ත්වය ඇගයීම 2020 රතු ලැයිස්තුව

අප රටේ මත්ස්‍ය විශේෂ 97ක් මෙම වාර්තාව යටතේ ඇගයිමට ලක් කර තිබෙනවා. ඉන් විශේෂ 61ක් අප රටට ආවේණික බව හඳුනාගෙන තිබෙනවා. ඉන් අපේ රටට ආවේනික විශේෂ 12ක් දැඩි තර්ජිත ලෙස රතු ලැයිස්තු ගත කර තිබෙනවා. තවත් විශේෂ 29ක් තර්ජිත වන අතර ඉන් 24ක් අපිට ආවේනික මත්ස්‍ය විශේෂයි. ඒ වගේම තවත් මත්ස්‍ය විශේෂ 10ක් අවදානම් තත්ත්වයේ සිටින අතර ඉන් 09ක්ම අපිට ආවේනික මත්ස්‍ය විශේෂයි. එමෙන්ම ආවේනික විශේෂ 05ක් ඇතුළත්ව විශේෂ 10ක් ආසන්න තර්ජිත තත්ත්වයේ සිටිනවා. තක්සේරුව සඳහා දත්ත අවම විශේෂ 07ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් විශේෂ 02ක් අපිට ආවේනික මසුන්. ඉතිරි විශේෂ 29 අඩු අවදානම් විශේෂ යි. ඉන් විශේෂ 09ක් අපිට ආවේනිකයි.

2019 වනවිට ගෝලීය රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබුනේ ශ්‍රී ලංකාවට ආවේණීක මත්ස්‍ය විශේෂ 18ක් පමණයි. නමුත් මෙවර රතු දත්ත ලැයිස්තුව යාවත්කාලීන කිරීම මගින් අපේ රටට ආවේනික මත්ස්‍ය විශේෂ 59ක් ගෝලීය රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

රජයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

Recommended For You

About the Author: Thusal