කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ? – ඇත්ත කතාව දැන ගනිමු !

කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව බොහෝ දෙනාගේ වැටහීම වන අතර, එසේ ස්නානය කළ නිසාවෙන් තමාට ද ශ්වසන අපහසුතා ඇතිවූ බව කොවිඩ් වැළඳුණු ඇතැම් රෝගීන් ප්‍රකාශ කරයි.

සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ආදිය වැළඳුනු විට ස්නානය කිරීම නුසුදුසු ය යන්න ශ්‍රී ලංකාවේ ජනවහරෙන් පැවත එන සාම්ප්‍රදායික විශ්වාසයකි. අපි මෙහි විද්‍යාත්මක පසුබිම විමසා බැලීමු.

“කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් ස්නානය නොකළ යුතුදැ” යි යන ගැටලුව අප ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක වෙත යොමු කළෙමු. මෙහිදී මහාචාර්යවරයා අප හා සඳහන් කළේ එහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නොමැතිබව යි.

“කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්. (ස්නානය නොකර සිටීමට) කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. සමහර වෙලාවට, සංස්කෘතියේ අදහසක් තියෙනවනේ මෙන්න මේ වගේ අමාරු තියෙනකොට නාන්න හොඳ නෑ කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඇති මේ අදහසට ගොඩක් බලපාලා තියෙන්නේ,” ඔහු අප හා ප්‍රකාශ කළේ ය.

මෙය මේ දිනවල ජනතාව විසින් නිතර විමසෙන ප්‍රශ්නයක් බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

“මෙතන දී අපට කියන්න තියෙන්නේ, හිතේ සැකයක් තියෙනවා නම්, මුලින් දවල් වෙලාවට හරි කමක් නෑ ටිකක් රස්නේ වතුර ටිකක් හරි නාලා, ඊට පස්සේ ටික ටික නාන්න පුරුදු වෙන්න කියන එක. මොකද ඇත්තටම මේක නිසා හමේ ආබාධ පවා ඇතිවූ රෝගීන් අපට හමුවෙනවා අපට ලැබෙන දුරකථන ඇමතුම් මඟින්. රෝගය පාලනය කිරීමට මහජන සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් අපට කියන්න තියෙන්නේ එක පණිවිඩයක් – පිරිසිදුව සිටීම මෙම රෝගය පාලනයකර ගැනීමටත් සුවකර ගැනීමටත් ඉතාම වැදගත් කියන එක.”

Prof. Indika Karunathilaka
කොළඹ වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක

“දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්වත් නාවනවා”

කොවිඩ්වලින් රෝගීව සිට සුව අතට හැරුණු ඇතැමුන්ගේ අත්දැකීම් විමසද්දී රෝගය වැළඳී තිබූ කාලසීමාව තුළත්, ඇතැම්විට ඉන් පසුවත් ස්නානය කිරීමෙන් අනතුරුව ශ්වසන අපහසුතා ඇතිවූබව ප්‍රකාශ විය. කොවිඩ් සමයේ දී ස්නානය කිරීම මඟින් නියුමෝනියා තත්ත්වයක් පවා ඇතිවිය හැකියැ යි මතයක් ද සමාජයේ පැතිර ඇතිබවක් පෙනේ. ජාතික මහ රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක මෙවැනි අපහසුතා ඇතිවිය හැකි අයුරු අප වෙත පැහැදිලි කළා ය.

“ඒක විද්‍යාත්මක නැහැ. සිංහල වහරේ මතයක් තියෙනවනේ නියුමෝනියාවට නාන්න එපා කියලා, ඔය සිංහල බෙහෙත් බොනකොට නාන්න එපා කියලා. එහෙම ආපු මතයක් වගේ දෙයක් තමයි ඔය නෑම ගැන තියෙන අනියත බය.”

“හැබැයි ඉතාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවනි ගොඩක් තද පීනස පාලනය නොවෙච්ච, බෙහෙත් නොගෙන, එහෙම නැත්නම් තදට ඇදුම තියෙන අය. සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වය චුට්ටක් අඩු වුණාම, නුවරඑළිය පැත්තේ වගේ සීතල වතුර නෑවම කැස්ස එන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ නියුමෝනියාවට එනවා කියලාවත්, ඇදුම යි පීනස යි දරුණු වෙනවා කියලාවත්. පොඩි වෙලාවක් තමයි එහෙම වෙන්නෙත්, අපේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය වෙනකල්… නෑවම අමාරු වෙනවා කියන එක වැරදි මතයක්,” විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

කොවිඩ් උත්සන්න වෙතැ යි බියෙන් ‘සීතල එළවළු’ ආහාරයට නොගැනීම ද පදනම් විරහිතබව වෛද්‍ය සමරනායක පැහැදිලිකර දුන්නේය.

“මිනිස්සු ‘සෙම එනවා’ කියලා ගොඩක් වෙලාවට කියන්නේ අසාත්මික පීනස වගේ රෝගී තත්ත්වයන්ට. ඕවයේ දී, අසාත්මිකතාව ඇති කරන මූලයක් තියෙනවා. ඒ කියන්නේ, සමහරුන්ට කිරි බිව්වම ‘සෙම’ වැඩිවෙනවා. ඒක ඇත්ත. ඊළඟට ඔය වම්බොටු, බන්ඩක්කා කෑවම, සමහරුන්ට බිත්තර, යෝගට් කෑවත් එහෙම වෙනවා. හැබැයි හැමෝටම නෙවෙයි. අසාත්මික පීනස’ කියන එක නෙවෙයිනේ කොවිඩ් නියුමෝනියාව කියන්නේ. ඒක වෙනම දෙයක්. මේක ඔය ‘සෙම’ ගණයට වැටිච්ච දෙයක් නෙවෙයි, මේක විෂබීජයකින් එන නියුමෝනියාවක්. එයට කෑමේ හෝ නෑමේ කිසිම සම්බන්ධයක් නැහැ.”

ස්ථීර නවාතැන් නොමැති 308 දෙනෙක් නීරෝධායනයට
කොවිඩ් රෝගය වැළඳුනාම පිරිසිදුව සිටීමත් ඉතාම වැදගත්.

ඕනෑම රෝගයක් සුවවීමටත්, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්බව වෛද්‍ය සමරනායක අවධාරණය කළා ය.

“දැන්, නෑවම අපට එනවනේ නැවුම් බවක්? ඒකත් උද්දීපනයක් අපට සනීප වෙන්න,” ඇය පවසයි.

දැඩි සත්කාර ඒකකවල සිටිනා රෝගීන් පවා ස්නානය කරවන්නේ නම්, කොවිඩ් වැළඳුණු රෝගියෙකු පිරිසිදු වීමෙන් වැළකීමට හේතුවක් නැතැ යි ඇය පැහැදිලි කළා ය.

“ඇඳෙන් බහින්න බැරි රෝගියෙක් ඉන්නවා නම්, මඳ රස්නේ වතුර ටිකකින් පිරිසිදු රෙදි කැබැල්ලක් හරි තුවායක් හරි පොඟවලා, මිරිකලා රෝගියා පිසදාගන්න පුළුවන් නේ… අපි ICUවල එහෙමනේ රෝගීන්ව නාවන්නේ, පිරිසිදුව තියන්න. අපි දැඩි සත්කාර ඒකකයේ රෝගීන්වත් ඒ විදියට නාවනවා… කිසිදු තත්ත්වයක දී නොනා තියන්නේ නැහැ. අපට එයාලා නාවන්න ගෙනියන්න බැරි නිසා තමයි අර විදියට පිරිසිදු කරන්නේ.”

“හුඟක් ලෙඩ්ඩු කියන්නේ, “අනේ මැඩම් මාසෙකින්ම නෑවේ නෑ” කියලා. මානසිකව ලොකූ ප්‍රශ්නයක් එයාලට ඒක. ඒ කියන්නේ, එයා ලෙඩෙක් කියන හැඟීම තහවුරු කරලා දෙනවා නෑවේ නැති වුණාම.”

බී.බී.සී සන්දේශය ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Thusal