‘ඉල්ලා අස්කර ගන්නා නඩු සම්බන්ධයෙන් නීතිපති ජනතාවට හේතු කියන්න ඕනෑ‘

නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හේතු ජනතාවට පැහැදිලි කළ යුතු බවජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පෙන්වා දෙති. පසුගිය 17 වෙනිදා එම නීතිඥවරුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙනවා. සෑම සතියකට හෝ දෙකකට වතාවක් රාජපක්‍ෂ පවුලේ හෝ එම පවුලේ ආශිර්වාදය ලබන කිට්ටුවන්තයෙක් අධිචෝදනාවලින් නිදොස් කොට මුදා හරිනවා. නීතිපතිවරයා මේ ලෙස අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම රට හමුවේ සාකච්ඡා කරන්න ඕනෑ. බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නඩු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නඩු, කෘෂිකර්ම ඇමතිවරයාගේ නඩු ඇතුලු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. මේ ක්‍රියාවලිය මොකක්ද? මෙහෙම ක්‍රියාවලියක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙනවාද?

නීතිඥ සුනිල් වටගල මහතා

යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ආයතන කිහිපයක් තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, සහ අල්ලස් සම්බන්ධයෙන් නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ථානවලට කරන ලද පැමිණිලි අධිචෝදනාවකින් කෙළවර කළ යුතු  නම් ඒ ඒ ආයතනවල විමර්ශන නිලධාරීන් සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිළධාරියෙකු එය පරිශීලනය කර වාර්තාවක් එක්ක ඉහළ නිලධාරියෙකුට යවනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය නම් විමර්ශන නිලධාරීන් කැඳවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉහළ විමර්ශන නිලධාරියාට මේ අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තව දුරටත් ඉහළ නිළධාරින් එක්ක කරුණු සාකච්ඡා කරන්න පුලුවන්. එයින් මතුවන අඩුපාඩු සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාට ලිපි ගොණුව යවනවා. අපරාධ නඩු අංශයේ ප්‍රධානියා, ඉහළ විමර්ශන නිලධාරියා සහ නීතිපතිවරයා සම්බන්ධවී අධිචෝදනාවේ තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් පහළ නිලධාරීන් කැඳවා නිවැරදි කර ගන්නවා. 

නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයේ අත්තිවාරමයි

සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීවරයෙක් පරිශීලනය කිරීම, එම වාර්තාව අධික්‍ෂණ නිලධාරියෙකුට යොමු කිරීම සහ ඉන් පසු නීතිපතිවරයාට ලබාදීම යන ක්‍රියාවලියෙන් පසුව ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අධිචෝදනා පත්‍රය මහාධිකරණයට යවනවා. මහාධිකරණයේ මුලින්ම අදාල චෝදනා කියවනවා. මහාධිකරණයට යොමුකළ අධිචෝදනා පත්‍ර පවා කියවාදීමට පෙර ගැටලු ඇත්නම් විනිසුරු යළි නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. එවැනි අවස්ථාවකදී විමර්ශන නිලධාරීන් යළිත් අදාල නිවැරදි කිරීම් කරනවා. ඉන්පසු මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර වරදකරුද, නිවැරදිකරුද යනුවෙන් ප්‍රශ්න කෙරෙනවා. එවැනි නඩු ගොනුවක් හිටි හැටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවක් තියෙන්න ඕනෑ. මේ වෙනුවෙන් මහජන ධනය කොපමණ වැයකර තිබෙනවාද? 

මේ ආකාරයට නිර්මාණය කළ අධි චෝදනා පත්‍රය එක පෑන් පහරින් ඉල්ලා අස්කර ගන්නවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. අපි ඉතා වගකීමෙන් කියන්නේ නීතිපතිට ඕනෑ වෙලාවට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. විශේෂ හේතුවක් නැතිව ඉල්ලා අස්කර ගන්නත් බැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ කියන්නේ නීතිය සමාජ සාධාරණත්වය උදෙසා කියලයි. මේ යටතේ තිබෙන්නේ “නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයට අත්තිවාරම වන අතර රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ යහපත සඳහාය. නීතියේ ආධිපත්‍යය යන සංකල්පය, මේ සංකල්පයේ අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම වන හෙයින් කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රජය නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකළ යුතුය. එබැවින් අපගේ රජය නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට හැම විටම කැපවන අතර කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට ඉඩ නොතැබේ.” යන ආකාරයටයි.

ඊලඟට අස්කර ගන්නේ මල්වානේ නඩුව!

ඒ වගේම මේ ප්‍රකාශයේ 71 වන පිටුවේ “පුරවැසියා මෙන්ම පාලකයාද නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු අතර එය රටක ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණි. නීතිය සැමට සමාන විය යුතු අතර පුරවැසියා නීතියට මිස නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවලට සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ආයතන සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස මහජනතාව නිර්මාණය කෙරෙයි.” කියලා දැක්වෙනවා. හරිම පැහැදිලිව ඔවුන් අපිට කියාදී තිබෙනවා. නමුත් දැන් ප්‍රතිපත්ති ප්‍රකාශය පැත්තකට දාලා වෙනත් පාරක යනවා. තමන්ගේ සුවච කීකරු ගෝලයෝ නිදහස් කරගන්න කැකිල්ලේ කොමිසමත් ගෙනාවා. මේ කොමිසන් වාර්තාවෙන් රාජපක්ෂ පවුලේ, කැබිනට් මණ්ඩලයේ අයගෙ සහ හිතවතුන්ගේ නඩු විශාල ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. ඒ වගේම ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන අනාවැකියක් පළ කරන්න පුළුවන්. ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. 1968/2020 නඩු අංකය යටතේ තිරු කුමාර් නඩේෂන් පැමිණිලිකරු ලෙස සඳහන් කළ නඩුව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වැදගත්. “පැමිණිලිකරුට හා බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව බී8864/15 මගින් අසත්‍ය පැමිණිල්ලක් කළ උපුල් කුමාර රාමවික්‍රම යන අයට එරෙහිව නඩු පැවරීම ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, ගම්පහ මහාධිකරණයේ නඩු අංකය වන 26/2017 නඩුව ඉල්ලා අස්කරගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතුය.” කියලා තියෙනවා.

මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා

නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මේ ආකාරයට නම් සැලකිය යුතු ගැටලුවක් නිර්මාණය වෙනවා. ඉල්ලා අස්කර ගැනීම්වලට කිසිදු පදනමක් නැහැ. විශේෂම කාරණය වෙන්නේ මේ ඉල්ලා අස්කර ගන්න නඩුවල අධිචෝදනා පත්‍රවලට එවකට නීතිපතිවරයාව සිටි දැන් ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා අත්සන් කර තිබීමයි. මෙතන ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ ඉල්ලා අස්කරගැනීම් පිටුපස පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයන් තිබෙනවා. මේ නඩු ඉල්ලා අස්කර ගත්තත් සාමාන්‍ය ජනතාවගේ නඩු ඉල්ලා අස්කරගන්නේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන්ගේ නඩු නීතිපති දෙපාර්තමේන්තුව වේගයෙන් ඉල්ලා අස්කර ගන්නවා. මේ නඩු ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයාත් නීතිපතිවරයාත් සෘජුවම වගකිව යුතුයි. අලුත් නීතිපතිතුමා පත්වෙනකොට අපි හිතුවා නීතිය හරි විදියට ක්‍රියාත්මක කරයි කියලා. ඒත් දැන් මහදවල් අපරාධකාරයෝ, ජනතා මුදල් හොරාකාපු මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා. අපිට හරි කණගාටුයි නීතිපතිතුමනි.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා නීතියේ බලය රකින්න ඡන්දය ගත් මහත්වරු ක්‍රියා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. හිටි අඩියේම කාබනික පොහොර බවට පරිවර්තනය කිරීම හත්පොලේ ගාගෙන තිබෙන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව යොදාගෙන ගෙනයන ක්‍රියාවලියක් හත්පොලේ ගාගන්න වෙනවා. වර්තමාන නීතිපතිවරයාට අපි හරි ආදරයෙන් හිටියා. නමුත් අපට දැන් හරිම කණගාටුයි. මේ තත්වයට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සමග එකතු වෙන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා. නීතියේ බලය යළි තහවුරු කරන තුරු මේ සටන අපි අත හරින්නේ නැහැ. ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යනවා. 

අවුරුදු පහෙන් පහට මාරු වෙන ආණ්ඩු හොරුන්ගේ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නවා…

නීතිඥ අංකලංක උක්වත්ත මහතා

ගරු නීතිපතිතුමා වගකියන්නේ සහ වගවෙන්නේ ශ්‍රී ලංකා ජනරයට නොව පත්වෙන ආණ්ඩුවලට කියලා අපිට පෙනී යනවා. අධිචෝදනා ගොණු කරන්නේ සමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයකට පොලීසිය චෝදනා ගොණු කරනවා වගේ නෙවෙයි. අධිචෝදනා කිව්වම වචන අර්ථයෙන්ම බරක් දැනෙනවා. ඒ තුළ ඒ වරදේ බරපතළකමත්, ඒ දක්වා යන ක්‍රියාවලිය පිළිබඳවත් පහළ උසාවියකට චෝදනා ගොණු කිරීමට වඩා බරපතළ කරුණක් බව පැහැදිලි වෙනවා. මේ ආකාරයෙන් ගොණු කළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළත් වෙනවා. නීතිපතිතුමා විසින් ගොණු කළ චෝදනා අලුත් ආණ්ඩුවක් යටතේ නව නීතිපතිවරයෙක් පත් වුණාම දණ්ඩ නීති සංග්‍රහයේ චෝදනාවල නෛතික සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ. අධිචෝදනා ගොණු කරන අවස්ථාවේ නීතිපතිතුමා සහ අදාළ නීතිඥ මඩුල්ල ක්‍රියා කර තිබෙන ආකාරය සහ විමර්ශන වැරදියිද ඔවුන් වරදක් කර තිබෙනවාද, දැන් නිදහස් වන චූදිතයන් රක්‍ෂිත බන්ධනාගාර කළ අය වීම නිසා තව දුරටත්  බරපතල තත්වයක් ඇති වෙනවා. මේ නිසා අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් නැහැ.  

නීතියේ ආධිපත්‍යය විශාල කඩාවැටීමක

මෙයින් පෙනෙන්නේ එක් ආණ්ඩුවකින් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්න බවයි. දැන් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්නවාද? මේ තුළ හැඟී යන්නේ නීතියේ ආධිපත්‍යය විශාල කඩාවැටීමක තිබෙන බවයි. මිනිස්සුන්ට නීතියේ ආධිපත්‍යය කඩාවැටීම සම්බන්ධයෙන් විශ්වාසය බිඳීයාම බරපතළ ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවට තිබෙන අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න පුළුවන්ද කියලා අධිකරණයෙන් විමසන තත්වයක් ආවොත් මොකද කරන්නේ? දේශපාලකයන් නොවන අයගේ අධිචෝදනා ඉල්ලා අස්කර ගත් අවස්ථා තිබෙනවාද? සමහර චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවලින් පවා විමර්ශනය කිරීමෙන් පසුවයි. ජනාධිපති කොමිෂන් සභාවකට පත් කරන්නේ අදාළ විෂයයන් සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තිබෙන අය. ඔවුන්ගේ නිරීක්‍ෂණ අනුව නීතිපතිතුමා අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා. සමහර අධිචෝදනා පත්‍ර විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් පත් කරනවා. එවැනි චෝදනා පත්‍ර පවා ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මේ අනුව බලන විට කොහේ හරි තැනක වැරදීමක් තිබෙනවා. එකක් හරියන කොට අනිවාර්යයෙන්ම අනික වරදින්නම ඕනෑ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් මේ වරද හොයන්න ඕනෑ නැද්ද? නීතියේ නිර්වචනය දේශපාලඥයින්ට වෙනස් වෙනවාද? 

චෝදනා ඉල්ලා අස්කර ගැනීම අතිශය වැරදියි

කාලය නාස්ති කරලා, ධනය නාස්ති කරලා ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා මේ ආකාරයට ඉල්ලා අස්කර ගැනීමෙන් ජනතාව තුළ නීතිය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිව යනවා. ඒ තැනක තිබෙන්නේ අරාජිකත්වය. නීතිය ගැන විශ්වාසය බිඳුනු දවසට පපුවට ගහ ගන්නා නායකයෝ ආවාට ගොඩගන්න බැහැ. වගකීම් දරන නිලධාරීන්ගේ වගවීම සමාජයට තිබිය යුතුයි. නමුත් 20වැනි සංශෝධනයෙන් පස්සේ තමන්ගේ වෘත්තියේ ඊළඟ උසස්වීම ලබාගැනීමේ සුරක්‍ෂිතතාවය ගැන හිතනවා. වගවීම නැතිවෙන්නේ මෙතනදී. නීතිය එහෙමම තිබියදී මේ ආකාරයට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. සාමාන්‍ය මිනිස්සුන් කරන වැරදිවලට අමතරව වෘත්තිකයන් කළ යුතුව තිබෙන රාජකාරී නොකර හැරීමත් අතිශ්‍ය බරපතල වරදක්. අධිචෝදනාවලින් එල්ල වන චෝදනාවලට වඩා මෙම තත්වය බරපතළයි. සාක්‍ෂි නැතිව අධිචෝදනා පත්‍රයක් යම් බලකිරීමක් මත ඉදිරපත් කිරීමත් වැරදියි. සාක්‍ෂි තිබෙන එවැනි චෝදනා ඉල්ලා අස්කර ගැනීම අතිශය වැරදියි. විශේෂයෙන්ම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට වෙනම කතිකාවක් ඇතිවී තිබෙනවා. ආණ්ඩු මාරුවන විට මේ ආකාරයට නීතිය කඩා වැටුණහොත් ඇතිවන්නේ බරපතළම තත්වයක්. එක නීතිපතිවරයෙක් අධිචෝදනා තිබෙන බව පවසා ගොණු කරන නඩුවක් තව නීතිපතිවරයෙක් යටතේ අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවූ කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ. බුද්ධිය යොදවලා නීතිමය රාමුව තුළ නැති දේවල් ඇති කිරීමත් ඇති දේවල් නැති කිරීමත් අතිශයින්ම බරපතලයි. 

“කිසිම නීතියක් බලයේ සිටින පාලකයන්ට අදාළ නැහැ” කියල වගන්තියක් ඇතුළත් කිරීම වඩාත් හොඳයි…

නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා

අද වෙනකොට ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය විවිධ මහාධිකරණවල විභාග වුණු යම් අධි චෝදනා නඩු සංඛ්‍යාවක් ඉල්ලා අස්කරගෙන තිබීමයි. සමහර පුද්ගලයන්ට විරුද්ධව නීතිමය දැල ක්‍රියාත්මක නොව බවට අපේ රටේ සාමාන්‍ය මතයක් තිබෙනවා. ඒවා බරපතළ අපරාධ. ඊට අදාළ විමර්ශන ගොණුවක් නැවත විමර්ශනය කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් නීතිපතිවරයා විසින් පත්කරන අවස්ථා තිබෙනවා. අදාළ සියලු කරුණු විශ්ලේෂණය කර අඩුපාඩුවක් නොවන තත්වයට සියලු තොරතුරු උපදෙස් සහ දත්ත පෙළගස්වනවා. අධිචෝදනා පත්‍රයක් සකස් කිරීම හෝ නොකිරීම සිදුවෙන්නේ ඉන් පසුවයි. මෙවැනි විමර්ශන සිදුවෙන්නේ සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ සෘජු අධික්‍ෂණය යටතේයි. අද අපි කතා කරන නඩු අති බහුතරයක් මෙවැනි ක්‍රියාවලියක විමර්ශනයට ලක්වුණු ඒවා. එවැනි අධිචෝදනා පත්‍රයක් ඉවත් කර ගන්නේ මොන පදනමකින්ද කියලා ජනතාව දන්නේ නැහැ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සඳහන් වී තිබෙන ආයතනයකින් මීට අදාළ පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක්. ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම යන දෙකම ඔවුන්ට තිබෙනවා. නීතිපතිවරයා ගන්නා යම් තීරණයකදී වගකීම සහ වගවීම ජනතාවට පෙන්නේ නැත්නම් එතැන බරතපළ දෝෂයක් තිබනෙවා. 

මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ

ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාල තොරතුරු දක්වා තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහාධිකරණයක මුල් අවස්ථාවේ නඩු පැවරීම සම්බන්ධයෙන් සියලු ප්‍රතිපාදන ඇතුළත් වෙන්නේ මේ සංග්‍රහය තුළ. මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ එකඟතාවය මත අධිචෝදනාපත්‍ර ඉවත් කර ගැනීමේ හැකියාව නිතිපතිවරයාට තිබෙනවා. ඒ වගේම චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. නමුත් මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ. අභිමතානුසාරී බලයක් අත්තනෝමතික ලෙස හෝ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. රටේ පුරවැසියන්ට සිදුවුණු පීඩාවකට අදාළ පැමිණිල්ලක් දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව අධිචෝදනාවක් හැටියට පත්වුණු පසු අහේතුකව ඉල්ලා අස්කර ගැනීමෙන් වින්දිතයන් ඊළඟට ගතයුතු පියවර කුමක්ද? කරන්නාගොඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ එවැනි තත්වයක්. ඔහු හිටපු නාවික හමුදාපති වෙන්න පුලුවන්. නමුත් මේ පැමිණිල්ලේ පීඩාවට පත් පාර්ශ්වයට ඒ අගතිය ගැන ඊළඟට කියන්න පුලුවන් කාටද? අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් රටේ ජනතාවට නැති වුණොත් සමස්ත සමාජයම විශාල බිඳවැටීමකට ලක්වෙනවා. “උසාවි ගිහින් වැඩක් නැහැ” කියලා මිනිස්සු හිතනවා. 

යම්  කිසි කාරණයක් දිහා සාධාරණව බලන පැති කිහිපයක් තියෙන්න පුළුවන්. අධිකරණයත් අයත් වෙන්නේ ඒ සාධාරණය සම්බන්ධයෙන් තීන්දු දෙන්න. නමුත් මේ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයක් ඇති වුණොත් ඇතිවෙන්නේ මොකක්ද? විශාල ධනයක් වැය කරමින් පවත්වාගෙන පද්ධති බිඳවැටීමෙන් කිසිදු සෙතක් වෙන්නේ නැහැ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යම් වරදක් තිබෙනවා නම් ඒ වරද සිදුවූ තැන දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. සමහර නඩුවලදී සාක්‍ෂිකරුවන්ගේ මතකය දුර්වල වීමෙන් ඒ සාක්‍ෂිකරුවන් ඉවත් වුණු අවස්ථා තිබෙනවා. එවැනි දේ පිළිගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී සාක්‍ෂිකරුවන් සංශෝධනය වීමක් වෙන්න පුළුවන්. නමුත් විමර්ශනවලදී සිදුවුණු යම් අඩුපාඩුවක් පිළිබඳව කිසිදු සඳහනක් නැතිව ආණ්ඩු දෙකක් මාරු වීමෙන් පසුව මෙවැනි දේ සිදුවීම පිළිගන්න බැහැ. ආණ්ඩු වෙනස් වූ පමණින් අධිචෝදනාවල තිබෙන විමර්ශන සටහන් වෙනත් සාක්‍ෂි වෙනස් වෙන්න බැහැ. දුරකතන අංක සහ වෙනත් දත්ත වෙනස් වෙන්න බැහැ. කොටින්ම චෝදනා පත්‍රයේ කඩදාසිවල සඳහන් කරුණු ආණ්ඩු වෙනස් වීමෙන් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නම් දේශපාලන බලය වෙනස් වන විට අපරාධය, අපරාධයක් නොවෙන්න හැකියාවක් නැහැ. 

අප පවා පුදුමයට පත්වෙනවා

මේ සමස්තය දිහා බැලුවාම අපටත් බොහොම වගකීමකින් දෙයක් කියන්න සිදුවෙනවා. මේ රටේ ජනතාව විදිහට අපි එකතු වෙලා දණ්ඩ නීති සංග්‍රහහයට, පොදු දේපොළ පනතට හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතියකට අලුතින් සංශෝධනයක් ගේන්න වෙනවා. “ලංකාවේ අපරාධ නීතිය හෝ වෙනත්  නීතියක් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ නැත.” කියලා යොදන්න වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබුණු වගන්ති අපට පවා පුදුමයට පත්වෙනවා. ඉතාම අපුල හැඟීමක් ඇතිවෙනවා. නමුත් ඒක තමයි ඒ රටේ එදා තිබුණු නීතිය. මේ රටේ දේශපාලකයන්ට අපරාධ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා දකුණු අප්‍රිකාවේ  නීතිය වගේ එකක් සම්මත කරගත යුතුයි. එහෙම නොකර මහජනතාවගේ මුදල් විනාශ කරමින් විදේශවලට පවා යන විමර්ශන ගමන් නවත්වා දැමිය යුතුයි. තමන්ම නඩු දාපු නිතිපති දෙපාර්තමේන්තුව ඊලඟවතාවේ කියනවා නම් අධි චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව එවැනි නඩු පවරන්න ඕනෑ නැහැ. අපේ රටේ දේශපාලකයන්ට විරුද්ධව නඩු පවරන්නේ නැහැ කියලා වගන්තියක් එනවා නම් අපටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එවැනි සාකච්ඡාවකට හරි යන්න වෙනවා. එහෙම නැත්නම් ජාතික ධනය වැය කරලා නිසි ආකාරව නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. එහෙම නැත්නම් මහජන ධනය නිරර්ථක ලෙස වැය කිරීම  නැවැත්විය යුතුයි. 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

පහුගිය කාලයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු තිබෙනවා. මේ දෙකෙන් අල්ලස් කොමිසමේ නඩු ඉවත්කර ගන්න හේතු වුණේ තාක්‍ෂණික ගැටළු. එම කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේම අත්සනින් අදාළ නඩු ගොණු කර නොතිබූ බව සඳහන් කරමින්  ඉල්ලා අස්කර ගත්තා. නමුත් ඒ නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගත් නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඉල්ලා අස්කර ගැනීම කියන කාරණය මත ඒ නඩුවල ජීවය අවසන් වෙන්නේ නැහැ. අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගත් නඩු නැවත පවරන්නේ කවදද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මේ හැකියාව තිබෙනවා. 

Recommended For You

About the Author: Thusal