දේශසීමා අරගලයට මැදි වූ ලඩාක් බෞද්ධ දේශය

ඉන්දු- චීන දේශසීමාවේ ගැටුම්වලට තුඩු දෙන ස්ථානවලින් හමුදා ඉවත් කරගැනීමට දෙරටේ හමුදා නායකයන් අතර පැවැති සාකච්ඡා 13 වැනි වතාවටත් බිඳ වැටිණි. මාස 17ක පුරා සිදු වෙමින් පවතින දේශසීමා ගැටුම් සමථයකට පත් කිරීමේ සාකච්ඡාව පැය අටක කාලයකට පසු යළිත් වරක් අවසන් වූයේ අතරමඟදීය. එය ඇතැම් විට දෙපාර්ශ්වය අතර දරුණු ගැටුමක් ඇතිවීමට ද තුඩු දෙනු ඇතැයි දෙපාර්ශ්වයම පවසති.

මේ අඛණ්ඩ ගැටුම්කාරී වාතාවරණයෙන් අදහස් වන්නේ ඉන්දියාවේ අති සුන්දර ලඩාක්හි එළැඹෙන සීත සෘතුවේදී ඉන්දියාව මෙන්ම චීනයත් ඔවුනොවුන්ගේ හමුදා සේනාංක රඳවා තබා ගන්නා බවය. එය එතරම් සුභදායක තත්ත්වයක් නොවන බව බැලූ බැල්මටම පෙනේ.

පසුගියදා ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සාධනීය යෝජනා දුන්නත් ඒ කිසිවක් චීනය ගණන් ගත්තේ නැති බවය. ඒ අනුව කිසිම ඉදිරි දැක්මක් නැති බවත් සඳහන් කර තිබිණි. චීනය නම් කියන්නේ සාධාරණ හා යථාර්ථවාදී නොවන ඉල්ලීම්වල ඇලීගැලී සිටින ඉන්දියාව සමඟ සාකච්ඡා කිරිම දුෂ්කර බවය. මෙවැනි අසාර්ථක සාකච්ඡා නිසා ලඩාක් දේශසීමාවේ යුද උණුසුම තව දුරටත් එලෙසින්ම පවතිනු ඇත.

ටිබෙට් දේශයටත්, චීනයටත් මායිම් වන සේ පිහිටි ලඩාක් වෙනම ප්‍රාන්තයක් බවට පත් කිරීමට ඉන්දියාව මීට වසර දෙකකට පෙර කටයුතු කළේ එම පළාතේ ජීවත්වන බහුතර බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිසය. ඉන්දියාවේ එකම බෞද්ධ ප්‍රාන්තය ලෙසත් එය හඳුන්වනු ලැබේ.

ස්වභාවධර්මයේ අපූරු පිහිටීමක් සහිත මනරම් භූමියක් වන ලඩාක් බහුතර ජනතාව බෞද්ධ වූවත්, සැලකිය යුතු මුස්ලිම්, හින්දු හා සික් ප්‍රජාවක් ද ජීවත් වන බැවින් එය ජාතින් අතර සමඟිය හා සංහිඳියාව අඩු වැඩි වශයෙන් පවතින පළාතක් ලෙසත් නම් කළ හැකිය.

යුද උණුසුම නොවේනම් ලඩාක් යනු අපූරු සංචාරක ගමනාන්තයකි. ලොව බොහෝ රටවල් තම රටවැසියන්ට ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන ලඩාක් පළාතේ සංචාරය නොකරන ලෙස උපදෙස් හා අවවාද දී තිබේ. එහෙත් චීන හමුදා සේනංක ලඩාක් දේශසීමා අසළ විවිධ ගැටලු මතු නොකරන්නේ නම් එවැනි තත්ත්වයක් උදා වන්නේ නැති තරම්ය.

වෙනම ප්‍රාන්තයක් ලෙස ලඩාක් නම් කිරීමෙන් ඉන්දීය රජය එම පළාතේ ජනතාවට ලබා දී ඇති වරප්‍රසාද රැසකි. එකල ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේම කොටසක් වූ ලඩාක් වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කළද පළාත් ත්‍රිත්වයේ ජනතාව අතර පවතින සහජීවනය නම් තවමත් එලෙසින්ම ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලඩාක් ස්වයං පාලන පළාතක් බවට පත් වීමේ පසුබිම නිර්මාණය වූයේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තියේ සංශෝධනය මගින් ජම්මු කාශ්මීරය වෙනම ප්‍රාන්තයක් බවට පත්වීම නිසාය. මෙවැනි නීත්‍යනුකූල කටයුතු නිසා එක් එක් පළාතකට පමණක් සීමා වන නීතිරීති ද ඇති විය.

ලඩාක් පළාතේ පිහිටි ලේහ් සහ කාජිල් දිස්ත්‍රික්කවල ජනතාවට ලඩාක් පදිංචි සහතික ගැනීමේ ක්‍රමවේදයක් ඇති විය. එසේ වුවත් මේ නගර ආශ්‍රිත ජනතාවට කිසිදු දුෂ්කරතාවක් ඇති නොවන පරිදි නීතිමය කටයුතු සම්පාදනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

එහි ආසන්නතම සිදුවීම වන්නේ පසුගියදා කාජිල් දිස්ත්‍රික්කයේ චෝස්කෝ ගම්මානයේ පදිංචිව සිටි ෆාතිමා බානු නමැති මුස්ලිම් කාන්තාවට ලඩාක් පදිංචි සහතිකය ලැබීමය. එය කාජිල් වැසියකුට ලඩාක් පදිංචි සහතිකය ලැබුණු පළමු අවස්ථාව බැවින් ෆාතිමා බානු ඉතිහාසයට එක් වූවාය. ඇයට දැන් තම අභිමතය පරිදි ලඩාක් පළාතේ දිස්ත්‍රික්ක දෙක තුළ සැරිසැරීමට නීතිමය අවසරය ලැබී තිබේ. ලඩාක් පදිංචි සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදය මගින් ඉන්දීය රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ සමස්ත ලඩාක් ජනතාව අතර සහජීවනය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමටය. එය ජම්මු කාශ්මීරයේ ජනතාවට ද කදිම ආදර්ශයක් බවට පත් කිරීමටය. ලඩාක් පදිංචි සහතික නිකුත් කිරීමෙන් නගරවාසීන්ට එම පළාත තුළ සංචාරය කිරීමේදී පැණ නැගී තිබූ දුෂ්කරතා රැසක් තුරන්වී යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ලඩාක් පළාතේ දෙකට බෙදී ඇති ලේහ් සහ කාජිල් දිස්ත්‍රික්ක කලාපීය වශයෙන් මායිම් වන්නේ චීනයට සහ පාකිස්තානයටය. ලේහ් චීනයට මායිම් වන අතර, පාකිස්තානයට මායිම් වන්නේ කාජිල්ය. එබැවින් ලේහ් දිස්ත්‍රික්කයේ ජනතාවට චින සම්භවය නිරන්තරයෙන්ම උරුම වී ඇති අතර, කාජිල් දිස්ත්‍රික්කයේ ජනතාවට පාකිස්තාන සම්භවයක් උරුම වී තිබේ. ලඩාක් වෙනම ප්‍රාන්තයක් බවට පත් කිරීමෙන් චීන පාකිස්තාන සම්භවයට වටිනාකමක් දීමට ද ඉන්දීය රජය පියවර ගෙන ඇත. ෆාතිමා බානු පමණක් නොව කාජිල් දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන රැසක මුස්ලිම් ජාතිකයන්ට මේ බෞද්ධ උරුමයක් සහිත භූමියේ පදිංචි සහතික ලැබීම එක් අතකට ඔවුනොවුන්ගේ සංස්කෘතින් එකට මිශ්‍ර කරගැනීමට ලැබුණු මහඟු අවස්තාවකි. එවැනි අවස්ථාවක් ලේහ් දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදිමට ද පියවර ගැනීම ලඩාක් දේශයේ වටිනාකම වැඩි කිරිමට ඉවහල් වනු ඇත.

ටිබෙට් බෞද්ධ පසුබිමක් සහිත ලේහ් දිස්ත්‍රික්කය ලඩාක් පළාතේ විශාලතම දිස්ත්‍රික්කය ද වේ. දිල්ලි නුවර හරහා හෝ කාශ්මීරයේ ශ්‍රීනගර් හරහා ගමන් කළ හැකි ලේහ් දිස්ත්‍රික්කය අතිශයින්ම සුන්දර කඳුවැටිවලින් සමන්විත භූමියකි. එබැවින් ලේහ් දිස්ත්‍රික්කය කෙතරම් අනතුරු ඇඟවිම් කළද ලොව පුරා බොහෝ රටවල සංචාරකයන්ගේ සිත්ගත් ගමනාන්තයක් ද වේ. චීන – ටිබෙට් දේශ සීමා මායිමේ පිහිටීම නිසා ඉන්දීය හා චීන හමුදා අතර නිරන්තරයෙන්ම ඇතිවන වෙඩි හුවමාරු හා ගුටිබැට දිස්ත්‍රික්කයේ සුන්දරත්වය යටපත් කිරිමට තරම් ප්‍රබල නොවූවත් අන්තර්ජාතික වශයෙන් අතිවිශාල අවධානයක් දිනාගත හැකි සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම නම් එක්තරා අන්දමක අභියෝගයකි.

දැනට පවතින සංචාරක ස්ථාන හැරුණු විට ලොව පුරා සංචාරකයන්ගේ සිත් ගත් තවත් අලුත් ස්ථාන හඳුන්වාදීමෙන් ඉන්දියාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට එරට රජය ක්‍රියාත්මක කරන සැලසුම් සාර්ථක කරගැනීමේදී ලේහ් දිස්ත්‍රික්කය ප්‍රබල සාධකයක් බවට පත් වනු ඇත. සීත සෘතුවේදී ගුවනින් පමණක් ළඟා විය හැකි බව කියන ලේහ් දිස්ත්‍රික්කයේ සුන්දරත්වය ලඩාක් බෞද්ධ උරුමයට දී ඇත්තේ අපූරු වර්ණයකි; විශාල වටිනාකමකි.

හමුදා සාකච්ඡා බිඳ වැටීමෙන් පසු චීනය ලඩාක් නැගෙනහිර පළාතේ හමුදා අභ්‍යාස වැඩි කර ඇතැයි වාර්තා වේ. චන්ද්‍රිකා, මිනිසුන් රහිත ගුවන් යානා සහ අනෙකුත් අධි තාක්‍ෂණ බුද්ධි, නිරීක්‍ෂණ හා ඔත්තු බැලීම් පද්ධති භාවිතා කරමින් ඉන්දීය හමුදාව ද එම ප්‍රදේශවල නිරීක්‍ෂණය වැඩි දියුණු කර ඇතැයි සඳහන් වේ.

ලඩාක් වැනි මනරම් ස්වාභාවික සුන්දරත්වයෙන් පිරුණු පළාතක් දේශ සීමා අරගල හේතුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් ඈත්වීම කනගාටුදායක කරුණකි. ඉන්දියාවේ සාධනීය යෝජනා හමුවේ චීනය අවනත නොවන තාක් කල් මේ සුන්දරත්වය නිදහසේ සහ සාමකාමීව විඳ ගැනීමට අන්තර්ජාතික ප්‍රජාවට ඇති ඉඩකඩ සීමිත වනු ඇත.

Recommended For You

About the Author: Thusal