වත්මන් ටෙලිනාට්‍ය ජන විඥානය පෝෂණය කිරීමට දක්වන උපයෝගීතාවය ප්‍රමාණවත්ද?

ටෙලිවිෂනය සමාජ ජිවීතයට මෙන්ම ජන විඥානයට බලපෑම් කරන මාධ්‍යයකි. එහිදී රටක වටිනාකම්, ධර්මතාවන්, ජන චින්තනය, සමාජ හැසිරීම්, අන්තර් ක්‍රියාවන්ට ටෙලිනාට්‍ය කරන බලපෑම ද සුවිශාල වේ.නිර්මාණාත්මක බවින් හා ජන විඥානය ධනාත්මක මඟකට නැඹුරු කරන ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ අවශ්‍යතාව අද්‍යතන සමාජය සතුව පවතී.

මානව සංහතියේ ආරම්භයේ සිට මානවයා අනවතර ලෙස සන්නිවේදන ක්‍රියාවලියක නිමග්ගව සිටී. සන්නිවේදනය මිනිසුන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී ස්වරූපයක් වන අතර ශ්‍රම හා ප්‍රජානන ක්‍රියාකාරිත්වය එමඟින් ප්‍රකට වේ. සමාජයෙන් තොරව මිනිසාට පැවැත්මක් නොමැති අතර සන්නිවේදනය පුද්ගලයාට හා සමාජයට ප්‍රධාන ජීවන අවශ්‍යතාවයකි.

ලොව කිසිදු සත්ත්වයෙකුට සන්නිවේදනයෙන් තොරව ජීවත් වීමට නොහැක.මානව සමාජයේ එකිනෙකාගේ හැඟීම් හා අදහස් අනෙකාට හැඟ වීමට හා ප්‍රකාශ කිරීමට ප්‍රධාන මෙවලම ලෙස සන්නිවේදනය උපයෝගී කර ගැනේ.සන්නිවේදනය මාධ්‍ය හා තොරතුරු යන සන්නිවේදන සංඝටක අතර ඇතිවන අන්තර් ක්‍රියාවකි.සන්නිවේදන හා මාධ්‍ය එකිනෙකට වියුක්ත කළ නොහැකි ප්‍රපංචයකි.

ජනමාධ්‍ය අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් වන රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකි.රූපවාහිනිය අනෙක් මාධ්‍ය අතරින් සුවිශේෂී වන්නේද එය කලා මාධ්‍යක් වීමය.රූපවාහිනී කලා මාධ්‍යයේ විවිධ ලක්ෂණ සහිත වැඩසටහන් විවිධ ශානර යටතේ ඉදිරිපත් වේ.එනම් ටෙලිනාට්‍ය,ප්‍රවෘත්ති වැඩසටහන්, වා‍ර්තා වැඩසටහන්, තරඟ වැඩසටහන්, විකට වැඩසටහන්, විද්‍යා ප්‍රබන්ධන, රියැලිටි වැඩසටහන් යන ශානර ගණනාවකි. මෙම එක් එක් ශානර අඩුවැඩි වශයෙන් ස්ව අනන්‍යතාව පිළිබිඹු කරන අතර ඒ අතරින් ටෙලිනාට්‍ය කලාව කැපී පෙනේ.

සෝප් ඔපෙරාව නමින් මුලින් ආරම්භ වුන මෙම නාට්‍ය කලාව නාට්‍යමය වැඩසටහන් යටතේ ඉදිරිපත් වන අතර විශාල ජනතා ආකර්ෂණයක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. ටෙලි නාට්‍ය වල චරිත සමඟ නුතන ජනයා අතිශයින්ම බැඳී සිටී.එනම් එම චරිත හා චරිත ලක්ෂණ අතර හා මිනිසා අතර ඇති සමීපතාව නිසාවෙනි.රූපවාහිනිය අනෙක් සියලු මාධ්‍ය අතික්‍රමණය කිරීමට සමත් වී ඇත්තේ අධික ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීම නිසාවෙනි.

අද්‍යතන මාධ්‍ය ක්‍රියාවලිය තුළ වඩාත්ම භාවිතා වන වචනයක් ලෙස ටෙලිනාට්‍ය හඳුනා ගත හැකි වේ.එනම් ප්‍රේක්ෂක සහභාගිත්වය මේ සඳහා වඩා යුහුසුළු වීම නිසාවෙනි.මෙම ටෙලිනාට්‍ය නම් වචනයේ නිර්මාතෘ වන්නේ ධම්ම ජාගොඩ මහතා වන අතර හෙතෙම ටෙලිනාට්‍ය කලාව සාමාන්‍ය ජනතාවට සමීප කිරීමටද ටෙලිනාට්‍ය සාමාන්‍ය ජනතාවට නිරූපණය කිරීමට පුරෝගාමී විය.ශ්‍රී ලංකාවට රූපවාහිනියේ ආගමනය සිදු වූයේ 1979 වේ.

දශක දෙකකට අධික කාලය තුළ රූපවාහිනී ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් බොහෝ කතිකාවක් සමාජය තුළ ගොඩනැගිණි. තුන්වන ලෝකයේ බොහෝ ටෙලිනාට්‍ය මඟින් දිළිඳු බවේ සිට මධ්‍යම පාංතික සමාජ ස්ථරය දක්වා විහිදෙන කතා ඉදිරිපත් කෙරේ.ඊට අමතරව බටහිර නාට්‍ය අනුකරණය කිරීමෙන් ගොඩනැඟෙන නාට්‍යද තිබේ.

ශ්‍රී ලංකාවේ නිර්මාණය වන්නා වු ටෙලිනාට්‍ය දුප්පත්කමත් පොහොසත්කමත් අතර පවතින ජීවන අරගලය මෙන්ම ඊට මැදිවන ප්‍රේම කතා මුල් කරගෙන නිර්මාණය වේ. ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ලංකාවේ නිර්මාණ වන ටෙලිනාට්‍ය වලට මෙන්ම ඉන්දියානු, තුර්කි, කොරියානු වැනි රටවල නිර්මාණය වන ටෙලිනාට්‍ය වලටද මුල් තැනක් ලබා දීමයි.

විශේෂත්වය වනුයේ දශක දෙකකට ඉහතදි පැවති ලාංකික ජනසමාජ ව්‍යුහයේ සංවිධානයේ සාධනීය හා නිෂේධනීය වෙනස්කම් ඇති කිරීමට එම නාට්‍ය මුල් වීමය.ගැඹුරු ප්‍රස්තුත මෙන්ම ඕලාරික ප්‍රස්තුත මූලික කරගෙන ටෙලිනාට්‍ය නිර්මාණය වන අතර එයින් මුළු මහත් ජනසමාජයටම සිදු කරන බලපෑම සුළුපටු නොවේ.මනුෂ්‍යත්වයේ ගුඪ චෛතසික ධර්ම මැනවින් විශද කරන ගැඹුරු කලාත්මක බවින් අනූන නාට්‍ය අත්දැකීම් ප්‍රේක්ෂකයාට අත්විඳින්නට ලැබෙන්නේ ඉතා කලාතුකින් වීම කනගාටුවට කරුණකි. රූපවාහිනිය වාණිජකරණය සමඟ ද මෙම තත්ත්වය සුපෝෂණය වු බව දක්නට ලැබෙන කරුණකි. හුදු වෙළෙඳ ලාභ අරමුණු කරගෙන මෙන්ම ජනප්‍රියත්වය තකා ඇතැම් ටෙලිනාට්‍ය මිනිස් මනස විකාරරූපී කරනු ලබන අවස්ථා අද්‍යතන ටෙලිනාට්‍ය කලාව දෙස විමසිල්ලෙන් බලන විට පෙනෙන කර

ලාංකික සමාජ විපරිණාමය කිරීමේ මුලික කාර්‍යභාරයේ විශාල කොටසක් රූපවාහිනනිය මඟින් සිදු කෙරූ අතර මුද්‍රිත මාධ්‍යයේ කාර්‍යභාරයද සුළුපටු නොවේ. ටෙලිනාට්‍ය කලාව නිසා සමස්ත මනාව සමාජයම අද වන විට වෙනම දිශානතියක් කරා ගමන් කරනු ඇත. විවිධ ආර්ථික, සමාජීය, පෞද්ගලික හා ආගමික ප්‍රශ්නවලින් තෙරපෙන පුද්ගලයින්ට තාවකාලික මෝහනයක් ලබා දීමට ටෙලිනාට්‍ය කලාව සමත් වේ.විචාරයකින් විමසිල්ලකින් තොරව ටෙලිනාට්‍ය ඔස්සේ ඉදිරිපත් වන ඇතැම් සිතුවිලි,දෘෂ්ටිවාද භාරගැනීමට ජනයා දෙවරක් සිතා බැලීම වටී. ජනමාධ්‍යකරුවාට මෙන්ම ජනමාධ්‍ය ආයතනවලටද  පැවරෙන මූලික වගකීමක් වන්නේ ජනතාවගේ විඥානය පෝෂණය කිරීමයි.

ජනඥානය වූ කලී මුළු මහත් සමාජයක මනා පැවැත්ම සහ ප්‍රගමනය තහවුරු කරන සමාජය පෝෂණය කරන නව ආකල්ප සමූහයකි. සමස්ත සමාජ තලයටම වැදගත් සංකල්පයක් වන ජනඥානය සමාජයක සාමුහික යහපත සඳහා බලපාන බව වත්මන් ටෙලිනාට්‍ය කලාව වැනි ශානරයක් පිළිබඳ අවධානය යොමු කිරීමේදි ප්‍රායෝගිකව ඔප්පු වී හමාරය.

රටේ ජනතාවගේ විඥානය සමඟ ටෙලිනාට්‍යකරුවන් ක්‍රීඩා කරන ආකාරයක් අද්‍යතන ටෙලිනාට්‍ය කලාව දෙස විමර්ශනාත්මක ඇසින් බලන විට පෙනේ.ටෙලිනාට්‍යකරුවන් ඇතුළු රූපවාහිනිය සමස්ත මාධ්‍ය නාලිකා වලට කිසියම් ලෙසකට ජනතාවගේ විඥානයට හානි නොකර එය පෝෂණය කිරීමට වගකීමක් ඇත.සමස්ත මාධ්‍ය ප්‍රපංච වලට මිනිසුන්ට යහපත් දෙයක් ලබා දීමේ වගකීම පැවරෙන අතර ජනමාධ්‍ය වෘත්තිය වඩා විශිෂ්ට වෘත්තියක් වන්නෙත් ඒ නිසාවෙනි.

කෙතරම් දුරට මෙම වගකීම ගිලිහී ගොස් ද යන්න වර්තමාන ඉන්දියානු නාට්‍ය හා මල් කතා මූලික කරගත් නාට්‍ය වලින් විශද වේ.සමාජ තාක්ෂණය හා භාෂාව ටෙලිනාට්‍ය තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන අතර ජනයාගේ විඥානය සමඟ කටයුතු කිරීමේදි භාෂාව ඉතා වැදගත් වේ.භාෂා දූෂණය සිදු වන ආකාරය ටෙලිනාට්‍ය වල දෙබස් කාණ්ඩ තුලින් මනාව ත්‍රීව වන අතර ළමා,වැඩිහිටි, තරුණ යන ප්‍රජා කාණ්ඩ ත්‍රිත්වයටම එය දැඩි ලෙස බලපානු ඇත.

කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අද්‍යතන මිනිසා රාත්‍රි කාලය සිය විවේකී කාලය ලෙස තෝරා ගෙන තිබේ.පවුලේ සියලු සමාජිකයින් සමඟ රූපවාහිනිය නැරඹීමට ලාංකික කුටුම්බ හුරු පුරුදු වී සිටී.රාත්‍රි කාලයේ දී ටෙලිනාට්‍ය විකාශනය වීම සිදු වන අතර පවුලේ සියලු දෙනාම එකට හිද නැරැඹීමට ඇති ටෙලිනාට්‍ය ඇත්තේ අල්ප වශයෙනි.බොහෝ ටෙලිනාට්‍ය වල අන්තර්ගත ඇතැම් සිද්ධීන් සියලු දෙනාට එකට හිඳ නැරඹීමට නොහැකිය.ජන විඥානය විකාරරූපී කරන හරයක් නොමැති ටෙලිනාට්‍ය අද්‍යතන රූපවාහිනි මාධ්‍ය නාලිකා වල ඕනෑතරම් විකාශනය වේ.ඒ සියලු ටෙලිනාට්‍ය මඟින්  ජන විඥානයට කෙතරම් දුරට සමීප ද ආමන්ත්‍රණය කරන්නේ ද යන්න ගැටලුවකි.

ශ්‍රී ලාංකීය පොදු ජන විඥානය සජීවි ලෙස හඳුනා ගැනීමට ටෙලිනාට්‍ය කලාවට හැකි අතර එය වර්තමානයේ කොතරම් සාර්ථක ලෙස සිදුවේද යන්න පිළිබඳ අර්ථ විරහිත ප්‍රඥාව ශූන්‍ය ටෙලිනාට්‍ය මඟින් හඳුනාගත හැකි වේ.යම් ජන සමාජයක ජීවත් වන අයෙකු එම සමාජයේ අන් අයගේ මත, අදහස් ඔස්සේ ලොව දකින ආකාරය ගෝලීයකරණ සමාජ සන්දර්භය තුළ ඉතා වටිනු ඇත.

එමිල් ඩර්කයිම්, ලුවී අල්තූසර් වැනි මනෝවිශ්ලේෂණවාදීන් පෙන්වා දෙන්නේ යම් ස්වාධීන අයෙකු විශාල සමාජ කණ්ඩායමක් ව්‍යුහයක් තුළ තම අනන්‍යතාව මතු කර ගැනීම ජන විඥානය බවය.ටෙලිනාට්‍ය ඔස්සේ මතු කරන අදහස් වලට ජන විඥානය නිර්මාණය වීමේ නැඹුරුවීමේ ඉඩකඩ ඉතා වැඩි වේ.එහිදී ටෙලිනාට්‍ය මඟින් සවිඥානිකව සිය ප්‍රස්තුත වඩා යහපත් යැයි සිතනු ලබන ආකාරයට ගෙනහැර දැක්වීම වැදගත් වේ.ගෝලීය ජන සමාජයක් තුළ ධනාත්මක හා සාධනීය ලෙස ජන විඥානය පුළුල් කිරීමට ටෙලිනාට්‍ය කලා ශානරය මනාව උපයෝගී කර  ගැනීමට හැකියාව තිබේ.

ගෝලීය ජන සමාජයේ ප්‍රබල ලෙස ජන විඥානය මෙහෙයවන මෙහෙයුම් කාරකයක් වන රූපවාහිනිය ලාංකීය ජන විඥානය සකස් කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරලීම අතිශයින්ම වැදගත් වේ.නිවැරදි මඟකට ජන විඥානය හැසරවීමට ටෙලිනාට්‍ය සතු සම්භාවිතාව වැඩි වේ.එහිදී ටෙලිනාට්‍යන්ට පැවරෙන කාර්‍යභාරය සුළුපටු නොවේ.

ජන විඥානය මනාව හඳුනාගෙන නාට්‍ය කළ යුතු බව ප්‍රවීණ අධ්‍යක්ෂක රවීන්ද්‍ර ආරියරත්න මහතා පෙන්වා දේ.ජන විඥාන දිශානතිය වෙනස් කිරීමට ටෙලිනාට්‍යක හැකියාව ඇති අතර එය අවභාවිත නොකිරීමට වග බලා ගත යුතුය.

වැරදි, පුහු ආකල්ප මෙන්ම ඵලක් නොමැති රැල්ලට හසු නොවී රූපවාහිනී ටෙලිනාට්‍ය ජන විඥානයට ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කරන කලා ශානරයක් ලෙස පරිවර්තනය වීමේ කාලය උදා වී තිබේ.ටෙලිනාට්‍ය වල අන්තර්ගතය,චරිත,දෙබස් යනාදි සෑම අනුෂාංගික අංගයක්ම ජන විඥානයට බලපාන අතර ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රබල ප්‍රතිරූප ගෙන ඒමට ටෙලිනාට්‍යකරුවන් සතුව වගකීමක් තිබේ.

ටෙලිවිෂනය සමාජ ජිවීතයට මෙන්ම ජන විඥානයට බලපෑම් කරන මාධ්‍යයකි. එහිදී රටක වටිනාකම්, ධර්මතාවන්, ජන චින්තනය, සමාජ හැසිරීම්, අන්තර් ක්‍රියාවන්ට ටෙලිනාට්‍ය කරන බලපෑම ද සුවිශාල වේ.නිර්මාණාත්මක බවින් හා ජන විඥානය ධනාත්මක මඟකට නැඹුරු කරන ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ අවශ්‍යතාව අද්‍යතන සමාජය සතුව පවතී.

තරුෂි ප්‍රනාන්දු,

ජනමාධ්‍ය අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Thusal