අන්ධ පුද්ගලයන්ට අර්ධ පෙනීමක් ලබා දෙන ඇල්ගී ප්‍රෝටීන

ඇල්ගීවලින් සොයාගත හැකි ආලෝක සංවේදී ප්‍රෝටීන භාවිත කරමින් සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයෙකුට අර්ධ වශයෙන් පෙනීම ලබා දීමට හැකිව තිබේ.

ඔහුගේ ඇසේ පිටුපස ඇති සෛල පාලනය කිරීම සඳහා ප්‍රෝටීන භාවිත කරන ‘ඔප්ටොජෙනෙටික්ස් (optogenetics)’ නම් ක්‍රමයක් මගින් මෙම පුද්ගලයාට ප්‍රතිකාර කර තිබේ.

පදික මාරුවක තීරු දැකිය හැකි වීමත් සමග අදාළ ප්‍රතිකාර ක්‍රියාත්මක වන බව ඔහුට වැටහිණි. ඔහුට දැන් මේසයක් මත ඇති වස්තූන් අල්ලා ගණන් කළ හැකි බව ‘නේචර් මෙඩිසින්’ සඟරාව වාර්තා කරයි. අනන්‍යතාව හෙළි නොකළ මෙම පුද්ගලයා ප්‍රංශයේ ‘බ්‍රිටනිහි’ ජීවත් වන අතර ඔහුට ප්‍රතිකාර කරනු ලැබුවේ පැරීසියේය.

Algae proteins partially restore man's sight
පරීක්ෂණාගාරයේ දී පරීක්ෂණවලට භාජනය වූ රෝගියාගේ අනන්‍යතාව හෙළි කර නොමැත

එම තැනැත්තාගේ ඇසෙහි දෘෂ්ටි පටලයෙහි මතුපිට ආලෝක සංවේදක සෛල මිය යාමට තුඩු දෙන ‘රෙටිනයිටිස් පිග්මන්ටෝසා (retinitis pigmentosa)’ රෝගයෙන් පෙළෙන බව වසර 40කට පෙර දැනගන්නට ලැබිණි.

මෙම රෝගී තත්ත්වයෙන් ලොව පුරා මිලියන දෙකකට අධික ජනතාවක් පීඩා විඳිති. සම්පූර්ණ අන්ධභාවය දුර්ලභ තත්ත්වයක් වුවද, පසුගිය දශක දෙක තුළ අදාළ පුද්ගලයාට කිසිදු පෙනීමක් නොතිබිණි. ඔහුට ඔප්ටොජෙනෙටික්ස් ප්‍රතිකාරය සිදු කරන ලද අතර, එය වෛද්‍ය විද්‍යාවට නව ක්ෂේත්‍රයකි. නමුත් එය දිගු කලක් තිස්සේ මූලික ස්නායු විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස පැවතිණි.

ආලෝකය භාවිත කර මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වය නිවැරදි ලෙස පාලනය කිරීම එහිදී සිදුවේ. අන්ධ පුද්ගලයාගේ එක් ඇසක ආලෝකය හඳුනා ගැනීමේ හැකියාව යථා තත්ත්වයට පත් කිරීමට විද්‍යාඥයෝ මෙම ක්‍රමය භාවිත කළහ. තාක්‍ෂණය පදනම් වී ඇත්තේ channelrhodopsins ලෙස හඳුන්වන ඇල්ගීවල නිපදවන ප්‍රෝටීන මත වන අතර, ඒවා ආලෝකයට ප්‍රතිචාර දක්වමින් හැසිරීම වෙනස් කරයි. එමෙන්ම, ආලෝකය දෙසට ගමන් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් මෙම කොටස් භාවිත කරයි.

ප්‍රතිකාරයේ පළමු පියවර වූයේ ජාන චිකිත්සාවයි. රොඩොප්සින් (රොඩොප්සින් යනු දෘශ්‍ය හා සම්බන්ධ ආලෝක සංවේදී ප්‍රතිග්‍රාහක ප්‍රෝටීනයකි) සෑදීම සඳහා අවශ්‍ය ජානමය සහය ඇල්ගීවලින් ලබාගෙන පුද්ගලයාගේ ඇසේ පිටුපස ඇති දෘෂ්ටි පටලයේ ගැඹුරින් ඇති ස්ථරවල පිහිටි සෛලවලට ලබා දී තිබේ. එම කොටස්වලට ආලෝකය වැටුණු විට ඔවුන් මොළයට විද්‍යුත් සංඥාවක් යවනු ඇත.

කෙසේ වෙතත්, එම කොටස් ප්‍රතිචාර දක්වන්නේ කහ පැහැති ආලෝකයට පමණි. එබැවින් රෝගියා සැබෑ ලෝකයේ සිදුවෙමින් පවතින දේ ග්‍රහණය කර ගැනීමට සහ ඇසේ පිටුපසට නිවැරදි තරංග ප්‍රක්ෂේපණය කරගැනීමට, ඉදිරිපස වීඩියෝ කැමරාවක් සහ පිටුපස ප්‍රොජෙක්ටරයක් සහිත ඇස් කණ්නාඩි යුගලයක් පැළඳ සිටියේය. රොඩොප්සින් ප්‍රමාණය ඉහළ මට්ටමකට පැමිණීමට මාස ගණනක් ගත වූ අතර පුද්ගලයාට නැවත පෙනීම ලබා දීමට මොළයට සහ ඇසට නව භාෂාවක් ඉගෙන ගැනීමට සිදු විය.

‘අපි හැමෝම උද්දාමයට පත් වුණා’

එය ක්‍රියාත්මක වන බවට පළමු සංඥාව වූයේ රෝගියා පිටත ඇවිදීමට ගිය අවස්ථාවක දී හදිසියේම පදික මාරුවක ඉරි දිස්වීමය.

“එන්නත් කිරීම සහ ඔහු යමක් දැකීමට පටන් ගැනීම අතර බොහෝ කාලයක් ගත වුණ නිසා මෙම රෝගියා මුලින් මඳක් කලකිරීමට පත් වෙලා හිටියේ. නමුත් ඔහුට එක සැරේම පාර මාරු වෙන සුදු ඉරි දැක ගැනීමට හැකි වුණා කිව්වාම ඔහු ඉතා සතුටට පත්වූ හැටි ඔබට සිතාගන්න පුළුවන්. ඒත් එක්කම අපි හැමෝම උද්දාමයට පත් වුණා.” පැරීසියේ දෘෂ්ටි ආයතනයේ වෛද්‍ය හොසේ-ඇලයින් සහෙල් පැවසීය.

එම පුද්ගලයාට සම්පූර්ණයෙන් පෙනීම ලැබී නොමැත, නමුත් අන්ධභාවය සහ සීමිත දැක්මක් අතර වෙනසට ජීවිතය වෙනස් කළ හැකිය.

“දෘෂ්ටිය අර්ධ වශයෙන් ලබා දීමට ඔප්ටොජෙනෙටික්ස් ප්‍රතිකාර ක්‍රමය භාවිත කළ හැකියි යන සංකල්පය සනාථ කිරීමට මෙම සොයාගැනීම් සාක්ෂි සපයයි,” බේසල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බොටොන්ඩ් රොස්කා පැවසීය.

පෙනීම යථා තත්ත්වයට පත් කිරීමට තවත් උත්සාහයන් කීපයක් දරා ඇත.

රෝගයට හේතු වන ජානමය දෝෂ අලුත්වැඩියා කිරීම ඉන් එකක් වන නමුත්, රෙටිනයිටිස් පිග්මන්ටෝසා නම් තත්ත්වය ඇති වීමේ දී විවිධ ජාන 71කට වඩා වැඩි ගණනක් විකෘතිවලට භාජනය වීම නිසා මෙය අභියෝගයක් වී තිබේ.

ඇසට පිටුපසින් ඉලෙක්ට්‍රෝඩවලට කැමරාවක් සම්බන්ධ කිරීම තවත් එවන් උත්සාහයකි. පාකින්සන් රෝගය වැනි තත්ත්වයන් මෙන්ම ආඝාතය සුව කළ හැකි දැයි බැලීමට ද ඔප්ටොජෙනෙටික්ස් පර්යේෂණ සිදු කරනු ලැබේ.

එක්සත් රාජධානියේ UCL හි දෘෂ්ටි පටලය පිළිබඳ මහාචාර්යවරයකු වන ජේම්ස් බේන්බ්‍රිජ් පැවසුවේ මෙම අධ්‍යයනය උසස් තත්ත්වයේ පවතින නමුත් එය සිදුකර ඇත්තේ එක් රෝගියෙකු මත පමණක් බවය.

“මෙම ආකර්ෂණීය නව තාක්‍ෂණය ඇස් පෙනීම දැඩි ලෙස දුර්වල වී ඇති පුද්ගලයින්ට උපකාරී වෙයි,” ඔහු පැවසීය.

බී.බී.සී සන්දේශය ඇසුරිනි

Recommended For You

About the Author: Thusal