NMRA දත්ත මගඩියේ දී ‘එපික් ලංකා හා Dialog’ වගකීම් විරහිතව කටයුතු කරලා ද ?

NMRA දත්ත විනාශ කිරීම හා සම්බන්ධ ආන්දෝලනය තවදුරටත් උණුසුම් හා පරීක්ෂණ නොසිතූ මානයක් කරා ගමන් කරනු නිරීක්ෂණය වේ. මෙම සිදුවීම විමර්ශනය සිදුකරනු ලබන කණ්ඩායමට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධ විමර්ශන තවත් අංශ කිහිපයක් වෙත යොමුකර ඇති බවයි.

NMRA දත්ත මකාදැමීම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදි මෙම දත්ත මැකීයාම හුදු තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊයේ අධිකරණය හමුවේ පැවසීය.

NMRA අයත් මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කිරීමට අදාළ දත්ත 11,000 කට අධික ප්‍රමාණයක් මකා දැමීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් නොව හිතාමතාම සිදුකළ දෙයක් බව පරිගණක විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තුන්දෙනෙකුගේ සහාය ඇතිව CID ය සිදුකළ වෝහාරික පරීක්ෂණවලදී ද අනාවරණය වී  තිබේ.

එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය NMRA දත්ත සම්බන්ධයෙන් කටයුතු කළ අතර මෙහි hosting සිදුකෙරුණේ Dialog සමාගම මගිනි. පසුගිය සමයේදී මෙහි දත්ත මැකීයාම ගැන ටෙලිකොම් ආයතනයට ද චෝදනා එල්ල කෙරුණි. කෙසේවුවත්, 2017 ට පෙර සමයේදී NMRA දත්ත සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනය වගකීම ඉසිලුවද මෙහි කටයුතු ඩිජිටල්කරණයත් සමග එහි සියළු වගකීම් එපික් ලංකා හා Dialog සමාගම් වෙත පැවරුණි.

ජාතික ආරක්ෂාවට පවා බලපා ඇති මේ සිද්ධිය ගැන හිටපු ඩිජිටල් අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා පවසන්නේ රජයට අයත් දේපළක් වන මූල්‍යමය වටිනාකමක් ඇති දත්ත මකාදැමීම පොදු දේපළ පනතට එරෙහි වරදක් වන බවයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ කියා සිටින්නේ මෙම සිදුවීමට සම්බන්ධ සමාගමට පමණක් නොව එය පිටුපස සිටින ප්‍රබලයින්ට වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

‘CID පරීක්ෂණයක් කරන අතරතුරේ ඒ වගේ දත්ත විනාශ කරන්න පුළුවන් තරම් සම්බන්ධකම් තියනව ද? තරාතිරම නොබලා ඒකට සම්බන්ධ පුද්ගලික සමාගම විතරක් නෙවේ, ඒ පිටි පස්සේ ඉන්න පැවති රජයේ ඉන්න මහා මොළකාරයින් වන දේශපාලනඥයින් පවා වහාම නීතිය ඉදිරියට ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම දැඩි දඬුවම් දෙන්න කියලා තමයි මම මේ වෙලාවේ කියන්නේ’ යන්නයි.

සිද්ධිය සම්බන්ධයෙන් නව කරුණු ගණනාවක් ඊයේ අනාවරණය විය.ජුලි 09 වැනිදා උදේ 3.47 සිට පෙරවරු 10.29 දක්වා නිවසේ සිට රහස් ජංගම දුරකතන අංකයකින් මෙම ප්‍රශ්නගත දත්ත පද්ධතියට ඇතුළු වී පැය 7ක් තුළ සැකකරු මෙම දත්ත පද්ධතිය තුළ සැකකරු සැරිසැරූ බවද NMRA තමන්ට අදාළ දත්ත පද්ධතියට පිවිසීමට නොහැකි බව එපික් ලංකා ආයතනයට දැනුම් දුන් පසු එය පරික්ෂා කිරීමට භාරදී තිබෙන්නේත් මෙම සැකකරුටම බව ඊයේ අධිකරණය හමුවේ අනාවරණය විය. එමෙන්ම ඔහු දත්ත පද්ධතියට පිවිසීමට අදාළ History පවා මැකී ගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පැවසීය.

දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ  05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය. සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර මේ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.

Recommended For You

About the Author: Thusal