ලෝක හදවත් දිනය අදයි ! හදවත රැක ගැනීමට ඔබ කරන දේ ප්‍රමාණවත් ද ?

හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්… ඒ නිසාම වටිනා දේවල් වල වටිනාකම විදහාපෑම සදහා හදවතට සමාන කරනවා. සංවේදීත්වය සදහා හදවත ඈදා ගන්නා සේම අතීතයේ සිට අප සාහිත්‍ය තුළද හදවතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ඉතින් මෙලෙස සැමට නිරන්තරයෙන් අවශ්‍ය වන හදවත පිළිබදව වැඩි අවධානයක් යොමුවන වැඩි වශයෙන් කතාබහට ලක්වන දිනය අදයි… එනම් අද ලෝක හදවත් දිනයයි.

මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති පේෂීමය අවයවයක් වන හදවතෙහි ප්‍රධානතම කර්තව්‍යය වෙන්නේ මිනිස් සිරුරෙහි සංසරණය විය යුතු රුධිරය සිරුර පුරා පොම්ප කිරීමයි. මේ සඳහා උපන් දා සිට නොනැවතී යන්ත්‍රයක් මෙන් හදවත ක්‍රියාත්මක වෙනවා.

ලොව පුරා පුද්ගලගන්ගේ මරණ හා ආබාධිත වීම් වලට ප්‍රධාන හේතුව හෘද රෝගයන්. ශ්‍රී ලංකාවේ මරණ වලින් 34% ක් පමණ හෘද රෝග වලින් සිදුවන අතර ඊට අමතරව රෝහල් ගත වීම් සහ බාහිර රෝගී සත්කාර සඳහාද එය ප්‍රධාන හේතුවක් වනවා. සෑම වසරකම විශාල පිරිසක් හෘද හා හෘද වාහිනී රෝග වලින් පෙළෙනබවට හඳුනාගන්නා අතර ඔවුන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබාගැනීමට පවා සිදු වෙනවා. හෘද රෝග වැළඳී තිබීම හා පාලනය නොවීම කොවිඩ් -19 නිසා සිදුවන මරණවලටද වැඩි අවධානමක් ඇති කරනවා. එනමුත්, මෙම තත්වයන් බොහෝමයක් වළක්වා ගත හැකියි.

ලොව පුරා සෑම වසරකම සැප්තැම්බර් 29 වන දින “ලෝක හදවත් දිනය” සමරනු ලබන අතර එය ලෝක හෘද සංගමය විසින් ප්‍රකාශයට පත් කර තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, හෘද රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේදීද එය සමරනු ලබනවා. 2021 වර්ෂය සඳහා තේමාව “Use heart to connect” – “සබැඳී දිවියක් – සුවැති හදවතක්” යන්නයි.
සම්බන්ධතාවයන් පවත්වාගැනීම, දැනුවත්බව වැඩි කිරීම සහ මහජනතාව අතර හෘද හා රුධිර වාහිනී රෝග වැළැක්වීම සහ කළමනාකරණය සඳහා සහාය වීම ආදී විවිධ කාරණා සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ දියුණුව සහ භාවිතය ප්‍රවර්‍ධනය කිරීම මෙම තේමාව තෝරා ගැනීමේ අරමුණයි.
වර්තමාන ගෝලීය කොවිඩ් -19 වසංගතය තුළ, සමාජීය හා පුද්ගල සම්බන්ධතා සීමා වීම නිසා, රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ කිරීම සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කිරීම මෙන්ම හෘද රෝගී පුද්ගලයින්ගේ ප්‍රතිකාර පිළිබඳ අධීක්ෂණය, උපදෙස් ලබාදීම හා අඛණ්ඩ සත්කාර සැපයුම සහතික කිරීම සඳහා ද මෙම ක්‍රමවේද භාවිතා කිරීම ආරක්‍ෂිත මෙන්ම පහසු විසඳුමක්.

වඩාත් පහසුවෙන් භාවිතා කළහැකි ඩිජිටල් උපාංග සහ ජංගම දුරකථන යෙදවුම්, රෝගියාගේ දැනුවත්භාවය ප්‍රවර්‍ධනය කිරීම, අවදානම් සාධක සහ සංකූලතා වැළැක්වීම සඳහා ද බහුලව භාවිතා කරනවා. හෘද රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධක වන මධ්‍යසාර භාවිතය සහ දුම්කොළ භාවිතය නැවැත්වීමට අමතරව, ශරීර බර නියමිත ලෙස පවත්වා ගැනීම සඳහා යෝග්‍ය ආහාර වේලක් සහ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්‍ධනය කිරීමට මෙම ක්‍රමයන්ම පහසුවෙන් යොදාගත හැක.
ස්මාර්ට් දුරකථන යෙදුම්, දුරකථන උපකාරක සේවා, ටෙලි මෙඩිසින්සේවා, අන්තර්ජාලය හරහා සම්බන්ධ වන දුරස්ථ අධීක්ෂණ හා සන්නිවේදන උපකරණ, ඊ මේල් ඇතුළු සන්නිවේදන ක්‍රම සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ද මේ සඳහා ඵලදායී ලෙස භාවිතා කළ හැකි ඩිජිටල් තාක්‍ෂණයේ විවිධ අංශ වනවා.
හෘද රෝග සහ වෙනත් බෝ නොවන රෝග ඇති අයට සෞඛ්‍ය සේවා ලබාදීමේදී මෙන්ම රෝග වැළඳීම වැළැක්වීම සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරනවා.මෙසේ සිදුකරන සමහරක් සේවා අතර

1. ජාතික තැපැල් සේවය සමඟ එක්ව හෘද රෝග සහ අනෙකුත් බෝ නොවන රෝග සායනවල රෝගීන්ගේ සායන ඖෂධ අදාළ රෝහල් වලින් නිවසටම ලබා දීම හා එම සේවා සම්බන්ධීකරණය 0720720720 /0720606060 යන ක්‍ෂණික දුරකථන ඇමතුම් මගින් ලබා දෙනු ලබනවා.
2. මහජනතාවගේ සෞඛ්‍ය ගැටලු වලට අදාලව 1999 ක්ෂණික ඇමතුම ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා දීම සිදුකරනවා.
3. ආපදා කාලය තුළ සෞඛ්‍ය ගැටළු සඳහා ආපදා කළමනාකරණ හා පෙරසුදානම් ඒකකය- 0117966366 අදාළ දැනුවත් කිරීම හා උපකාරක සේවාවන් ලබාදෙනු ඇත.
4. 1926 ක්ෂණික ඇමතුම් අංකය හරහා යහපත් මානසික සෞඛ්‍ය සඳහා උපදෙස් ලබා දෙනු ලබනවා.
5. සමාජ මාධ්‍ය භාවිතයෙන් හෘදය ආශ්‍රිත හා වෙනත් බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක අඩු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
6. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා බෝ නොවන රෝග ඒකකය මඟින් සමාජ මාධ්‍ය හරහා හෘද රෝග හා බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන සෞඛ්‍ය අවදානම වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම.

මීට අමතරව, කොවිඩ් – 19 කාලය තුළ සෞඛ්‍ය රෝග ඇතුළු සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විවිධ සෞඛ්‍ය ආයතනද ක්‍ෂණික දුරකථන ඇමතුම් අංක හඳුන්වා දී තියෙනවා.

එවැනි උපකාරක සේවා අතරට 1904, 247, 1390 ක්ෂණික ඇමතුම් අංක ද ඇතුළත් වන අතරම
එනිසා මෙම කොවිඩ් වසංගත කාලය තුළ සහ ඉන් පසුවත්
1. නියමකර ඇති ඖෂධ නිසිලෙස ලබාගමු
2. දුම් පානය, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන හා මධ්‍යසාර භාවිතයෙන් වළකීමු.
3. සෞඛ්‍යයට හිතකර ආහාර අනුභවකරමු..
4. ශාරීරික ක්‍රියාකාරිත්වය පවත්වාගැනීම හා දිනපතා සුදුසු ව්‍යායාමවල නිරතවෙමු.
5. මානසික ආතතිය අවමකර ගනිමු..
6. අපගේ සමීපතමයන් සමඟ සම්බන්ධතාවයන් පවත්වා ගනිමු.
මෙම සෑම අවස්ථාවකදීම හැකි පරිදි ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරමු.
“Use heart to connect” – “සබැඳී දිවියක් – සුවැති හදවතක්”

හදවතේ වටිනාකම සිහියට නංවා ගනිමින් හදවත නිරෝගීව පවත්වාගැනීමට කටයුතු කරමු. හදපිරි වටිනාකමින් සුරකිමු හදවත…

සටහන – පූර්ණා පුණ්‍යමලී නානායක්කාර. by – news.lk

Recommended For You

About the Author: Thusal