දේශීය බිමට සරිලන දෙමුහුන් මිරිස් බීජ නිපදවීම ඇරඹෙයි

මිරිස් බීජ සඳහා විදේශ රටවලට යන මෙරට මුදල් ඉතිරි කර ගැනීමේ ජාතික පරමාර්ථය ඇතිව, නවීණ තාක්ෂණික ක්‍රම ඔස්සේ උෂ්ණත්ව හා තෙතමනය පාලනය කරන ගෘහස්ථ  මිරිස් බීජ නිපදවීමේ නව වැඩ වැඩසටහනක් පසුගිය දා(22) දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණි.

මෙරට බීජ වගා කරන පෞද්ගලික ආයතනයක් වන (OASIS) ආයතනය මගින් මෙම නව බීජ නිපදවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි. ඒ අනුව මෙරට ඉදිකරන ලද පළමු තාක්ෂණික ගෘහස්ථ ගොවිපල තුළ දෙමුහුන් මිරිස් බීජ, උෂ්ණත්ව හා තෙතමන පාලනය කරමින් සිටුවීම ආරම්භ කිරීම එහි  වීධායක නිලධාරීන්ගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ එහි දී අදහස් දැක් වූ  OASIS පෞද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ද සිල්වා මහතා.

‘මේ නව බීජ නිෂ්පාදනය නිසා විදේශ රටවලට අප රටෙන් යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ ම කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනය කරන  එම්.අයි.සි.එච් (1)  කියන මිරිස්  ප්‍රභේදය මේ ස්ථානයේදී දෙමුහුන් බීජයක් විදිහට මෙරටට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය  කිරීම සිදු වෙනවා.’

OASIS ආයතනයේ වෙළඳ අංශ භාර අධ්‍යක්ෂ සුජීව වසුන්දර මහතා ද මෙහි දී අදහස් පළ කළේ ය.

‘මිරිස් බීජ කිලෝවක් ලංකාව තුළ 150000 සිට රුපියල් ලක්ෂ 4ක  පමණ  මිලයකට විදේශ රටවලින් මිලදී ගැනීම සිදු කරනවා. මේ නව තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ අපේ රටට ගැලපෙන මිරිස් බීජ  නිෂ්පාදනය කිරීමෙන් ඒ සඳහා වැයවන අතිවිශාල මුදල අප රට තුළම රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. කාබනික මිරිස්  වගාවට වගේම මෙරට මහ පොළොවට ගැලපෙන ආකාරයට බීජ  නිෂ්පාදනය කිරිමටත් අපට මෙහි දී අවස්ථාව හිමි වෙනවා.’

සටහන සහ ඡායාරූප – කංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal