ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම යොමු කරමින් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ සිය අමාත්‍යංශයේ කාර්යයන් ඉතාමත් සාර්ථකව සිදු කරමින් සිටි බවත් මේ වනවිට මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු හමුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකිරීමේ අරමුණින් සිය ඉල්ලා අස්වීමට තීන්දු කළ බවත් ඊට අනුමැතිය ලබා දෙන ලෙසයි.

බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා වැලිකඩ බන්ධනාගාරයටත්, අනුරාධපුර බන්ධනාගාරයටත් රුවන්වැලි මහා සෑයටත් තවත් පිරිසක් සමඟ රාත්‍රී කාලයේ බීමතින් ගොස් වියරුවෙන් හැසිරී තිබූ බව ජාතික හා සමාජ මාධ්‍ය වල පළ වූ අතර බන්ධනාගාර පරිපාලනය මේ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය හරහාද බරපතළ විරෝධයක් එල්ල වෙමින් පැවති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරියද ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවයි.

Recommended For You

About the Author: Thusal