‘විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දියුණුවට රජයේ පූර්ණ සහාය දෙනවා‘ – ඇමති බන්දුල

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශක කාරක සභාව පසුගිය දා (12 දින) වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව රැස්විණි.

සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ අපනයන‍ භාණ්ඩ පැස දැනට වෙළඳ භාණ්ඩ ස්වල්පයක් මත රඳාපවතින හෙයින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා විසිතුරු මසුන් අපනයනය වැනි සාම්ප්‍රදායික නොවන අපනයන අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

‘විසිතුරු මත්ස්‍ය අපනයන ක්ෂේත්‍ර‍ය නංවාලීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක කමිටුවේ සාමාජිකයින්ගේ අදහස්වලට සවන් දීමට සහ ක්‍රියාත්මක කළ හැකි යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට’ අමාත්‍යවරයා සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කරන ලද අතර කර්මාන්තයේ දියුණුව සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවට ද පොරොන්දු විය. විසිතුරු මත්ස්‍ය අපනයන උපදේශක කමිටුවේ සභාපති සහ සම-සභාපති ලෙස සත්‍යේන්ද්‍ර විජයපුර සහ මේනක දිසානායක මහත්වරුන් ඒකමතිකව තේරී පත් වූහ.
වැඩ භාරගැනීමෙන් පසු විජයපුර මහතා සඳහන් කළේ, විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය සිය අපනයන ආදායම ඩොලර් මිලියන 12 සිට ඩොලර් මිලියන 24 දක්වා ඉදිරි වසර දෙකතුල වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතු බවත්, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශක්තිමත් හා බලවත් උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍ය බවත්ය. මේ මොහොතේ කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන බාධාවන් ලෙස ගුවන් ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ අධික භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඔහු අවධාරණය කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ සහ අපනයන කෘෂි අංශයේ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම පවත්වාගෙන යන අතරම, කර්මාන්ත නංවාලීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳව උපදේශකයින්, ‍ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාතික ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා අපනයන උපදේශක කමිටුව ප්‍රධාන වේදිකාවක් සපයයි.

Recommended For You

About the Author: Thusal