‘ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වනවා’

  • කොවිඩ් වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපේක්ෂා කරනවා .
  • සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින ආර්ථික අවිනිශ්චිතතාවයෙන් මිදීමට
    ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි  …
  • ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා ….
  • ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණක් …
  • ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍යයි …
  • කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටී..
  • බුදුන් වහන්සේගේ ඉගැන්වීම  අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ
    මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතුයි …
  • ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්න …

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන්ගේ යාන්ත්‍රණයන්  සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9.30 ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 6.30ට නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණු අතර “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න මෙවර එහි තේමාව විය.

 ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතමයන් අහිමි වූ සියලු දෙනාට සංවේගය පළ කළ ජනාධිපතිතුමා වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලින් විසින්ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා කොවිඩ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රි ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයින් ඉදිරියේ පැහැදිළි කළේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිතුමා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපාය මාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ්‍රම බලකාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බවත් පැවසීය.

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මේ වසර මුල සිට රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක තහනම් කිරීමට තම රජය කටයුතු කළ අතර කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරි ගැන්වීම කටයුතු කර තිබෙන බවද ජනාධිපතිතුමා කීය.

පොසීල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවත්, බලශක්ති ප්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරු බලපෑම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම  අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතු බවත් පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Thusal