ඇෆ්ගන් ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියලු දෙනාම පලා යයි

ඇෆ්ගනිස්ථානයේ කනිෂ්ඨ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දේශ සීමාව තරණය කර පකිස්ථානය වෙත පැමිණ තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් කාන්තා අයිතිවාසිකම් කඩ කරනු ඇතැයි යන බිය මධ්‍යයේ පසුගිය මාසය තුළ මෙම දැරියන් සැඟවී සිට ඇත.

ඔවුන් පසුගිය මාසයේ කාබුල් නගරයෙන් පිටතට ගිය නමුත් විදේශ ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි නොමැති නිසා අතරමංව සිටි බව වාර්තා වේ.

සාමය සඳහා වූ පාපන්දු පුණ්‍යායතනය පාකිස්ථානයට බලපෑම් කිරීමෙන් පසුව ක්‍රීඩිකාවන් 32 දෙදෙනකුට සහ ඔවුන්ගේ පවුල් 32ක් වෙනුවෙන් වීසා ලබා ගත්හ.

පාකිස්තානයේ පාපන්දු සම්මේලනයේ නිලධාරියෙක් පැවසුවේ මුළු කණ්ඩායමට අයත් 81 දෙනෙකු නැගෙනහිර ලාහෝර්හි පිහිටි සම්මේලන මූලස්ථානයේ රදවා සිටින බවයි. තවත් දින දෙකකින් තවත් පුද්ගලයින් 34 දෙනෙකු පැමිණෙන බව ඔහු පැවසීය.

වෙනත් රටක සරණාගතභාවය ඉල්ලුම් කිරීමට පෙර දින 30ක් දැඩි ආරක්ෂාවක් යටතේ ක්‍රීඩිකාවන් පකිස්ථානයේ රැඳී සිටින බව එම නිලධාරියා පැවසීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ක්‍ෂණිකව තම රටට ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙස ක්‍රීඩිකාවන්ට ලිඛිතව දැනුම් දුන් බව ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත මෑතකදී හෙළි කළේය.

එම ලිපිය මගින් කියා සිටියේ තලේබාන් සංවිධානය විසින් දැරියන්ට “බරපතල තර්ජන” කිරීමේ අවදානමක් ඇති බවයි.

මාසයකට පෙර කාබුල් නගරය බිඳවැටීමෙන් පසුව, ජාතික කණ්ඩායමේ හිටපු නායක කාලිඩා පොපල් විසින් ක්‍රීඩිකාවන්ට අනතුරු ඇඟවූයේ ක්‍රීඩා කරන ඡායාරූප සමාජමාධ්‍ය වලින් ඉවත් කරන ලෙසත්, නව පාලනයෙන් ඇති විය හැකි පළිගැනීම් වලින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ගේ ක්‍රීඩා ඇදුම් පුළුස්සා දමන ලෙසත් ය.

පසුගිය සතියේ තලේබාන් සංස්කෘතික කොමිසමේ උප ප්‍රධානී අහමදුල්ලා වසික්, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම පිළිබඳ තලේබාන් ස්ථාවරය හෙළිකළ විට ඇෆ්ගන් කාන්තා ක්‍රීඩාවේ අනාගතය ගැන සැක පහළ කළේය.

“ක්‍රිකට් වලදී ඔවුන්ගේ මුහුණ සහ ශරීරය ආවරණය නොවන තත්වයකට මුහුණ පෑමට සිදු විය හැකියි. ඉස්ලාමය කාන්තාවන්ව මේ ආකාරයට දැකීමට ඉඩ නොදෙයි,” වසීක් පැවසීය.

“ඉස්ලාමය සහ ඉස්ලාමීය එමිරේට් [ඇෆ්ගනිස්ථානය] කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔවුන් හෙළිදරව් වන ආකාරයේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්නේ නැත‘‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

තලේබාන් සංවිධානය විසින් 1996-2001 දක්වා බලයේ සිටි අවසාන කාලය තුළ කාන්තාවන්ට ක්‍රීඩාවට සහභාගී වීම තහනම් විය.

තලේබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීම සමග ජනප්‍රිය කාන්තාවන් විශාල පිරිසක් වහාම පළා යාමට සමත් විය.

එරට ජනප්‍රිය පොප් ගායිකා ආර්යානා සයීඩ් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂිකා සහරා කරිමි යන දෙදෙනාම පසුගිය මාසයේදී ඇෆ්ගනිස්ථානයෙන් පළා යාමට සමත් වූහ.

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි

Recommended For You

About the Author: Thusal