කොවිඩ් වසංතයට එරෙහි දේශීය ප්‍රතිකාර ගැන ‘නිවහල් සිතින්‘ සලකා බලමුද ?

හිසරදයට ගන්නා පුංචි පෙත්තේ සිට අට අනූවක් ව්‍යාධිවලට ගන්නා දහසකුත් එකක් බටහිර ඖෂධ ආලයට නැතහොත් මාෆියාවට දැන්වත් තිත තැබිය යුතුය. ඒ සදහා කොවිඩ් වසංගතය එරෙහිව අති සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති දේශීය ශාසකාර ඖෂධ ගැන ‘නිවහල් සිතින් අවධානය යොමුකළ යුතුය.

කොවිඩ්-19 වසංගය ගෝලීය වශයෙන් දැවැන්ත ආර්ථික හා සමාජයීය ව්‍යසනයක් ඇති කළ බව කියන නමුත් බොහෝ ආර්ථික හා සමාජයීය විශේෂඥයින්ගේ අදහස වන්නේ එය බහුජාතික ඖෂධ සමාගම්වලට නම් ‘ධන ආකරයක්‘ වූ බවයි.

කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකයම, විශේෂයෙන් ලංකාව වැනි ආර්ථික දුෂ්කරතා ඇති රටවල් දැඩිසේ බැට කද්දී ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් බහුජාතික ඖෂධ සමාගම්වලට සහ ඔවුන්ගේ ඒජන්ත සමාගම්වලට (ඉන්දියාව වැනි රටවල ස්ථාපිත) එමගින් ඉතාම කෙටි කාලයක් තුළ අසීමිත ධනයක් ඉපයීමට හැකි වූ බවට ප්‍රබල චෝදනාවක් තිබේ.

‘කොවිඩ් වසංගතයෙන් බහුජාතික ඖෂධ සමාගම් අධික ලාභයක් ලබමින් සිටින බවට වන චෝදනාව කිසිවෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි. මෙම සමාගම් තම ඉතිහාසයේ වාර්තාගත ලාභය සහ ආදායම කොවිඩ් වසංගතයේ මධ්‍ය භාගයේ සිට වාර්තා කර තිබෙන බවට සැකයක් නැහැ. ඔවුන් මේ අසීමිත ලාභය තවත් දීර්ඝ කාලයක් පුරා උපයා ගනීවී. ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන සහ ව්‍යාපාරික පසුබිම, ඒ වගේම මානසික පසුබිම ඔවුන් නිර්මාණය කර අවසන්‘ යැයි මෙරට ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරයෙක් අවධාරණාත්මකව සදහන් කළේය.

බහුජාතික සමාගම් විසින් නිර්මාණය කර හදුන්වා දුන් කොවිඩ් එන්නත් හා මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කළ, ඊයේ (11) වෙළෙද පොළට නිකුත් කිරීමට ඇමෙරිකානු රජයෙන් අවසර ඉල්ලූ Molnupiravir නම් ‘කොවිඩ් පෙත්ත‘ ගැන කළ විමසීමක දීය.

කෙසේවෙතත් මෙම molnupiravir ඖෂධය පිළිබඳව ඉන්දියානු ඖෂධ සමාගම් වන Aurobindo Pharma et MSN විසින් රොයිටර් පුවත් සේවයට පවසනුයේ එය කොරෝනා වයිරසය මර්ධනය කිරීමට හැකියාවක් ඇති කාර්යක්‍ෂමක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැකි බවයි. ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව විශාල බලාපොරොත්තු තැබිය නොහැකි බව එම සමාගම් එම පුවත් සේවයට පැවසුවේය.

කොරෝනා වයිරසයට එරෙහිව ලොව පුරා බහු ජාතික සමාගම් ඖෂධ නිෂ්පාදනය කරමින් සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්තෝබර් 6 වැනිදා තම නවතම වාර්තාවෙන් ප්‍රකාශ කර සිටිනු ලැබුවේ කොරෝනා රෝගය පාලනයට තවමත් ලෝකය අසමත් වී ඇති බවයි. මේ වනවිට කොරෝනා රෝගය නිසා පුද්ගලයින් 4,841,746 පිරිසක් ලොව පුරා මියගොස් ඇත. ඇමරිකාවේ පමණක් එය සෑම පුද්ගලයින් 500කට එක් අයෙකු ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

එන්නත ගැන අවුලක්

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති සහ ‘හදිසි අවශ්‍යතාව සදහා නිර්දේශ කර ඇති‘ කොවිඩ් එන්නත් සදහා ගෝලීය වශයෙන් සැලකිය යුතු තරමේ විරෝධයක්, නැතහොත් කුකුසක් පවතින අතර යෞවයින් තුළ ඒ ගැන බරපතළ සැකසාංකා තිබේ. මේ තත්ත්වය අපට පහසුවෙන් ලංකාව තුළ ද නිරීක්ෂණය කළ හැකිය. එය කොතරම් ප්‍රබල ලෙස සිදුවී ද යත් පසුගිය දිනවල කොවිඩ් එන්නත්කරණයට ලක්වන ලෙස මෙරට යෞවනයින්ට ආයාචනා කිරීමට රජයට සිදුවිය.

කොවිඩ් එන්නත ගැන මේ ආකාරයේ විරෝධයක්, සැකයක් ඇති වීම හුදු අහඹු සිදුවීමක් හෝ කෘත්‍රිමව නිර්මාණය කළ දෙයක් නොවේ. එය ජනතාව තුළ වර්ධනය වූයේ ක්‍රමිකව හා තාර්කානුකූල ආකාරයෙනි. විශේෂයෙන් පසුගිය කාලය පුරා බටහිර බහුජාතික ඖෂධ සමාගම්වල ‘වංචාකාරී හැසිරීම‘ මෙන්ම ලාභය වෙනුවෙන් ඔවුන් ගත් ඇතැම් පියවර ද මේ මතය ජනතාව තුළ වර්ධනය වීමට ප්‍රබල ලෙස දායක විය.

‘පරීක්ෂණාගාර මීයන් වීමට අපට බැහැ‘, ‘ඖෂධ මාෆියාවේ ගොදුරක් වීමට අපට අවශ්‍ය නැහැ‘ ආදි වශයෙන් තාර්කානුකූල මත රැසක් කොවිඩ් එන්නතට එරෙහිව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ අතර ඉතාම කෙටි කාලයක් තුළ එන්නත නිෂ්පාදනය කිරීම මෙන්ම එහි බාහිර බලපෑම් ගැන නිසි තක්සේරුවක් නොවීම ද මේ අතර ප්‍රබල ඍණාත්මක කරුණු අතර විය.

මේ සියලු කරුණුවල අවසන් ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ දිනපතාම කොවිඩ් එන්නතට ඇති සමාජයීය පිළිගැනීම අඛණ්ඩව ඛාදනයට ලක්වීමයි.

මේ තත්ත්වය බටහිර බහුජාතික සමාගම්වලින් යැපෙන හෝ වරදානවලට යටව සිටින වෛද්‍යවරුන්, දේශපාලනඥයින් හා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට බරපතළ හිසරදයක් බවට පත් වෙමින් තිබේ.

‘කොවිඩ් එන්නත්වලට ඇති විරෝධය හා ඍණාත්මක ආකල්ප මගින් සිදුවන්නේ අදාළ එන්නතට ඇති වෙළෙදපොළ අවකාශය හීන වීමයි. ඒ කියන්නේ අදාළ සමාගම්වල ලාභයට බලපෑම් සිදුවීමයි. මෙය කිසිසේත් ඔවුන් ඉවසන තත්ත්වයක් නොවෙයි. ඔවුන් මෙය වළක්වා ගැනීම ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සහතිකයි. එය තමයි හැමදාම සිදු වුණේ. අපි වගේ රටවල් ඔවුන්ට පහසු වෙළෙදපොළක් වන අතරෙම පරීක්ෂණාගාර මීයන් ද වුණා‘ අප සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

දේශීය ප්‍රතිකාර ක්‍රම පෙරට ඒම

කොවිඩ් වසංගතයෙන් දැඩිව බැට කෑ ඉන්දියාව, බ්‍රසීලය පමණක් නොව තවත් රටවල් රැසක් (විශේෂයෙන් ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු) එහි ආරම්භයේ සිටම ‘දේශීය ප්‍රතිකාර‘ වෙත බලවත් අවධානයක් යොමු කළ බව අපට මතකය. ලංකාවේ ද මේ තත්ත්වය අඛණ්ඩව පවතින අතර ඇතැම් හුදකලා සිදුවීම් එකී විශ්වාසය බිද දැමීමට තරම් කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

ලංකාව පමණක් නොව කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනය පවා ආරම්භයේ සිටම වසංගතයට එරෙහිව දේශීය ප්‍රතිකාර ක්‍රම, විශේෂයෙන් ස්වභාවික ශාකසාර පදනම් කරගත් ඖෂධ වෙත වැඩියෙන් යොමු විය. ඉන්දියාව එහි උපරිමයට ගොස් ආයුර්වේද ප්‍රතිකාර සහ නිෂ්පාදන රැසක් ගෝලීය වෙළෙදපොළට හදුන්වා දුන්නේය. බටහිර මාධ්‍ය ඒවාට කොතරම් කෙනහිලිකම් කළත් මේ වන විට බටහිරටවල සහ මැදපෙරදිග ඇතුළු රටවල මේ දේශීය ශාකසාර පදනම්කර ගත් නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් තිබේ.

මේ තත්ත්වය එකී රටවල දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීමට පමණක් නොව දේශීය නිෂ්පාදන කර්මාන්ත සහ විශේෂඥ දැනුමට අලුත් වටිනාකමක් ලබාදීමට ද පසුබිම සකස් කර තිබෙන අතර කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකයන්ට උත්තේජනයක් ලබාදීමට ද පසුබිම සකස් කර තිබේ.

ලංකාවේ කතාව සහ විසදුම

ශ්‍රී ලංකාව යනු සියවසක් නොව සහශ්‍ර වර්ෂ ගණනාවක සිට අවිච්ඡින්ව පැවත එන දේශීය වෛද්‍ය ක්‍රම කිහිපයක් ඇති රටවල් අතලොස්සත අතරින් ඉදිරියෙන්ම සිටින රටකි. පුරාවිද්‍යාත්මකව තහවුරු කර නැත ද දේශීය ජනතාව තුළ මුඛ පරම්පරාගතව මුල්බැස ගෙන ඇති මහා ඉසිවරයෙකු වන රාවණා යුගයේ සිට මහා වංශය ඇතුළු මෙරට ලිඛිත ඉතිහාසය විසින් තහවුරු කරන බුද්ධදාස රජුගේ සිට අඛණ්ඩව පැවත එන දේශීය වෛද්‍ය ක්‍රමයක් අප සතුව තිබේ.

යටත් විජිත යුගයේ හදුන්වා දුන් බටහිර වෛද්‍ය ක්‍රමය විසින් මෙකී දේශීය වෙදකමේ අක්මුල් සිද දැමීමට ගත හැකි උපරිම දේ කළ ද එම යුගයේ එය තව තවත් වැඩී වර්ධනය වුණා මිස අතගෑවී යාමක් සිදු නොවීය.

මහා රාවණාවන්ගේ සහ බුද්ධදාස රජුගේ ආනුභාවය සහ ආශිර්වාදය ලත් හෙළ වෙදකම නැතහොත් ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම අදත් මෙරට ජනතාවගේ හදවතේ මුල්බැසගත් මහත් භක්තියට හා ගෞරවාදරයට ලක්වන උතුම් පුන්‍යකර්මයකි.

කොවිඩ් සහ දේශීය වෙදකම

කොවිඩ් ආර්බුදය පැතිර යාම ආරම්භයේ සිට කොල්ලමල්ලි වතුර, කහ වතුර ටික මුවට ගත් ශ්‍රී ලාංකිකයින් වසංගතයේ උච්චතම අවධියේ ද දේශීය වෙදකම ගැන ලේ නහර තුළ දිවෙන භක්තිය හා විශ්වාසය බිදකදු අඩු නොකළේය. බටහිර වෙදකම කරටගත්, එය ජීවනෝපාය මාර්ගය, ධනෝපාය මාර්ගය කරගත්තවුන් කුමක් කීවත්, කොපමණ විවේචන කළත් ඔවුන් අදත් වඩාත්ම භක්තියක් හා විශ්වාසයක් දක්වන්නේ තම ජානගතව ඇති දේශීය වෙදකම ගැනය.

‘අවුරුදු දස දහස් ගණනක් පැරණි, අත්දුටු, ප්‍රත්‍යක්ෂ දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබෙන, ලෝකයේ වඩාත්ම වටිනා ශාකසාර ඖෂධ නිෂ්පාදනය කළ අපිට ඇයි කොවිඩ් වසංගතයට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කරන්න බැරි‘ පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ සිත තුළ මෝරමින් තිබූ ප්‍රශ්නයක් එසේ කැටිකළ හැකිය.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට එහි ආරම්භය ගැන ජනතාව අතර පවති සැකය ද මෙකී අදහස වඩාත් තීව්‍රර කිරීමට හේතු වුණා විය හැකිය.

මේ තත්ත්වය තුළ ඊනියා බටහිර කොවිඩ් එන්නතට සහ පෙත්තට අභියෝග කරමින් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පන්නරය සහ අත්දැකීම් ලබාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ රසඥයින් විසින් කොවිඩ් වසංගතයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ලූ ශාකසාර ඖෂධ කිහිපයක් හදුන්වා දීම අප ආශිර්වාදයක් සේම අභිමානයක් ලෙස ද සැලකිය යුතුය. මන්ද මෙගින් වාසි එකක් නොව කිහිපයක් ම, රැසක්ම ලැබෙන බැවිනි.

එයින් ප්‍රමුඛම වන්නේ ශාකසාර ඖෂධ ගැන ශ්‍රී ලාංකිකයින් තුළ පවතින විශ්වාසය සහ භක්තිය තව දුරටත් තහවුරු වීමයි. එසේම ‘අපේ ඖෂධයක්‘ නිෂ්පාදනය කළ රටක් ලෙස හිමිවන අභිමානයයි. මේ කරුණු දෙක කිසිසේත් ‘මුදලින්‘ තක්සේරු කළ නොහැකිය.

ඩොලර් අර්බුදයට නිසි විසදුමක්

ඒ අතර ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින බරපතළ විදේශ විනිමය අර්බුදය නැතහොත් ඩොලර් අර්බුදයට ද මෙකී ශාකසාර නිෂ්පාදන මගින් තිරසර විසදුමක් ලැබෙන බව පැහැදිලිය. ඒ කොවිඩ් එන්නත් ආනයනයට ගෙවිය යුතු දැවැන්ත විදේශ විනිමය / ඩොලර් මේ දේශීය නිෂ්පාදන භාවිතයට ගැනීම සමග රට තුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමිවීමයි.

මෙහිදී බලධාරීන් සහ නිලධාරීන් මෙන්ම ජනතාව ද තම වගකීම මෙන්ම වගවීම ද මනාව වටහා ගත යුතුය.

‘ඖෂධ‘ යනු ධනවත් ජාතීන් ශ්‍රී ලංකාව වැනි රටවල් සූරාකෑමට පාලනය කිරීමට යොදා ගන්නා බලවත් මෙන්ම පහසු අවියකි. එමගින්  ඔවුන් අපේ ධනය සූරා ගන්නා අතර අප සතු අභිමානය, විශ්වාස සහ වටිනාකම් ද වනසා දමන්නේය. එය වර්තමානයට සේම අනාගතයට අතිෂය හානිකර තත්ත්වයකි.

අනෙක් අතින් වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල් ශාකසාර මගින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ගන්නා වෑයම උපන් ගෙයිම ගබ්සා කර දමා එකී ශාකසාරම සොරා ගෙන, නැතිනම් පේටන්ට් බලපත්‍රය ලබා ගෙන බටහිර සමාගම් විසින් ඖෂධ නිෂ්පාදනය කිරීමයි. මෙය පැහැදිලිව මංකොල්ලයක් වන අතර තවත් අතකින් ‘නරුම සූරාකෑමකි‘

අප දැන්වත් මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන බටහිර සහ ඔවුන්ගේ ඒජනත්තයින්ගේ ඖෂධ මාෆියාවට තිත තැබීමට අදිටන් කරගත යුතුය.

හිසරදයට ගන්නා පුංචි පෙත්තේ සිට අට අනූවක් ව්‍යාධිවලට ගන්නා දහසකුත් එකක් බටහිර ඖෂධ ආලයට නැතහොත් මාෆියාවට දැන්වත් තිත තැබිය යුතුය. ඒ සදහා කොවිඩ් වසංගතය එරෙහිව අති සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති දේශීය ශාසකාර ඖෂධ ගැන ‘නිවහල් සිතින් අවධානය යොමුකළ යුතුය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *