කාබනික වගාවෙන් ‘සුපිරි ලොකු ළූණු අස්වැන්නක් ලබන’ ගොවි රජෙක් කළ හෙළිදරව්ව

අපට වස විස නැති ආහාර ටිකක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් වස විස නැති ආහාර ටිකක් අපි අදහන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් නම් මහා සංඝ සංඝරත්නයට පූජා කරන්න  පුළුවන් නම් ඒක තමයි කළ යුතු හොඳම දේ කියලයි මම එදා ඉදලම තීරණය කරලා තිබුණේ

සියයට අසූවක් කාබනික පොහොර යොදා අක්කරයකට කිලෝ 12,000 – 15,000ක් අස්වැන්න ගන්න දේශීය ලොකු ළූණු ගොවියෙකු  ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපට හමු විය.

දේශීය ලොකු ළූණු සඳහා සාධාරණ මිලක් මේ  දිනවල ලැබෙන නිසා  ලොකු ළූණු වගා කරුවන්ගේ අතමිට සරුවන කාලයක් එළඹී ඇති බවට ලද තොරතුරු මත ගොවීන් හමුවට ගිය අවස්ථාවේ දී මෙම අපූරු ගොවි මහතා අපට හමු විය.

ඔහු නමින් එස්. ඒ. රතනපාල වෙයි. ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි මෙම ගොවි රජා අක්කර 100කට ආසන්න ප්‍රමාණයක්  තුන් කන්නය වගාකරන ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් 70කට වැඩි පිරිසකට දිනපතා රැකියා ලබා දෙන ගොවි රජෙකි.

රත්නපාල ගොවි මහතා  උදේ සිට  පස්වරුව දක්වා ම ගොවිපළේ සිටිමින් එහි වගා කටයුතු වල නිරත වීම තවත් සුවිශේෂී වූ කටයුත්තකි. මන්ද විශාල ගොවිපළවල් කරන බොහෝ හිමිකරුවන් නිවෙස් වලට වී සේවකයන් යොදා ගොවිපළ කළමනාකරණය කිරීම් නඩත්තු කිරීම පාලනය කිරීම සිදුකරති. රත්නපාල මහතා එසේ  නොමැත. තම සේවකයන් සමඟ එක්ව හරි හරියට උදේ සිට මහ පොළොවත් සමග ගැටෙන්නේ ඔහුගේ දහඩිය බිංදු මහ පොළොවට වැටෙන්නට ය.

වීදේශීය ලොකු ළූණු  ආනයනය කරද්දී  රජය කිලෝවකට රුපියල් 40ක බදු මූ මුදලක් පසුගියදා රජය පැනවීම්ත් සමඟ මිල ඉහළ යන්නට හේතු විය.

මේ දිනවල තම ලොකු ළූණු අස්වනු නෙළීම ආරම්භ කොට තිබෙන බවත් දේශීය ලොකු ළූණු  කිලෝවකට රුපියල් 120- 130 දක්වා වූ මිලක් ලැබෙන බවත් ඉදිරියේදී එම මිල ද මීට වඩා වැඩි විය හැකි බව දේශීය ලොකු ළූණු ගොවීහු පෙන්වා දෙති.

කාබනික පොහොර වැඩි වශයෙන් යොදාගෙන මෙවර දේශීය ලොකු ළූණු වගාව සිදුකල බවත් අක්කර එකකට කිලෝ 12,000-15,000 අතර සාර්ථක අස්වැන්නක් මෙවර ලොකු ළූණු වලින් ලැබෙන බව ගලේවෙල ප්‍රදේශ්යේ මහා පරිමාණයෙන් දේශීය ලොකු ළූණු ගොවියකු වූ එස්. ඒ. රතනපාල  මහතා පැවසීය.

රතනපාල මහතා මෙසේ ද පැවසීය, ‘‘දේශීය ලොකු ළූණු අස්වැන්න නෙළන සමය ආරම්භ වන විට විදේශීය රට රටවලින් ශත 25ක රජයට බදු ගෙවා විශාල වශයෙන්  විදේශීය ළූණු මෙරට ගබඩා කර තිබුණා. ජනමාධ්‍ය හරහා මෙම තත්ත්වය පෙන්වා දීම සමඟ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ සදහා වහාම මැදිහත් වුණා. ඔවුන් මේ තත්ත්වය ගැන ජනපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයාව දැනුවත් කරමින් කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කළා. ඒ අනුව ආනයනය කරන ලොකුළූණුවලට රුපියල් 40ක බද්දක් පැනවීමට රජය තීරණය කළා. මේ තත්ත්වය නිසා තමයි මේ කන්නයේ අපි ගොඩ ගියේ. ඒ ගැන ජනමාධ්‍ය ආයතන වලට මෙන්ම මෙම සියලු දෙනාට සමස්ත ලොකුළූණු ගොවීන් වෙනුවෙන් මම අදාළ සියලු පාර්ශ්වලට ස්තුතිය පළ කරනවා‘‘

දේශීය ලොකු ළූණු තොග  වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ  රුපියල් එකසිය 110 සිට රුපියල් 130 දක්වා වූ මිල පවතින බවත් එම මිල දැනට ප්‍රමාණවත් බව දේශීය ලොකු ළූණු ගොවිහූ  පවසති.

පසුගිය කන්න ගණනාවක්ම දේශීය ලොකුළූණු සඳහා නිසි මිලක් නොමැතිව අසීරුතාවයකට පත් වූ බවත් ඇතැම් අවස්ථාවන්හිදී දේශීය ලොකු ළූණු ගොවියාට  සාධාරණ මිලක් ඉල්ලා උද්ඝෝෂණ පවා පැවැත්වීමට සිදු වූ බවත් එවැනි අවස්ථාවක රජය කඩිනමින් අවධානය යොමු කිරීම් නිසා තමන්ට විශාල සහනයක් බව දේශීය ලොකුළූණු ගොවියෝ පෙන්වා දෙති.

රතනපාල ගොවි මහතාගේ ගොවි බිමේ  අස්වනු ද මේ දිනවල නෙළීම ආරම්භ කොට ඇති අතර හෙතෙම කියා සිටියේ මෙවර අස්වැන්න අක්කරයකට කිලෝ 12,000-15,000ක් පමණ ලැබෙන බවයි.

සාධාරණ මිලක් ලැබෙන නිසා ගොවීන්ගේ අතමිට සරු බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් 80%ක පමණ කාබනික වගාව සිදු කර තිබීම නිසා අස්වැන්න සාර්ථක වූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

දේශීය ලොකු ළූණු ගොවීන් බහුතරයක් තමන්ට සාධාරණ මිලක් කලකට පසු ලැබීම් නිසා  රජයට තම ස්තුතියි පල කරන බව සඳහන් කිරීම් විශේෂත්වයකි.

මෙම කතාබහ අතරතුර මුළු රටම කාබනික වගාව ගැන කතාබහකට ලක් වෙද්දී රතනපාල මහතා අපූරු හෙළිදරව්වක් කළේය.

“ආණ්ඩුව කාබනික වගාවට යන්න කියන්න පෙර ඉදලම මම මගේ ගොවිපලේ අක්කර 50කට 60කට වැඩි ප්‍රමාණයක් 80%ක්ම කාබනික වගාව කළේ. මම කාබනික වගාවේ  සාර්ථකත්වය දන්න කෙනෙක්, විදින කෙනෙක්, කාබනික වගාව සාර්ථකව කළ කෙනෙක්,”

” පසුගිය වසර වල දේශීය ලොකුළූණු  වලට යම් මට්ටමකින් රසායනික පොහොර සහ  විවිධ වර්ග භාවිතා කරන්න සිද්ධ වුණා. ඒවා අපට කියලා දුන්නෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ම මහත්වරු.  1983 වසරේ ඉදලා තමයි ලොකු ළූණු හදන්න පටන් ගත්තේ. එදා ඉඳලා හැමකන්න කම මම ළූණු වගා කරනවා. මේ සැරේ රසායනික  පොහොර කෘමිනාසක වෙනත් ‍දේ  යොදන්න තිබුණේ නැහැ. වැඩියෙන් කාබනික පොහොර තමයි යොදන්න වුණේ. එනිසා මම අක්කර 12 -15ක් විතර ලොකු ළුණු වගා කරනවා. 80% කට වැඩි කාබනික පොහොර තමයි යෙදුවේ. වෙනදට අක්කරයකට කිලෝ 7000-10,000ත් අතර ප්‍රමාණයක අස්වැන්න ලැබෙනවා. හැබැයි මෙදා එක කොටසක හැරෙන්න අනෙකුත් වගාවන් අක්කරයකට කිලෝ 12,000-15,000ත් අතර අස්වැන්නක් ලැබුණා”

 “ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ සැරේ විශාල අස්වැන්නක් ගන්න. දැනටමත් අස්වනු නෙළලා අවසන් අදියරේ තියෙන්නේ. එක කොටසක් යම් මට්ටමකින් අස්වැන්න අඩු වෙන්න හේතු වුණේ කාබනික පොහොර යොදලා සතියක්  විතර මේවා  පොළොවේ  තියන්න ඕන හැබැයි මට ඒක කරගන්න අතපසු වුණා “

පොහොර දාල සතිය තියපු කොටස ඉතාමත් සාර්ථකයි. අනෙක් කොටස යම් මට්ටමකින් අස්වැන්න අඩු වුණා. ගොවිතැන කියන්නෙ හැමදාම අත්දැකීම් ගන්න එකක්. බොහෝ අය කිව්වට ඕන කෙනෙකුට ගොවිතැන් කරන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. මේකත් හරියට ළමයි හදනවා වගේ වැඩක්. හොඳට  හදා ගත්තොත් ළමයි ටික හොඳ පැත්තකට රටේ යනවා. නරක පැත්තකට අතෑරල දාල ගියොත් ඔවුන් ඉබාගාතේ ගිහිල්ලා හැදෙනවා. ගොවිතැන්ත් එහෙමයි. මේක  රටේ මිනිස්සුන්ට බඩගින්න නිවන්න නිෂ්පාදනය කරන දෙයක්. දෙවියන් බුදුන් ට දානය පූජා කරන්න හදන දෙයක්. ඒ නිසා බොහෝ දෙනෙක් ගොවිතැන පූජනීය ස්ථානයක් කියලා හිත්ලා වැඩ කරන්නේ නෑ.”

 “අපට වස විස නැති ආහාර ටිකක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් වස විස නැති ආහාර ටිකක් අපි අදහන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් නම් මහා සංඝ සංඝරත්නයට පූජා කරන්න  පුළුවන් නම් ඒක තමයි කළ යුතු හොඳම දේ කියලයි මම එදා ඉදලම තීරණය කරලා තිබුණේ‘‘

ගොවිතැන් බත් කරන්න පුරුදු පුහුණු වෙන ඕනෑම කෙනෙකුට මගේ ගොවිපළ තියෙනවා. ලූණු ගෙඩියේ ඉඳලා කහ, ඉඟුරු, තක්කාලි, අමුමිරිස්, ගස්ලබු විවිධ පලතුරු, එළවළු වර්ග ඕනෑම දෙයක් මගේ ගොවිපොළේ තියෙනවා”

 “හැමදාම අස්වනු නෙළන ගොවිපළක් මේක. හැමදාම යමක් ඉන්දන ගොවිපොළක් මේක. හැමදාම බෝගයක් පලගන්න ගොවිපළක් මේක. මේවා ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහ සහගතව නිර්මාණයය කරලා තියෙන ගොවිපළවල්. අපට එළු පොහොර ටික, ගොම පොහොර ටික සහ හොඳ කාබනික පොහොර ටිකක් ගොවිපළවල් වලට ප්‍රවාහනය කරන ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරි සැලසුම් කරනවා නම් ඉතා වැදගත්. මොකද කාබනික වගාවට යොමු වීමත් එක්ක  අමුද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා. කිසිම කෙනෙක් මේවට මිලත් තියන්නේ නැති කාලේ තමයි මම ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර ගෙනාවේ ඒ නිසා එතරම් අපහසුවක් වුණේ නෑ .”

“මම රජයෙන් ඉල්ලන එකම ඉල්ලීම් අපි වගේ මහා පරිමාණයෙන් වගා කරන ගොවීන්ට කාබනික පොහොර ව්‍යාපෘතියක් දෙන්න. එහෙම බැරිනම් එළු පොහොර, කුකුල් පොහොර සහ ගොම පොහොර ටිකවත් ගෙනල්ලා අපේ ගොවිපොළවල් වලට දෙන්න‍, නිකං නෙවෙයි සල්ලි වලට. අපි සල්ලි දෙන්නම්. මොකද අපට මේවා හොයන්න ඇවිදින්න ගිහාම විශාල කාලයක් ගත වෙනවා. ඒ කාලය ගොවිපොළට යොදව ගන්න, රටේ ආර්ථිකයට යොදව ගන්න තියෙන කාලයක්.”

“බොහෝ මිනිස්සු කියනවා තමන්ගේ අස්වැන්නෙන් වැඩි මිලක් ඕනේ කියලා. රජය කළ යුත්තේ ගොවීන් ඉල්ලන ඉල්ලන වෙලාවට මිල වැඩි කරන එක නෙවෙයි. නිෂ්පාදන වියදම මේ රටේ අඩු කිරීම. ගොවීන්ට වියදම් අඩු කළා නම් මිලේ ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. ලණුව ලිහලා දාපු හරක් වගේ කෘෂිකර්මය අතාරින්න හොඳ නෑ. ඒක නිතර නිතර  ළඟින් තියාගෙන වැඩ කරන්න ඕන  ක්‍රමයක් “

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal