කාබනික ගොවිතැනට හිත ගිය ‘රණවිරුවා‘

අතීතයේ දී කෘෂිකාර්මික අතින් ඉතාමත් හොඳ දියුණුවක් ලබා සිටි ශ්‍රී ලාංකික ගොවියා පසුගිය දශක කිහිපය තුළ දී රට තුළ ඇති වූ විවිධ ආර්ථික වෙනස්කම් හමුවේ තම වගාවන්ට අවශ්‍ය කරන්නා වූ බොහෝ දේවල් වෙළෙඳපොළ තුළින් මිලදී ගැනීමට පෙළඹුණේය.

ඒ අනුව ඇතැම් කෘමි උවදුරු මගින් වගාවන්ට වන හානිය ආදිය වළක්වා ගැනීමටත් සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසාත් මෙලෙස කෘත්‍රීම කෘමිනාශක, වල්නාශක මෙන්ම රසායනික පොහොර භාවිතයට ද ගොවීන් පෙළඹුණි.

වර්තමානය වන විට  කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමට රජය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් ගොවීන් නැවතත් තමාට අවශ්‍ය කරන්නා වූ පළිබෝධනාශක සහ පොහොර වර්ග තමන් විසින්ම නිපදවා ගැනීම උදෙසා සිය අවධානය යොමු කර තිබේ.

මෙලෙස තමන් විසින් සකසා ගන්නා කාබනික පොහොර හා කෘමිනාශක භාවිතා කරමින් ගොවිතැනේ නියැලෙන ගොවි මහතෙකු පන්නල ප්‍රදේශයේ සිටී. ඔහු 54 වියෙහි පසුවන ‘ධර්මසේන‘ ගොවිමහතාය.

ධර්මසේන මහතා තිස් වසරක් පුරාවට පැවති වර්ගවාදී යුද්ධයෙන් රට මුදවා ගැනීමට තරුණ විය කැපකර වර්තමානය වන විටදී විශ්‍රාමම දිවියක් ගත කරන රණවිරුවෙකි.

අක්කර තුනක් පමණ වූ තම ඉඩම ගොවිම්බමක් බවට පත්කර ඇති ඔහු එහි බුලත්, මිරිස්, කහ, ඉඟුරු, කෙසෙල් සහ එළවළු, පලතුරු වර්ග මෙන්ම බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ග ද වගා කර ඇත.

‘‘කාබනික එළවළු වලට හා පලතුරු වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම කාබනික වගාවෙන් පරිසරයට කිසිදු හානියක් සිදුවන්නෙත් නැහැ. ඒ නිසා මම කාබනික ගොවිතැනට යොමු වුණා‘ ධර්මසේන මහතා පැවසුවේය.

ධර්මසේන ගොවි මහතා තම කාබනික කෘෂිකර්මාන්තය ගැන මෙසේ ද පැවසුවේය, ‘‘ මගේ ගොවිපොළේ වගාකර ඇති බෝග වගාවන් කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා සුදුලූණු නිස්සාරණය, කොහොඹ නිස්සාරණය ආදිය භාවිතා කරනවා. එමගින් බෝග වලටත්, එහි අස්වැන්න ආහාරයට ගන්නා මිනිසාට වත් කිසිදු හානියක් සිදුවන්නේ නැහැ‘‘

කාබනික වගාවට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර ගැනීම ගැන ධර්මසේන මහතා මෙසේ පැවසුවේය, ‘‘මගේ වගාවන්ට අවශ්‍ය කාබනික පොහොරත් මම ම නිෂ්පාදනය කර ගන්නවා. ගොම වියළා කුඩුකර සකස්කර ගන්නා පොහොර මෙන්ම කුකුල් කොටුවල අපද්‍රව්‍ය වියළා පුළුස්සා ලබාගන්නා පොහොරත් මම භාවිතා කරනවා. එමගින් ද සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකියි‘‘

එමෙන්ම පොල්ලෙලි කුඩාවට කපා දිරාපත්වීමට හැර ලබාගන්නා කුඩු මෙන්ම කොළ රොඩු ආදිය භාවිතා කරමින් සාදා ගන්නා කොම්පෝස්ට් පොහොර ද තම වගාවන්ට යොදන බවත් එමගින් වඩාත් සරුසාර අස්වැන්නක් ලැබෙන බවත් ධර්මසේන මහතා පැවසුවේය.

ඔහුගේ වගා බිමේ වගාකර ඇති කුඩා පොල් පැළවල කඳන් කුරුමිණියන් කෑම වැළැක්වීම සඳහා එම කුඩා පොල් පැළවල ක‍‍දෙහි දැල් ගෝනි ඔතා ඇති අයුරු අපට දැක ගැනීමට හැකිවිය. එමෙන්ම ධර්මසේන මහතාගේ වගාවන් අතර දාස්පෙතියා ආදී මල් වර්ග ද පැළ කර තිබෙනු දක්නට ලැබුණි.

ඒ සම්බන්ධව ඔහු අපට මෙලෙස අදහස් දැක්වීය.

“මේ වගේ පාත්ති අතරින් පතර දාස්පෙතියා මල් පැළ වෙන්නට දැම්මාම සමහර පොඩි පොඩි කෘමි සතුන්ගෙන් මේ වගාවලට වෙන හානිය අවම කර ගන්න පුළුවන්. ඔය සමහර මල් වර්ග හින්දා ඉක්මනට එළවළු වල ඵලදාව හට ගන්නවා. ඵලදාව වැඩිකර ගන්නත් පුළුවන් ඒ පරාගනයට සත්තු උදව් වෙන හින්දා.”

එලෙසම සරු අස්වැන්නක් ලබාගැනීමට ඇතැම් දියර පොහොර වර්ගත් අනෙකුත් රසායනික පොහොර වර්ගවත් නොයෙදීම හේතුවෙන් ඇතැම් බෝගවල ඵලදාව අඩු වීමක් දක්නට ලැබෙන බව ද ධර්මසේන පැවසීය.

‘‘නමුත් හොඳින් සාත්තුව යොදන්නේ නම් කෘත්‍රිම පොහොර සහ පළිබෝධනාශක භාවිතා නොකර ඵලදාව වැඩිකර ගැනීමට පුළුවන්‘‘ ඔහු විශ්වාසයෙන් යුතුව පැවසුවේය.

ශ්‍රී ලංකාව හරිත කෘෂිකර්මාන්තයට යොමු කිරීමටත් එමගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජාතියක් බිහි කිරීමටත් රජය විසින් ආරම්භ කර ඇති කාබනික කෘෂිකර්මාන්තයට ධර්මසේන මහතා වැනි ගොවිවිරුවන්ගෙන් සුවිශාල දායකත්වයක් සහ ආලෝකයක් ලැබෙන බව නම් සහතිකය.

ඔබටත් ගොවි විරුවෙකු ලෙස මෙම ධාර්මික ගොවිතැනට එකතු වීමට හැකිය.

සටහන සහ ඡායාරූප – පූජා පියුමාලි

Recommended For You

About the Author: Thusal