විදේශ සංචාරකයින් පිළිගන්න මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් පුරාවිද්‍යත්මක සහ පූජනීය  ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන තිබේ. කොවිඩ් උවදුර පහව ගොස් රට විවෘත වූ පසු ශ්‍රී ලංකාවට එන සංචාරකයින් පිළිගන්න මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විටත් සුදානම්ව සිටින බව ලෝක සංචාරක දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල පවසා සිටී.

පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම් මාර්ගයක් වූ අතර ඒ තුලින් සැලකිය යුතු අදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදල උපයා ගන්නා ලදී. කොවිඩ් වසංගතය සහ පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙමින් මිලියන 2 ක් පමණ සංචාරක කර්මාන්තයෙන් ජීවත්වෙන මිනිසුන්ගේ ජීවනෝපාය අහිමි විය.

කොවිඩ් වසංගතය පහව ගොස් වසන්තය උදාවීමත් සමග නැවත යතා තත්වයට පත්වන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක උරුම ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ මගුල් මහා විහාරය සංවර්ධනය සහ නැගෙනහිරත් දකුණු මුහුදු තීරයත් දිය යට කිමිදී ශ්‍රී ලංකාවේ උරුමයන් දැක ගැනීමට හැකි දිය යට සංචාරක කිමිදුම් ව්‍යාපෘතිය ඒ අතර සුවිශේෂී ස්ථානයක් ගනී.

බුදුරුවගල ඓතිහාසික පිළිරුව නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් ද්විත්ව ගමන් මාර්ගයක් සකස් කර ඌව ප්‍රදේශයේ සුන්දරත්වය වඩාත් හොඳින් නැරඹීමට හැකි පරිදි බුදුරුවගල වැව සහ බෝට්ටු මගින් පූජා භූමියට පිවිසීමේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා විවිධ පියවර රැසක් අරගෙන තිබේ.

ත්‍රිකුණාමලය ආරක්ෂක බල කොටුවේ පිහිටා ඇති රහස් දොරටුව ඔස්සේ ගමන් කර බලකොටුවේ සුන්දරත්වය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සැලසීමද තවත් එක් ව්‍යාපෘතියකි. අනුරාධපුර සහ පොළොන්නරුව අතර පිහිටි රිටිගල පුරාවිද්‍යා භූමිය ලෝක උරුමයක් බවට පත් කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැවැන්ත ව්‍යාපෘතියකි එම කාර්යය 2022 වස ර අවසන් වීමට පෙර ඉටු කිරීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇත.

විදෙස් සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ශණීය ස්ථානයන් වන අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල මහනුවර යන ලෝක උරුම නගරයන්හි ඇති පුරාවිද්‍යාත්මක ස්මාරකයන් සමූහයක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පරිපාලනය කරනු ලබන අතර ඉදිරියේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලාංකික පුරාවිද්‍යාත්මක උරුමයන් නරඹමින්, අනන්‍ය වූ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයෙහි පහස උපරිමව විඳීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත.

මේ යටතේ ශ්‍රී ලාංකික පුරා විද්‍යාත්මක උරුමයන් පිළිබඳව සංචාරකයන් දැනුවත් කරලීමේ විශේෂ අධ්‍යාපනික සහ මාර්ගෝපදේශක වැඩ සටහන්, වීඩියෝ දර්ශන, අත්පත්‍රිකා සහ ප්‍රකාශන මෙන්ම බාහිර සහයකින් තොරව සංචරණය කළ හැකි ස්වයං මාර්ගෝපදේශක ජංගම දුරකථන යෙදවුමක්ද (Mobile app) ක්‍රියාත්මකව පවතී. එමෙන්ම සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්ද සම්පූර්ණ කර ඇති අතර පූර්ණ සෞඛ්‍යාරක්‍ෂිත සංචරණයකට අවශ්‍ය මාර්ගෝපදේශද සකස් කොට ඇත.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකත්වය මත බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය  ගාමිණී රණසිංහ යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.

Recommended For You

About the Author: Thusal