ජනප්‍රිය සංස්කෘතිය තුළ රූපවාහිනි මාධ්‍යයේ භූමිකාව කොයිබටද ?

අද්‍යතන ගෝලීය සමාජ සන්දර්භය තුළ ජනමාධ්‍ය වූ කලී සමාජ දේහය හා අවියෝජනීයව බැඳී පවතින සංකීර්ණ ප්‍රපංචයක් වේ.ආදි කල්පිත මානවයාගේ ප්‍රාථමික සන්නිවේදන ක්‍රියාවලියෙන් බැහැරව සන්නිවේදනය ක්‍රමිකව වර්ධනය වී විවිධ අවධීන් පසු කරමින් නූතනය වන විට ඩිජිටල් ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත.

වර්තමානයේ අප ජීවත් වනුයේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය.නවීන ජනමාධ්‍ය තාක්ෂණික වශයෙන් දියුණුවට පත් වී තිබේ.එහි ආකෘතියේ මෙන්ම ස්වරූපයේද විවිධ වෙනස්කම් පවතී.සාම්ප්‍රදායික ජන මාධ්‍යයේ පැවති කර්තෘ මූලික තොරතුරු සන්නිවේදනය යම් අවධියක සංවිධාන ව්‍යුහයක් බවට පත් වී නූතනයේ පුද්ගල සන්නිවේදන යුගයක් දක්වා ගමන් කොට තිබේ.ජන සමාජයේ පැවැත්ම සඳහා ජනමාධ්‍ය විසින් සුවිශාල කර්තව්‍යයක් සිදු කරන අතර මුද්‍රිතව ඇරඹි තොරතුරු ක්‍රියාවලිය පරිවර්තනය වී ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු ක්‍රියාන්විතයක් දක්වා දියුණුවට පත්විය.

ජනයාගේ මාධ්‍ය ජනමාධ්‍ය වේ.ජනතාවගේ ධනාත්මක,ඍණාත්මක හෝ ප්‍රගමනයට හෝ අපගමනය සඳහා ජනමාධ්‍ය ඍජු ලෙස සම්බන්ධ වනු ඇත.ගුවන්විදුලිය,සිනමාව,පුවත්පත,සමාජ මාධ්‍ය ජනතාවට ඉතාමත් සමීප ලෙස ක්‍රියාත්මක මාධ්‍යන්ය.ඒ අතරින් රූපවාහිනිය සුවිශේෂි වන අතර මිනිසාගේ ප්‍රබල සන්නිවේව්න සහයකයෙක් ලෙස සිය තොරතුරු ක්‍රියාවලියේ නිමග්ගව සිටී.

වරෙක වෝල්ටර් ලිප්මන් මහතා (Walter Lippman) පෙන්වා දී ඇත්තේ “මාධ්‍යයන් අපට ජීවත් වෙන හැටි, අකමැති දේ,අභිමානවත් වන හැටි,දියුණු වන හැටි,තොරාගන්නා හැටි,ආදරය කරන හැටි උගන්වන බවයි”.ලෝක ශිෂ්ටාචාර විසින් සොයා ගන්නා ලද අපූර්වතම නැවුම් නිමැවුමක් ලෙස රූපවාහිනිය හඳුනා ගත හැකි වුවද එය වර්තමානය වන වුට ස්වකීය ස්වීයත්වය බිඳ වාණිජකරණයට ලක් වී ඇත් බව පෙනේ.

රූපවාහිනි  ආරම්භක අවධියේ දී රූපවාහිනිය සන්නිවේදන අරමුණු වලින් ප්‍රධානතම අරමණු  ලෙස අධ්‍යාපනය ලබා දීම,විනෝදාස්වාදය ලබා දීම හා තොරතුරු සම්පාදනය හඳුනාගත හැකිය.එහිදී විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රාජ්‍යයන් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව වැනි පරිධියේ රාජ්‍යන්ට කිසිසේත්ම බටහිර ජනමාධ්‍යන්ගෙන් හෝ ගෝලීයකරණයෙන් මිදී කටයුතු කළ නොහැකිය.

රූපවාහිනි මාධ්‍ය වාණිජකරණය වීම සමඟ සන්නිවේදන අරමුණු උඩියටිකුරු වෙමින් හුදු ඕලාරික,ගාම්‍ය වූ විනෝදාස්වාදය සපයන මනස මොට කරන තත්ත්වයකට පත් විය.වරෙක දකුණු අප්‍රිකාවේ තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යවරයාව සිටි ආචාර්‍ය ඇල්බර්ට් ස්මිත් මහතා රූපවාහිනිය “යකාගේ පෙට්ටිය” ලෙස ද හඳුන්වා ඇත්‍ර්හේ රූපවාහිනිය කොතරම් දුරට මිනිසුන්‍ට අහිතකර ලෙස බලපානවාද යන්න පසක් කිරීමටය.

සංස්කෘතිය ක්‍රියාකාරී සමාජයකට අයත් වූවක් වන බැවින් වරින්වර එම සමාජය තුළට පිවිසෙන බලපෑම් නිසා නිරන්තර වෙනස්වීම් වලට භාජනය වේ.ගඟක් පහළට ගලා යන විට එහි ජල ප්‍රවාහයට විවිධ අතු ගංඟා හා දිය දහරා එකතු වීමෙන් ගඟ දිය මොහොතින් මොහොත අලුත් වන්නාක් මෙන් සමාජ සංස්කෘතිය තුළට නිරන්තරයෙන් පිවිසෙන විවිධ සංස්කෘතික ප්‍රවාහයන් නිසා සමාජ සංස්කෘතිය නිරතුරුවම වෙනස් වේ.

රූපවාහිනි මාධ්‍යයේ කාර්‍යභාරය අතර පවතින සමාජ සංස්කෘතික සම්ප්‍රේෂණ කාර්‍යය ප්‍රධාන වන අතර රූපවාහිනි රාජ්‍ය හා පෞද්ගලික නාලිකා මඟින් එය විවිධාකාරයෙන් සිදු කෙරේ.ලංකාවේ සාම්ප්‍රදායික සංස්කෘතික යුගය අවසන් වන්නේ ක්‍රි.ව 1505 දී පෘතුග්‍රීසි නව යටත් විජිත යුගයන් උරුමකර දීම සමඟය.1979 වර්ෂයේ රූපවාහිනිය හඳුන්වා දීම සමඟ සංස්කෘතිය රූපවාහිනි වැඩසටහන් ඔස්සේ ගෙන ඒමට නාලිකා සමත් විය.

සංස්කෘතිය මිනිසාගේ සමාජ උරුමයක් වන අතර සමාජයකින් තවත් සමාජයක් හඳුනාහත හැකිවනුයේ සංස්කෘතික ලක්ෂණ අනුවය.ඊ.බී ටයිලර් (E.B Tylor) සිය “ප්‍රාථමික සන්නිවේදනය” නම් කෘතියේ සංස්කෘතිය පෙන්ව දෙනුයේ සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගන්නා වූත්, ලබාගන්නා වූත්  දැනුම,විශ්වාස,කලා,සදාචාරකම් හා වෙනත් හැකියාවන්ගේ සමස්තය සංස්කෘතිය යනුවෙනි.සංස්කෘතිය පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාමට නව සංස්කෘතික අංග එකතු කිරීමට අවශ්‍ය වනු ඇත

.එහිදී සංස්කෘතික සම්බන්ධ ක්‍රියාවලියට මාධ්‍ය බලවත් ලෙස උපයෝගී වන අතර සමාජය තුළ පවත්නා සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රබල සාධකයක් ලෙස මාධ්‍ය ප්‍රධාන වේ.ඇතැම් සංස්කෘතීන් මඟින් අත්තනෝමතික ලෙස මාධ්‍ය පාලනය කරන අතර සංස්කෘතිය ප්‍රබල නම් මාධ්‍ය සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වීමට ඇතු ඉඩකඩ අවම වේ.

අතීතය ජනමාධ්‍යන්ගෙන් තොරව සමාජය පැවතුණි.එම යුගයේදී සමාජයන්හි සංස්කෘතිය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන ලද්දේ ආගම,අධ්‍යාපනය,සිරිත් විරිත්,වැඩිහිටියන් හා විවිධ සමාජ සම්බන්ධතාවන්‍ ය.එහෙත් ජනමාධ්‍ය ව්‍යාප්තියත් සමඟ මේ සියල්ල අභිබවා එය සංස්කෘතිය කෙරෙහි දැඩි ලෙස බලපාන ප්‍රධාන සාධකයක් විය.නූතනයේ ගෝලීයකරණය තුළ මාධ්‍ය විසින් විශ්ව මට්ටමින් තෝරා ගැනීම් කෙරෙහි රටවල ජනයා පොළඹවා ගනී.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ රටවල ජනසමාජයන්ට ආවේණික සංස්කෘතික ලක්ෂණ ඉක්මවා ගෝලීය සංස්කෘතික ලක්ෂණ ව්‍යාප්ත වී ඇත.

එහිදී රූපවාහිනි මාධ්‍ය ප්‍රමුඛ සමාජ මඟින් නිර්මාණය කර ඇති ජනප්‍රිය සංස්කෘතිය මිනිසා පාරිභෝගික භාණ්ඩ වලට පත්කොට තිබේ.ජනප්‍රිය සංස්කෘතිය ඉදිරිපත් කිරීමේදි වත්මන් ලෝක මාධ්‍ය පද්ධතිය තුළ රූපවාහිනිය වඩාත් ප්‍රබල මෙන්ම බලපෑම් සහගතව ක්‍රියාකරන බව රූපවාහිනි වැඩසටහන්,වෙළෙඳ දැන්වීම් මඟින් මනාව තීව්‍ර වේ.ඒ බව රූපවාහිනි ආරම්භක සමයේ ඇස්තමේන්තුගත ලැයිස්තු අනුව රූපවාහිනි යන්ත්‍ර වල වැඩි වීම මෙන්ම එම සංඛ්‍යා ලේඛන මඟින් පැහැදිලි වේ.

ශ්‍රී ලාංකීය ඇතුළු ආසියානු කලාපයන් මෙන්ම යුරෝපය ආදි ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ආකෘතිය වන්නේ ප්‍රේක්ෂකයින්ට විනෝදාස්වාදය ලබා දෙමින් ඔවුන් ආකර්ෂණය කර ගැනීම හා පිනවීමය.මෙගා ටෙලිනාට්‍ය,සංගීත වැඩසටහන්,රියැලිටි වැඩසටහන් කලාවද ශ්‍රී ලාංකේය රූපවාහිනි මාධ්‍ය කලාවේ නවතම ආකෘතියක් වෙමින් ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් ව ඇත.යුරෝපීය රටවල්හි රූපවාහිනි මාධ්‍ය මුලික කොට ආරම්භ මෙම රියැලිටි වැඩසටහන් ආසියානු රටවල් තදින් වැළඳගත් අතර රූපවාහිනි නාලිකා වෙත ජනතාව ආකර්ෂණය කරගැනීමට ප්‍රබල සාධකයක් විය.

අද්‍යතනයේ ජනප්‍රිය සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇති හුදු විනෝදය පමණක්ම අරමුණු වු රූපවාහිනී මාධ්‍ය කලාව මිනිසාගේ මනස මෙහෙයවනු ඇත.යථාර්ථයෙන් මොහොතකට අමුතුම තරු ලොවකට රැගෙන යන රියැලිටි කලාව මිනිස් සැබෑ ප්‍රශ්න මොහොතකට අමතක කරවයි.එම වැඩසටහන් වල නලු නිළියන්ගේ ඇතැම් ඇඳුම් පැළඳුම්,කතා කරන විලාසය,රංග වස්ත්‍රාභරණ ,හැසිරීම තමාට අරෝපණය කිරීමට මිනිසා පුරුදු වේ.ව්‍යාජ මානසික අවශ්‍යතා ඇති කරමින් පරිභෝජනවාදි ධනේශ්වර ඇවතුම් පැවතුම් කෙරෙහි ජනතාව කීකරු කරවනු ලබයි.යථාර්ථයන් යන අර්ථය ලත් රියැලිටි වැඩසටහන් ජනප්‍රිය සංස්කෘතිය මඟින් විටෙක අසම්මත සංස්කෘතිකාංග වහනය කරනු ඇත.එසේම ව්‍යාපාරික අවශ්‍යතා මත ඉදිරිපත් කරන දැන්වීම් හරහාද සමාජ චර්යාවන් සමාජ සංස්කෘතියට ඍජුවම බලපෑම් කෙරේ.වෙළඳ දැන්වීම් ඇතුළු රියැලිටි වැඩසටහන් තුළ විලාසිතා, ඇඳුම් පැළඳුම් අනුකරණය කරන්නට යෑමෙන් ම ජනප්‍රිය සංස්කෘතිකාංග මිනිසා සිය චර්යාන්ට බලපෑම් ඇති කෙරේ.

ජනප්‍රිය සංස්කෘතිය තුළ කලාවද වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරමින් රූපවාහිනිය මඟින් බටහිර සංස්කෘතිකාංග නිරන්තරයෙන් ජනතාව වෙත ගෙන එනු ඇත.රියැලිටි වැඩසටහන් සමස්තයක් ලෙස විපලායනය හෙවත් සැබෑ ජිවිතෙන් පැනයාමට ජනතාවට උපකාර කරන තවත් ජනප්‍රිය සංස්කෘතික මාධ්‍ය නිර්මාණයකි.මේ හරහා සමස්ත ප්‍රේක්ෂක ජනතාවට හා සංස්කෘතිය සිදු කරන බලපෑම සුළුපටු නැත.පෞද්ගලික රූපවාහිනි නාලිකා තුළ බොහෝ විට ජනප්‍රිය සංස්කෘතියේ පවතින අංග ලක්ෂණ පෙන්නුම් කෙරේ.

අඩනිරුවත,සම්ප්‍රපලාප ආදිය තුළින් විමෝචනය කරන ජනප්‍රිය සංස්කෘතියේ නිස්සාරත්වය මැනවින් ග්‍රාහක ප්‍රජාව තේරුම් ගැනීම වටී.කෙසේ නමුත් ජනප්‍රිය සංස්කෘතික ධාරා ඔස්සේ පවතින සාරධර්ම,ගුණධර්ම උල්ලංඝනය නොවී ඉදිරියට ගෙනයාමට රූපවාහිනි මාධ්‍යයට සක්‍රීය දායකත්වයක් ලබා දිය හැකි වේ.

අද්‍යතනයේ ආගම ජනමාධ්‍ය බවට පත් වන සමයක සාම්ප්‍රදායික හරපද්ධතීන් රැක ගනිමින් නුතන සමාජයට ලෝකයට පිවිසීම රූපවාහිනි මාධ්‍ය ඇතුළු සමස්ත මාධ්‍යයන්ගේ පරම යුතුකමක් වෙයි.රූපවාහිනි මාධ්‍යයේ පෙන්වන ඇතැම් වැඩසටහන්,ටෙලිනාට්‍ය,චිත්‍රපට,දැන්වීම්දැන්වීම්,නිවේදක,නිවේදිකාවන්ගේ ඇඳුම් පැළඳුම් සහ සහ වාග් විලාසයන් නිසා මෙරට පවතින සමාජ සංස්කෘතික සාරධර්ම පද්ධතිවලට වන හානිය පිළිබඳ අවබෝධයෙන් යුතුව රූපවාහිනි වැඩසටහන් මඟින් සාම්ප්‍රදායික සංස්කෘතිය විදාරණය කරන අතර අමතක වී ගිය යටපත් වු එම සංස්කෘතිකාංග යළි ජනතාවට මතක් කිරීමට මෙන්ම ලාංකීය සංස්කෘතිය,සාරධර්ම හැකිතාක් ආරක්ෂා කරමින් මාධ්‍යකරණයේ නියැලීමට කටයුතු කළ යුතුය.

ජනප්‍රිය සංස්කෘතිය යනු ලොව ගිනිගත්තත් නීරෝ වීණා වාදනය කරන්නක් වැනිය.එම නිසාවෙන් බටහිර සංස්කෘතීන්ට ගැත්තන් නොවී උරුම වු සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට හා පවරා දීමට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ දැවැන්තයා වන රූපවාහිනිය  අවධානය යොමු කිරීම කාලෝචිතය.

සටහන

තරුෂි කාවින්ද්‍යා, ජනමාධ්‍ය අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Thusal