පස ගැන නිසි දැනුමක් තිබීම කෘෂිකර්මාන්තයට වැදගත් වන්නේ ඇයි ?

ශ්‍රී ලංකාව ලොව අනෙකුත් රටවල් මෙන්ම ස්වභාවික සම්පත් වලින් ඉතාමත් වැදගත්කමක් දරන රටක් වන අතර ස්වභාවික සම්පත් වන වනාන්තර, පස, ජල සම්පත, පාෂාණ ව්‍යාප්තිය ආදියෙන් පෝෂණය වූ රටකි.

ලංකාවේ භෞතික පරිසරය පිළිබඳ විමසීමේදී පස යන සාධකය ශ්‍රී ලාංකික ජනයාට මෙන්ම සත්ත්ව ප්‍රජාවට ද ඉතාමත් වැදගත් ප්‍රභවයක් ලෙස සඳහන් කළ හැකිය. මානවයාගේ ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි පසෙහි විවිධත්වය විවිධාකාරයෙන් බලපානු ලබයි. නිදසුනක් ලෙස විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනයාට විවිධ බෝග වගාවන් සඳහා වැදගත් වේ.

පස යන සාධකය වැදගත් වීමට හේතුව සාධක වනුයේ මානව ජීවිතයේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන හෙයිනි. නිදසුන් ලෙස ඈත අතීතයේ සිට ලක්වාසී මානව ප්‍රජාව ඔවුන්ගේ ජීවනාවලිය සකසා ගැනීම උදෙසා කෘෂිකර්මාන්තය සිදුකර තිබේ. කෘෂිකර්මාන්තය අතින් අතීතයේ මෙන්ම අද්‍යතනයේ ද ශ්‍රී ලංකාව ස්වයංපෝශිත රටක් වන අතර මෙහිදී පසේ විවිධත්වය විවිධ ප්‍රදේශවල මානවයාගේ වගාවන් සඳහා බලපානු ලබයි.

ශ්‍රී ලංකාවේ පස් අතරින් වියළි කලාපයේ දක්නට රතු දුඹුරු පස ගොවිතැන සඳහා යෝග්‍ය වන අතර එම කලාපයට ලැබෙන අඩු වර්ෂාව මෙන්ම උෂ්ණාත්වය හේතුවෙන් එම කලාපයේ රතු දුඹුරු පස ව්‍යාප්ත වීමට හේතු සාධක වී තිබේ.

වියළි කලාපීය ප්‍රදේශයන්ට අයත් වන අනුරාධපුරය, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව, වව්නියාව ආදී දිස්ත්‍රික්කයන්හි මෙම පස් වර්ගය ව්‍යාප්තව තිබෙන අතර එම කලාපයේ බෝග වගාව උදෙසා සුදුසු සාරවත් පසක් ලෙස රතු දුඹුරු පස ව්‍යාප්තව තිබේ.

මෙම ප්‍රදේශයන්හි වගා කරනු ලබන බෝග ලෙස ධාන්‍ය වර්ග, එළවළු, පළතුරු, අල වර්ග, අතිරේක ආහාරයන්, තෙල් බෝග ආදිය දැක්විය හැකිය. මෙම රතු දුඹුරු පසෙහි වියළි බෝග වගාව සිදුකරන අතර නිදසුන් ලෙස රජරට කලාපයේ අතීතයේ සිට කෘෂිකර්මාන්තය අතින් ස්වයංපෝෂිතය. තවත් පස් වර්ගයක් ලෙස චූර්ණමය නොවන දුඹුරු පස මනා ජල වහනයක් සහිත පස් වර්ගයක් වන අතර අම්පාර, මඩකලපුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල ව්‍යාප්තව තිබේ. මෙම පස ව්‍යාප්තව තිබෙන කලාපයන්හි මාශ බෝග, එළවළු වර්ග සහ ධාන්‍ය වර්ග වගා කරනු ලබයි.

සරු පසක් වන දියළු පස වී ගොවිතැන සඳහා යෝග්‍ය වන අතර නිම්න හා පිටාරතැනි ආශ්‍රිත, ඇළ දොළ, ගංගා, මිටියාවත් ප්‍රදේශයන්හි මෙම පස් වර්ගය ව්‍යාප්තව තිබේ. දිවයින පුරා ව්‍යාප්තව තිබෙන අතර වී වගාවට අමතරව එළවළු, ක්ෂේත්‍ර බෝග, පළතුරු ආදී වගාවන් සිදුකරයි. මෙම පසෙහි දක්නට ලැබෙන විශේෂත්වය වනුයේ සාරවත්භාවය වෙනස් විය හැකි වීමයි.

තෙත් කලාපීය ප්‍රදේශයන්හි ව්‍යාප්තව තිබෙන්නා වූ අපරිණත දුඹුරු ලෝම පස වගාවන් සඳහා ඉතාමත් යෝග්‍ය පාංශු කාණ්ඩයක් වන අතර මෙය රසායනික වශයෙන් සරු බවින් ඉහළ මට්ටමේ පවත්නා පස් වර්ගයකි. මෙම පස් වර්ගය ව්‍යාප්ත ව තිබෙන්නා වූ දිස්ත්‍රික්ක ලෙස නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, කෑගල්ල, රත්නපුරය සහ නුවර ආදී දිස්ත්‍රික්ක සඳහන් කළ හැකිය. ඊට අමතරව වියළි කලාපයේ කඳු බෑවුම් ආශ්‍රිතව ද මෙම පස් වර්ගය ව්‍යාප්තව තිබේ.

එළවළු, පළතුරු සහ කුරුඳු වගාව ඇතුළු කුළු බඩු ආශ්‍රිත වගාවන් මෙම පසෙහි සිදු කරනු ලබයි. ජලවහනය යහපත් ලෙසින් සිදු වන අතර මේ නිසාවෙන් වගා කටයුතු සඳහා යෝග්‍ය වේ. වගාවන් සඳහා යෝග්‍ය වන තවත් විශේෂයක් ලෙස රතු කහ පොඩ්සොලික් පස නම් කළ හැකිය. මෙය තෙත් කලාපීය ප්‍රදේශයන් වන රත්නපුර, මාතර, කළුතර, ගාල්ල සහ කොළඹ ආශ්‍රිතව ව්‍යාප්තව තිබේ. මෙම පස වගා කටයුතු සඳහා යෝග්‍ය වන අතර යහපත් ජල හුවමාරුව, වැඩි වර්ෂාපතනය, පසෙහි අම්ලික තත්වය, අයන හුවමාරුව යන සාධක හේතුවෙන් වගාවන් සඳහා ඉතාමත් යෝග්‍ය වේ.

තේ, පොල්, රබර් යන ස්ථිර බෝග වගාවන් එළවළු වර්ග, පළතුරු වර්ග ආදී බොහෝ වගා කටයුතු මෙම පස ව්‍යාප්ත ප්‍රදේශවල සිදුකරයි. මෙලෙස ශ්‍රී ලංකාවේ බොහෝ සෙයින් වගාවන් සඳහා ඉවහල් වන පස් කාණ්ඩයන් පිළිබඳව මෙලෙස සඳහන් කළ හැකිය. මේ අනුව පස යන සම්පත කොතරම් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැදගත් වනවාද යන්න මනාව ගම්‍යමාන වන අතර සැබැවින්ම මානව පැවැත්ම කෙරෙහි අතීතයේ සිට අද්‍යතනය දක්වා මිනිසාගේ ආර්ථික ක්‍රියාවලියට මනාවූ දායකත්වයක් ලබාදී තිබේ.

මෙලෙස විවිධ කලාප අනුව දක්නට ලැබෙන පස් ව්‍යාප්තිය අනුව විවිධ වූ බෝග වගාවන් සිදුකරයි. අද්‍යතනයෙහි තාක්ෂණය අතින් කොතරම් දියුණු වුවද අතීතයේ සිට පැවත එන්නා වු කෘෂිකාර්මික ක්‍රියාවලිය අප රටේ සංවර්ධන ක්‍රියාදාමයට ද හේතු සාධක වේ.

 නුවන්ති මධුෂානි සුබසිංහ –  

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය

Recommended For You

About the Author: Thusal