මහජන එක්සත් පෙරමුණ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දෙයි

කේවල සහ සමානුපාතික නියෝජනයක් සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව මහජන එක්සත් පෙරමුණ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (06) සාක්ෂි දෙමින් පැවසීය.

දැනට පවතින අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ක් වියයුතු බවත්, ඉන් 140 දෙනෙක් කොට්ඨාස පදනමින්ද, 70 දෙනෙක් දිස්ත්‍රීක් පදනමින්ද, ඉතිරි 15 දෙනා ජාතික ලැයිස්තුවෙන්ද පත්විය යුතු බව එම පක්ෂයේ උපලේකම්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.

මුළු රටම එක් ජන්ද කොට්ඨාසයක් ලෙස සලකා සිදු කෙරෙන වර්තමානයේ පවතින ජනාධිපතිවරණ ක්‍රමය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ජන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් නව සංශෝධන වලදී සළකා බැලිය යුතු බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

අවශ්‍යතාව පරිදි අතුරු මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවද එම පෙරමූණ මෙහිදී කීවේය.

එමෙන්ම දේශපාලන බල අධිකාරියේ බලපෑම් වලින් තොරව, මැතිවරණ පැවැත්වීමේ කාලවකවානුව සහ දින නීතියෙන් නිශ්චය කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා කාරක සභාවේදී කීවේය.රාජ්‍ය සහ පෞද්ගලික මුද්‍රත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍යවලින් කෙරෙන අපේක්ෂකයන්ගේ සමානාත්මතාවයට හානිකරවන ප්‍රචාරණ වැළක්වීම සඳහා නීතිමය විධිවිධාන පැනවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවේ, නව මැතිවරණ සංශෝධන තුළදී සියලු ජනවර්ගවල ආරක්ෂාව තහවුරු විය යුතු බවයි. මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී, මූලික ප්‍රතිපත්තියක් ලෙස සියයට 65 ක් කේවළ ක්‍රමයටද, සියයට 35 ක් සමානුපාතික ක්‍රමයටද වියයුතු බවද එම පක්ෂය කාරක සභාවේදී අවධාරණය කළේය.

මූලික වශයෙන් කොට්ඨාස ක්‍රමය රටට අවශ්‍ය බව දේශවිමුක්ති ජනතා පක්ෂය කාරක සභාවේදී කීවේය. නව සංශෝධන මඟින් සුළු පක්ෂවල දේශපාලන නියෝජනය තහවුරු විය යුතු බවද එම පක්ෂය පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පොදු ක්‍රමයක් යටතේ පැවැත්වීමේ අවශ්‍යතාවද ඔවුහු කාරක සභාවේදී අවධාරණය කළහ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට   නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරුද, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද සභභාගි වූහ. මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම හෙට (07) පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය.

Recommended For You

About the Author: Thusal