ලෝකයේ හොඳම එන්නත්කරණය තිබූ අපට වැරදුණේ කොහොමද ? – විශේෂ හෙළිදරව්ව

වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය සහ එහි අනාගත අභියෝගයන් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින්  පවත්වන ලද අන්තර්ජාල දෙසුමක් ඇසුරිනි.

‘‘ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම වසංගතයන් රටවල් කිහිපයක ව්‍යාප්තියෙන් පසුව නතර වුනා. නමුත්, මෙම කෝවිඩ් වසංගතය ඇති වු අවස්ථාවේ සිටම විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවා, මෙම වයිරසය දැඩි ලෙස ශීඝ්‍රයෙන් ලෝකය පුරා පැතිර යාමට ඉඩ තිබෙන බව. මේකට ප්‍රධානම හේතුව තමයි, එයට අනෙකුත් වයිරස් ආසාදනයන්ට වඩා ශීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් තිබෙනවා කියන එක මුලින්ම හඳුනා ගැනීම. ඒ වගේම හඳුනා ගත්ත දෙයක් තමයි, මෙම වයිරසයට, අනෙකුත් වයිරසයන්ට වඩා මිනිසුන් මරු මුවට පත් කිරීමේ හැකියාව තිබෙන බව. මේ බව වූහාන් කියන නගරයට රෝගය සීමාවී තිබෙන විට පවා,ලෝකයේ වයිරස් විද්‍යාඥයින් හඳුනා ගත්තා. එම නිසා තමයි මුල අවස්ථාවේම අනෙකුත් රටවල් වලට පැතිරීමට ප්‍රථම මුළු ලෝකයට ම අනතුරු හැඟවීමක් කරල තිබුණේ.

ලංකාවට මෙම වයිරසය මුලින් ම ආවේ චීන ජාතික කාන්තාවකගෙන්. නමුත් ඉන් පසුව විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් මෙම වයිරසය ලංකාවට පැමිණියා. 2020 පෙබරවාරි මාසයේ වගේ තමයි මුලින් මෙම වයිරසය ආවේ. ඉන් පසුව මෙය අඩු වැඩි වෙමින් පැවතිලා, මේ වන විට වසරකුත් මාස 6 ක පමණ කාලයක් ලංකාව පුරා පැතිරෙමින් පවතිනවා. මෙතැනි දී අපට මතු වෙලා තිබෙන ප්‍රශ්නය තමයි, මෙම වයිරසය ලෝකයට ඇවිල්ලා, ලෝකය පුරා පැතිරිලා, කාලයකට පස්සේ, අපේ රටේ මෙය වසංගත රෝග තත්ත්වයක් බවට පත්වීම. මේකට හේතු තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් වල රෝගය පැතිරිලා, මිනිසුන් මියගිහිල්ල, වසංගත තත්වයක් බවට පත්වුනේ මීට බොහෝ කලකට පෙර. අද බොහෝ රටවල් එම වසංගත තත්වයෙන් එලියට ඇවිල්ලා එයින් පාඩම් ඉගෙන ගෙන, එම පාඩම් ආශ්‍රයෙන් අලුතෙන් ඇතිවෙලා තිබෙන නව තත්ත්වයන්ට අනුකූලව ජිවත් වෙනවා.ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ නව ක්‍රමවේදයන් වන එන්නත් සකස් කරල තිබෙද්දීම තමයි තමයි, පසුකාලීනව ලංකාවේ අපිට මෙම වසංගත තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ.

ලෝකයේ අත්දැකීම් අතහැර දැමීම

පළමු කාරණාව තමයි, මේ වසංගතය වසර එකහමාරක් ලොව පුරා පැතිරෙද්දී, විවිධ රටවල් විවිධ අත්දැකීම්-පුහුණුවන් ලැබ, විවිධාකාරයෙන් සුදානම් වුනා මෙම වසංගතයට මුහුණ දෙන්න. නමුත් ලොව පුරා එවැනි තත්ව, දත්ත හා ක්‍රමවේදයන් සියල්ල තිබියදී, වසර එකහමාරකට පසුව අපේ රටට මෙම වසංගතය ඇවිල්ලා, විශාල විනාශයක් කරල තිබෙනවා. මේ සම්බන්ධව පර්යේෂණ කරන වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් පවසන්නේ, අපි ඉන්නේ තවම ආරම්භක අවස්ථාවේ බවත්, ඉදිරියේ දී තවදුරටත් පැතිරෙන බවත් ය.

මෙම වසංගතය රට තුළ මෙසේ ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුවක් තමයි, අපි පසුගිය වසර එකහමාර තුල ලෝකයේ විවිධ රටවල් මේ ගැන කරපු පර්යේෂණ සහ අත්දැකීම් ආදර්ශයට ගෙන වසංගතය සඳහා සුදානම් නො වීම. ලංකාවට සුවිශේෂි තත්ත්වයක් තිබෙනවා. ලංකාව කියන්නේ මුහුදින් වට වෙච්ච දිවයිනක්. ලෝකයේ මේ වසංගත තත්ත්වයන්ට හොඳින් ම මුහුණ දුන්නේ දිවයිනවල්. ඒ කියන්නේ Island Nations රටවල්. උදාහරණයක් හැටියට ගත්තොත් තායිවානය, නවසීලන්තය, මාලදිවයින, අයිස්ලන්තය වගේ දිවයිනවල්.දකුණූ කොරියාවත් අපිට දිවයිනක් විදිහට ගන්න පුලුවන්, මන්ද උතුරු-දකුණු කොරියා ව අතර සංචරණය කළ නොහැකි නිසා. මේ දිවයින් අද වෙන කොට විශිෂ්ට තත්ත්වයෙන් කොවිඩ් වසංගත රෝග මර්ධනය කරල තිබෙනවා. දිවයිනක් ව පැවතිය දීම මේ වසංගතය පැමිණිලා, අවුරුදු එකහමාරකට පස්සෙත් අපට සිදු වෙලා තිබෙනවා මේ වසංගතයේ බරපතලම තත්ත්වයට මුහුණ දෙන්න. මේක අනෙක් අය රෑ වැටිච්ච වලේ අපි දවල් වැටුන වගේ තත්ත්වයක්.

අපට වැරදුනේ කොතනද ?

අත්දැකීම් ආශ්‍රයෙන් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ. හැම කෙනාම වැරදි කරනවා. හැම කෙනා අතින්ම වැරදි වෙන්න පුළුවන්. නමුත් එම වැරදි ආශ්‍රයෙන් ඉගෙන ගැනීම තමයි අපි කළ යුත්තේ. මුල් අවස්ථාවේ වසංගතය ආවම හොඳ දෙයක් කලා කියල තමයි අපේ මතය තිබෙන්නේ. නමුත් මුල් අවස්ථාවේ අපි යථාර්ථවාදී ව නෙමෙයි මේ වසංගතයට මුහුණ දුන්නේ. ඒ සම්බන්ධයෙන් මම ලිපියකුත් පල කලා. ඒ අවස්ථාවේ දී ලංකාවට එම වයිරසය ආවේ අහස්යානවලින් පැමිණි සංචාරකයින්ගෙන්, එහෙමත් නැත්නම් පිටරටවල සිට පැමිණි ලාංකිකයන්ගෙන්. ඒ අවස්ථාවේ අපි ලංකාවට ම ඇඳිරි නීතියක් දමා ගෙන මාස දෙකහමාරක් හිටියා.රෝගීන් 28 ක් ලංකාවේ ඉන්න වෙලාවේ මුළු ලංකාවටම ඇඳරි නීතිය දැම්මා. එතකොට මොකද වුනේ, ලංකාවේ දුෂ්කර පළාත්, කෘෂිකර්මාන්තය සිදුවෙන පළාත්, කර්මාන්ත සිදු වෙන පළාත් එකපාරටම නැවතිලා, ලංකාවේ ආර්ථික යන්ත්‍රණය එක පාරටම නැවතුණා. පසුව මාස එකහමාරක් විවිධාකාරයේ කතන්දරවලට සවන් දෙමින් ගෙදරට වෙලා සිටියා. වැඩි දෙයක් නෙමෙයි, අත හෝදන එකයි, මාස්ක් එක පලඳින එකයි ජන ගත කළේ. ජනතාවත්,ගෙවතු වගා යොමු කරලා, චිත්‍රපටියක් නැරඹීමට සලස්වල,බොහොම සුන්දර කාලපරිචේදයක්, කාලයකට පසුව ගත්ත නිවාඩුවක් ලැබුණා වගේ දෙයක් ඇති කළා. නමුත් අවශ්‍ය නීති සම්පාදනය කිරීම ආදී දේවල් ඒ අවස්ථාවේ සිදුවුනේ නැහැ. මෙම මාස එකහමාර අවසන් වෙලා රට විවෘත කරපු ගමන් අපි දැක්කා ආර්ථික අර්බුදය පටන් ගන්නවා. උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට මිනිස්සු පිරිල ඉන්නවා වගේ දේවල් අපි දැක්කා. මට ඒ අවස්ථාවේ වෛද්‍යවරයෙක් හැටියට පුද්ගලිකව පමණයි අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තිබුණේ. නමුත් ඒ අවස්ථාවේ මම කිව්වේ මෙය ආර්ථික ව්‍යවසනයකට අනිවාර්යයෙන් මග පාදනවා කියලා.

රට ඇතුළට ආපු පුද්ගලයින් 28 දෙනෙක් නිසා මාස දෙක හමාරක් ඇඳිරි නීතිය පැනවීම වැනි අනවශ්‍ය අවස්ථාවේ දී ගත්ත ක්‍රියාමාර්ගයන් නිසා අද අපිට සිදු වෙලා තිබෙනවා, දවසකට එකසිය ගණන් මිය යන කොට මොන ම ආකාරයක ඇඳිරි නීතියක් පනවා ගැනීමට නො හැකිව සිටීමට. මේ වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා. එම ක්‍රියාමාර්ගවලින් එකක් තමයි ලොක්ඩවුන් කිරීම,ඇඳිරි නීතිය පැනවීම එහෙමත් නැත්නම් සංචරන සීමා පැනවීම. දෙවැනි ක්‍රමය තමයි ජනතාවට සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීම. ජනතාවට සෞඛ්‍ය පුරුදු පුරුදු කිරීම අතින් ලංකාව හොඳ මට්ටමක ඉන්නේ. දියුණු රටවලටත් වඩා ඉදිරියෙන් ඉන්නේ. මෙහි මුඛ ආවරණ පළදින්නේ නැහැ. අත සෝදන්නේ නැහැ කියලා ජනතාවට බැණ වැදීමක් තබෙනවා. නමුත් අද අපිට දැක ගන්න පුළුවන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් එහෙම නැත්නම් යුරෝපයේ වගේ රටවල ජනතාව මුඛ ආවරණ නො පළදින බව. ජනතාව අත් සෝදන්නේ නැති බව. ජනතාව ලොකු සංගීත සංදර්ශන වගේ දේවල්වලට යනවා. එතකොට කොහොමද මේ තත්ත්වය ඇති වුණේ. ඒ තුන්වන කරුණින් එනම් එන්නත් කරණයෙන් ජනතාව ආරක්ෂා කරගත් නිසා.

ලෝකයේ බොහෝ රටවල් ජනතාව ආරක්ෂා කර ගැනීමට එන්නත් කරණය සිදු කරල තිබෙන්නේ අවශ්‍ය විදිහට හා අවශ්‍ය ප්‍රමාණයට. එන්නත් කරණය අවශ්‍ය වන්නේ ඇයි? ඒ රටේ පොදු ජනතාවට එම වයිරසය ට මුහුණ දිම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීමට. රෝගයකට ප්‍රතිශක්තිකරණය ලබා දීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. ප්‍රතිශක්තිය අපිට ලැබෙනවා, රෝගය අපිට වැළදුනහම. හැම රෝගයකටම නෙමෙයි. අපි හිතමු පැපොල රෝගය වැළදුනහම ජීවිත කාලයටම ප්‍රතිශක්තිය ලැබෙනවා. ඊට අමතරව ප්‍රතිශක්තිය ලැබෙන ක්‍රමයක් තමයි එන්නත් කරණය. දැන් පැපොල රෝගයට එන්නතක් තිබෙනවා. එම එන්නත දුන්නහම ප්‍රතිශක්ති කරනය ඇතිවෙනවා. එතකොට පැපොල රෝගය හැදෙන්නේ නැහැ. පැපොල රෝගය වැලදීම තුලින් හෝ එන්නත ලබා දීම තුලින් ප්‍රතිශක්තිය ලැබෙනවා හා සමානවම කොවිඩ් වයිරසය ශරීර ගතවීමෙන් ප්‍රතිශක්තිය ලැබෙනවා හෝ එන්නත් කරණය තුලින් ප්‍රතිශක්තිය ලැබෙන්න පුලුවන්. මේ ශරීරගත වීමෙන් ප්‍රතිශක්තිය ලැබෙනවා කියන එක කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් භයානක වෙන්නේ, කොවිඩ් වැළදීමෙන් විශාල ප්‍රමාණයක් මිය යන නිසා. පැපොල රෝගය රෝගය වැළදුනාට පස්සේ පැපොල රෝගයෙන් මිය යන ප්‍රමාණය ඉතා අඩුයි. නමුත් මේ කොවිඩ් රෝගය වැළදුනාට පසුව රෝගින් මිය යන ප්‍රමාණය වැඩියි. එම නිසා ඒ ආකාරයට අත්හදා බැලීම් කරපු රටවල්, උදාහරණයක් හැටියට එක්සත් රාජධානිය, මේ රෝගය පැතිරෙන්න ඇරලා එමගින් සමාජ ගත ප්‍රතිශක්තිකරණයට ඉඩ සැලස්වනවා කියන අදහස, මෙම වසංගත රෝගයේ මුල අවධියේ, 2020 වර්ෂයේ අප්‍රේල් – මැයි වගේ මාස වල අත්හදා බැලුවා. අත්හදා බලද්දි විශාල පිරිසක් මිය ගියා. එහිදි එක්සත් රාජධානිය දැන ගත්තා මේ අත්හදා බැලීම සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මුලු සමාජගත ප්‍රතිශක්තිය ඇති කිරිමේ ක්‍රියාවලියේ දී විශාල පිරිසක් මිය යෑම. මේගොල්ල දෙවෙනි ක්‍රමයට, එනම් එන්නත්කරණයට ගියා.

එන්නත්කරණයට ලක්කරන්නන්ගේ ප්‍රමුඛතාවය මඟහැරීම

එන්කරණයේ තිබෙන ප්‍රශ්ණ කිහිපයක් තිබෙනවා. එන්නත්කරණය හිතන තරම් පහසු ක්‍රියාවලියක් නෙවෙයි. මම එය සරලව පැහැදිලි කරන්නම්. එන්නත්කරණයක් කිරිමේදි, කොවිඩ් විතරක් නෙමෙයි ඕනෑම රෝගයකට, එන්නත්කරණය කල යුත්තේ කවරෙක්ටදැයි තෝරාගත යුතුයි. උදාහරණයක් හැටියට ත්‍රිත්ව එන්නත ලබා දෙන්නේ කුඩා ළමයින්ට. එතකොට ගැබ්ගෙල පිලිකා කියන එන්නත ලබා දෙන්නේ කාන්තාවන්ට, කාන්තාවන් විවාහ වීමේ වයසට ප්‍රථම. ගැබ්ගෙල පිලිකා එන්නත පිරිමින්ට ලබා දෙන්නේ නැහැ. එන්නත්කරණය කිරිමේදි ඒවා දිය යුතු අය කවුද කියල තෝරගන්න වෙනවා. කොවිඩ් එන්නත ලබා දීමේදී ද මෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා. කොවිඩ් එන්නත ලබා දිය යුත්තේ මේ ලංකාව වගේ මිලියන 22 ක් ඉන්න රටකට නම්, එය දෙවාරයක් දීමේදි මිලියන 44 ක් අවශ්‍ය වෙනවා. මිලියන 44 ක් අපට ගේන්න බැහැ. ඒක ප්‍රායෝගික ප්‍රශ්ණයක්. එතකොට අපි තෝරගන්නවා පළමුව කාටද දිය යුත්තේ කියලා. පළමු තේරීම කරන්නේ වයස අනුව අනුව. පළමුව අවුරුදු 18 න් අඩු අයට දෙන්නේ නැහැ කියල කියලා තීරණයට ලෝකය ම ඇවිත් තිබෙනවා. ඒකට හේතුව 18 න් අඩු අයට එය ලබාදී වැඩක් නැති නිසා නෙමෙයි. තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය ලබා දීම තුලින් අපි ආරක්ෂා කරන්නේ වයස අවුරුදු 18 න් අඩු අය නම්, ඒ අය මියයාමේ ප්‍රතිශතය ඉතාමත් අඩු නිසා ඒ අයට ලබාදෙන්නේ නැහැ. 18 ට වැඩි ජනතාව ලංකාවේ මිලියන 16 ක් ඉන්නවා. එතකොට මේ මිලියන 16 ට අපිට අවශ්‍ය වෙනවා එන්නත් මිලියන 32 ක්. මිලියන 32 ක් අපට ලබාගන්න අපහසුයි. එනිසා, අපි නැවත තේරිමක් කරනවා.

එසේ නැවත තේරිමේදි අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍ය වෙනවා. එවිට අපි තෝරා ගන්න ඕන කාටද මේ එන්නත ලබා දෙන්නේ කියලා. එන්නත ලබා දීමේ පරමාර්ථය මරණ අඩු කිරීම නම්, මේ රෝගය වැලදිලා වැඩියෙන්ම මරණයට ලක්වීමට වැඩි සමභාවිතාවක් තිබෙන පුද්ගල කාණ්ඩය තෝරල තමයි අපි එන්නත ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ කාණ්ඩය තමයි පළමුව වයස අවුරුදු 60 ට වැඩි අය. දෙවනුව, වයස 60 ට අඩු නමුත් අවුරුදු අතර වෙනත් සංකූලතා ඇති රෝගීන්. උදාහරණයක් හැටියට දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ සහ පිලිකා රෝගින් වැනි රෝගි තත්වයන් තිබෙන වයස අවුරුදු 30 සිට 60 දක්වා අයට මෙම කොවිඩ් රෝගය වැළදුනාම මරණයට පත් වෙන්න තිබෙන අවස්ථාව වැඩියි. අපි දෙවැනි තෝරාගැනීම සිදුකරන්නේ වයස අනුව සහ අනිකුත් රෝගී තත්ත්වයන් අනුව. මේ විධියට එන්නත් කරණය සිදුකලා නම් අද දින සිදුවන මෙම මරණ බුඹුල පුපුරායාම අපිට වළක්වාගැනීමට පුළුවන් කම තිබුණා. මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්න අපට ඉතාමත් ම පහසු ක්‍රම කිහිපයක් තියනවා. ලංකාවේ බාහිර රෝගීන්ගෙන් 70% ට ප්‍රමාණයක් හා නේවාසික රෝගීන් 95% ක් වගේ ප්‍රතිකාර ලබා ගන්නේ රජයේ රෝහල්වලින්. මේ අය ලියාපදිංචි වෙලා ඉන්නවා එක් එක් රෝහල්වල විවිධ සායනවලට. දියවැඩියා සායනය කියල තිබෙනවා. හෘද රෝග සායනය කියල තිබෙනවා. පිලිකා රෝග සායනය තිබෙනවා. මේ සායන වල රෝගීන් ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ රෝගීන් තෝරා ගැනීමක් සිදු කරලා ඔවුන්ට රෝහල් හරහා එන්නත් ලබා දිමට සිදු කළ හැකිව තිබුණා. මේ සායනවල ලියාපදිංචි රෝගින්ට එන්නත දීමට දින ලබා දීම , ඉතාමත් පහසු කාරණයක්.

ලෝකයේ හොඳම එන්නත්කරණය තිබූ අපට වැරදුණේ කොහොමද ?

දෙවැනි ප්‍රශ්නය තමයි මේ එන්නත් කරණය සෞඛ්‍ය අංශයෙන් එලියට ගැනීම. මේක හරි වැරදි දෙයක්. ලෝකයේ විශිෂ්ටතම එන්නත් කරණය තියෙන රටක් තමයි ලංකාව. ලංකාව තරම් එන්නත්කරණ ප්‍රතිශතයක් තිබෙන රටක් ලෝකයේ, නැති තරම්. ලෝකයේ විවිධ රටවල් විශේෂයෙන්ම කළුතර තිබෙන සෞඛ්‍ය විද්‍යායතනයට එවනවා එන්නත් කරණය පිළිබදව හදාරන්න. ලංකාවේ සමහර එන්නත් දිය යුතු වයස කාණ්ඩයේ අයගෙන් 99% ක් විතර ලබා ගන්නවා. මේක ලෝකයේ විශිෂ්ඨම තත්ත්වයක්. අපි ඇයි මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ගැන අපි විශ්වාසයක් නොතබා මේ එන්නත්කරණ වැඩපිළිවෙළ බාහිරකරණයක් කරන්න, මේක එළියට දාන්න හැදුවා. කොවිඩ් එන්නත සායන වල නොදී විවිධාකාර පිට්ටනිවල, පොදු ස්ථානවල, විහාරස්ථානවල, පල්ලිවල මේවගේ තැන්වල මේ එන්නත් කරණය සිදුකරනවා. මෙම ගැටළුව විසදීම තනිකරම සෞඛ්‍ය අංශයට භාරදුන්නනම් මේක අතිවිශිෂ්ඨ ලෙස මේගොල්ල මේක කරනවා. ඒ වැඩපිළිවෙලවල් ලංකාවේ ඉතාම විශිෂ්ඨ ලෙස තිබෙනවා. එතකොට මේ සෞඛ්‍ය අංශය ගැන තිබෙන විශ්වාසයක් නැති කම අපිට ලොකු ප්‍රශ්ණයක් වුනා. ඒ විශ්වාසය නැවත ඇති කරගන්න එක අතිශ්‍යයින්ම වැදගත්.පොදුවේ තිබෙන මතයක් තමයි ලංකාවේ මේ සෞඛ්‍ය අංශ එච්චර ප්‍රබල නැහැ කියන එක. ඇත්තටම ලංකාවේ සෞඛ්‍ය අංශය ඉතාමත් ප්‍රබලයි. ඒ සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය තබා ගැනිම තමයි අතිශ්‍යයින්ම වැදගත් වන්නේ.

නිවැරිදි තීරණ නිවැරිදි අවස්ථාවේ නොගැනීම ප්‍රතිවිපාක

ඩෙල්ටා ප්‍රභේදය ඇති වීම නිසා මෙය පැතිරෙනවා කියලා මතයක් තිබෙනවා. ඒ මතයේ යම් කිසි සත්‍යතාවයක් තිබෙනවා. නමුත් මේ ඩෙල්ඩා ප්‍රභේදය පවා යම් කිසි ආකාරයකින් පාලනය කරගන්න තිබුනා, ඩෙල්ටා පැමිණි අවස්ථාවේදි නැවත වතාවක් ඇඳිරි නීතිය, දැඩි ලොක්ඩවුන් එකකට යන්න අවස්ථාවක් තිබුණා නම් හොඳයි. අපට යන්න හැකියාවක් නෑ. යථා තත්ත්වය ඒකයි. යථා තත්ත්වය නම් අපි දැඩි ලොක්ඩවුන් එකකට හෝ ඇඳිරි නීතිය එකකට ගියොත් ලංකාවේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටෙනවා. අප මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම සිතන්න තිබුනේ 2020 මාස දෙකේ ඇඳිරි නීතිය තත්ත්වයට ගිය අවස්ථාවේ. සමහර වෛද්‍යවරු උත්සාහ ගත්ත මේ පිළිබදව කියන්න. මමත් පුවත්පතකටත් ලිපියක් ලිව්වා මේක මෙහෙම නෙමෙයි මේ වසංගතය අවුරුදු දෙක තුනක් ඉස්සරහට යන්න පුලුවන්. අපි දන්නේ නැහැ මේක කොයිතරම් කාලයක් ඉස්සරහට යයිද කියලා. ඒක නිසා අපේ ශක්තිය ඉතිරි කරගෙන තමයි මේකත් අරගෙන අපි ඉස්සරහට යන්න ඕන කියන එක.

ලංකාව මුහුණදෙන ව්‍යසන තුන කුමක්ද ?

මෙම වසංගත තත්ත්වය ඉක්මනින් ඉවරවෙයි කියල කියන්න බැහැ. මේ වසංගතය ගැන එසේ සුන්දර බලාපොරොත්තු තබා ගත නොහැකියි. වයිරසයක් අවසන් වෙන විධි කිහිපයක් තිබෙනවා. වයිරසය ඉක්මනින් පරිණාමනය වෙනවා. සමහරවිට මෙම පරිණාමනය වැරදි පැත්තට ගිහිල්ලා භයානක ව්‍යසනයක් වෙනවා. සමහරවිට මෙම පරිණාමනය හරි පැත්තට ගිහිල්ලා සැර අඩු බවට පත් වෙලා එය නතර විය හැකියි. දෙවැන්න, මෙම වයිරසයට අවශ්‍ය එන්නත් කරණය ශීඝ්‍රයෙන් අදාල වයස් කාණ්ඩයන්, අදාල රෝගි කාණ්ඩයන් අතර සිදු කිරිම.

අද වෙනකොට ලංකාවේ ව්‍යසන තුනක් තිබෙනවා. මම කියන්නේ කාවේ මරණ තුනක් තිබෙනවා කියලා. පළමු මරණය තමයි ලංකාවේ වසංගතය, සෞඛ්‍ය ප්‍රශ්ණය. ඒක හැමෝම දන්නවා. දෙවැනි මරණය තමයි ආර්ථිකය. තුන්වන මරණය එක ඉදිරියේදී දකින්නට ලැබෙයි. ඒක තමයි අධ්‍යාපනය නැති වීම. අද අධ්‍යාපනයත් මරණයට පත්වෙලා. වසංගතය කියන මරණය, ආර්ථිකය කියන මරණය හා අධ්‍යාපනය යනාදි වශයෙන් මරණ තුනක් අද ඇති වෙලා. මරණ තුනක් අපි ගෙදර තියා ගෙන ඉන්න මිනිසුන් වගේ. මේක අපිට මොන විදිහකින් වත් සතුටු වෙන්න බැහැ. මේ මරණ තුන සම්බන්ධයෙන් අපි ගැඹුරින් සිතා බැලීම සිදුකළ යුතුමයි.

(2021 අගෝස්තු මස 14 වෙනි දින පවත්වන ලද අන්තර්ජාල දෙසුමක් ඇසුරන් සකස් කලේ සුජීව සෙනරත් විසිනි)

Recommended For You

About the Author: Thusal