පුරාවිද්‍යාවට මහඟු සේවයක් කළ ආචාර්ය සිරාන් දැරණියගල

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගලගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි. අපේ පුරාණ උරුමය ලොවට ගෙනගිය විද්වත්හු ප්‍රධාන වශයෙන් තිදෙනෙකි. ආචාර්ය ඊ.පී. දැරණියගල, මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ මීට දින කිහිපයකට ඉහත (ඔක් 5) අභාවයට පත්වූ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යන විද්වත්හුය. මෙම තිදෙනා අතර ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා ලංකාවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂවරයාය. ඔහුගේ පුත්‍රයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුලින්ම සම්බන්ධ වූයේ 1968 වර්ෂයේදීය. එවක කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා වශයෙනි. 1992 සිට 2001 තෙක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉටු කළ මෙහෙය අංශ දෙකක් ඔස්සේ පැහැදිලි කළ යුතුව ඇත.

සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා මූලික හා ද්විතීය අධ්‍යාපනය ලැබුවේ සෙන්ට් තෝමස් විද්‍යාලයෙනි. ඉන්පසු 1959 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) ලන්ඩන් විභාගය සමත් වූයේ ග්‍රීක්, ඉංග්‍රීසි භාෂාව සහ ඉතිහාසය යන විෂයයන් ගෙනි. අනතුරුව ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. එහිදී සංස්කෘත භාෂාව හා වාස්තු විද්‍යාව යන විෂයයන් සහිතව බී.ඒ. උපාධිය සමත් වූයේය. ඉන්පසු 1965 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබූ සිරාන් දැරණියගල මහතා 1988 වර්ෂයේ දී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ආචාර්ය සිරාන් දැරණියගල මහතාට ලොව ඉතා ප්‍රකට විද්වතුන් කීප දෙනෙකුගෙන් ඉගෙනීමේ අවස්ථාව උදා වූයේය. ඒ අතර හැරල්ඩ් බේලි, මහාචාර්ය කොඩ්රින්ටන්, ආචාර්ය සොයිනර්, මහාචාර්ය සංකලියා, මහාචාර්ය බෝවියස් එයින් කීප දෙනෙකි.

සිය ආචාර්ය උපාධිය සඳහා ලියන ලද නිබන්ධනය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සහ පූර්ව ඉතිහාසයන්ට අයත් යුගලයන් පිළිබඳවය. THE PRE HISTORY OF SRILANKA (ද ප්‍රී හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා) නම් වූ එම සුවිශාල ග්‍රන්ථය වෙළුම් දෙකකින් යුක්තය. එම ග්‍රන්ථය දකුණු ආසියානු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ස්ථානයක් හිමිකරගෙන ඇති පර්යේෂණ නිබන්ධයක් ලෙස ජාත්‍යන්තර පුරාවිද්‍යා සඟරාවල ඉමහත් අගැයීමට ලක්වී ඇත. එම ග්‍රන්ථය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුස්මරණ ග්‍රන්ථ මාලාවේ අටවැනි ග්‍රන්ථය ලෙසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1992 වර්ෂයේදීය.

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන ක්ෂේත්‍රය තුළ 1968 තෙක් වැඩි අවධානයක් යොමු කර තිබුණේ වාස්තු විද්‍යාත්මක අවශේෂ සහ මූර්ති හා කැටයම් කලාව – අභිලේඛන පිළිබඳවය. එහෙත් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා ලෙසින් 1968 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා ආරම්භ කළ පැරණි ගල් (ශිලා) මෙවලම් මැටි බඳුන් හා ලෝහ වැනි අවශේෂ ආශ්‍රිත අධ්‍යයනය කෙරෙහි ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු කරවීමට සමත් වූයේය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දස දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමේ කාර්ය ජාතික උරුමය අමාත්‍යාංශයේ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා එහි ලේකම්තුමිය වූ කාන්ති විජේතුංග මහත්මියගේ නායකත්වයෙන් ‘‘උරුම ප්‍රසාද ප්‍රණාම’’ නමින් 2012 වර්ෂයේදී සංවිධානය කර තිබුණි. එම දස දෙනාට ආචාර්ය සිරාන් දැරණියගල මහතාද අයත්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1969 වර්ෂයේදී පුරාවිද්‍යා කැණීම්වලදී ස්ථර වින්‍යාසය නම් වූ භූවිද්‍යාත්මක සංකල්පය අනුව සිදු කරන ලද ප්‍රථම පුරාවිද්‍යා කැණීම් 1969 දී අනුරාධපුරයේ ගෙඩිගේ (ඇතුළු නුවර) පර් යේෂණ ආශ්‍රිත ප්‍රථම පුවිද්‍යා කැණීම් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් සිදු කරන ලදී. මේ පිළිබඳ කැණීම් වාර්තාව 1972 ANCIENT CEYLON II ඒන්ෂන්ට් සිලෝන් සඟරාවේ පළවිය. එය ආදර්ශ කැණීම් වාර්තාවක් ලෙස පිළිගෙන ඇත.

බූන්දල, ඇල්පිටිය යන ප්‍රදේශවල ස්ථාන පහක පමණ කරන ලද කැණීම් අනුව ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික ශුදා ශිරා මෙවලම් තාක්ෂණ සම්ප්‍රදාය පදනම්කරගත් ශිලා යුගයක් ශ්‍රී ලංකාවේ අවුරුදු 31,000 (තිස් එක්දාහක) පටන් තිබුණු බවට සාධක සහිතව ප්‍රථම වරට ඔප්පු කළේය.

මිනිහාගල්කන්ද, මාන්කුලම් වැනි ස්ථාන ශිලා යුගයට අයත් වන බව සොයා ගන්නා ලද අතර එයින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් ප්‍රථම වතාවට අතීත පාරිසරික තත්ත්වය අධ්‍යයනයට යොදා ගන්නා ලද්දේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසිනි.

පුරාවිද්‍යාව යනු පැරණි මිනිසා විසින් භාවිත කරන ලද හෝ නිර්මාණය කරන ලද භෞතික වස්තුවල අවශේෂ හැදෑරීමේ විද්‍යාවයි. ඉතිහාසය යනු ලේඛනගතවී ඇති හෝ මානවයා විසින් අක්ෂර භාවිත කිරීමේ සිට මෙපිට ලිඛිතව ඇති මූලාශ්‍ර ආශ්‍රයෙන් හදාරණ විෂයකි. එසේ වුවද ප්‍රාග් ඉතිහාසයත් පුරාවිද්‍යාවත් කාසියක දෙපැත්ත වැනිය. සෑම පුරාවිද්‍යාඥයෙක්ම ඒ හා බැඳුණු ඉතිහාසය දැනගත යුතුය. ඉතිහාසය යන විෂය අංශ තුනකි. (1) ඉතිහාසය – HISTORY (2) පූර්ව ඉතිහාසය – PROTO HISTORY (3) ප්‍රාග් ඉතිහාසය – PRE HISTORY යනුවෙනි.

ඉතිහාසය යනු ලිඛිත සාක්ෂි ඇති කාලයේ සිට දක්නට ලැබෙන්නකි. ලිඛිත සාක්ෂි යනු අක්ෂර (අකුරු) භාවිතය ඇති කාලයේ සිට ඇති ඉතිහාසයයි. ඒ අනුව මිනිසා විසින් ලිවීමට (අකුරු කියැවීමට හා ලිවීමට) ඇති හැකියාව පැවති කාලයේ සිට ලියැවුණු ඉතිහාසය සාමාන්‍යයෙන් ඉතිහාසය ලෙස හැඳින්වේ.

එසේ නම් ලේඛනය හෙවත් ලිවීමේ ක්‍රමය භාවිත කිරීමට පෙර තිබුණු කාලය හඳුන්වන්නේ කෙසේදැයි පැනයක් මතුවේ. ඉතිහාසයට පූර්වයෙන් තිබුණු කාලය ද ඊටත් ඈතට දිවෙන ඉතිහාසය පූර්ව ඉතිහාසය සහ ප්‍රාග් ඉතිහාසය යනුවෙන් හැඳින්වේ. මේ නිසා ඓතිහාසික යුගය හැර අනෙක් ඉතිහාස යුග දෙකම (පූර්ව ඉතිහාසය හා ප්‍රාග් ඉතිහාසය) ලේඛන ක්‍රමයක් නැති යුගයන් ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ. එමෙන්ම ඉතිහාසය ලියැවී ඇති යුගයන් ලෙස එම කාලය නොසැලකේ. ඒ අනුව ලිඛිතව ලියන ලද ඉතිහාසයක් එම කාලයේ දක්නට නැත. මේ නිසා ඉතිහාසය ඉගෙනීමේදී ලියැවී ඇති ඉතිහාසය දැනගැනීමට හැකිය. එහිදී නොලියැවුණ යුගයේ ඉතිහාසය දැනගන්නේ කෙසේදැයි පැනයක් මතුවේ.

නොලියැවුණු ඉතිහාසය ඉගෙනීමට උපකාර වන්නේ පුරාවස්තූන්ය. උදාහරණයක් ලෙසින් සඳහන් කරන්නේ නම් පුරාවිද්‍යා ස්ථානයක පැරණි වළං කැබලි රාශියක් ලැබුණොත් එයින් ප්‍රකාශ කෙරෙන්නේ එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචි වී සිටි බවකි. එසේ එහි පදිංචි වී සිටි මිනිසුන් විසින් කෑම උයා පිහාගෙන කෑ බවට සාක්ෂියකි.

එපමණක් නොවේ ගින්දර භාවිත කළ බැව් එම වළං පුළුස්සා තිබීමෙන් පැහැදිළි වේ. ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙම ප්‍රාග් ඉතිහාසය පිළිබඳ විශේෂයෙන් මහින්දාගමනයට පෙර ඉතිහාසය ප්‍රාග් ඉතිහාසය ජාතියට දායාද කර තිබෙන බව අනුරාධපුරයේ ගෙඩිගේ ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා පර් යේෂණ කැණීම් (1984 දී කළ) ලොව ඉතා ප්‍රකටය. එම කැණීම් අනුව යකඩ තාක්ෂණය, වී ගොවිතැන, සකපෝරුවේ සාදන ලද මැටි බඳුන් තාක්ෂණය ද පැවති බව මෙන්ම එම මැටි බඳුන් කීපයක බ්‍රාහ්මීය අක්ෂර ලියා තිබූ බවද ආචාර්ය සිරාන් දැරණියගල මහතා අනාවරණය කළේය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ යුගයට අවුරුදු තුන්හාර සියකට ඉහතදී මේ රටේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව ලොවටම හෙළි කළේය.
අභාවප්‍රාප්ත ආචාර්ය සිරාන් දැරණියගල මහතාට නිවන් සුව පතමු.


මහාචාර්ය සෙනරත්
පරණවිතාන පදනමේ ලේකම්
සිරිසමන් විජේතුංග

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *