ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති.

වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී “ආගන්තුක” පටකයක් ලෙස හඳුනා නොගැනෙනු පිණිස ජානමය වෙනස්කිරීමකට භාජනය කළ ඌරෙකුගෙනි.

මෙම ක්‍රියාවලිය තවමත් විද්වතුන් විසින් සමාලෝචනයට ලක් වී හෝ පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පළවී නැතත්, ඒ සඳහා සැලසුම්කර ඇතැ යි කියැවේ. විශේෂඥයින් සඳහන් කරන්නේ මෙය මෙතෙක් එම ක්ෂේත්‍රයේ සිදුවූ දියුණුම අත්හදාබැලීම බව යි.

මින් පෙර මනුෂ්‍ය නොවන ප්‍රයිමේටාවන් (වානරයන් වැනි සතුන්) යොදාගෙන මේ හා සමාන පර්යේෂණ සිදුකර ඇතිමුත්, මිනිසෙකු යොදාගත් පළමු අවස්ථාව වන්නේ ද මෙය යි.

අවයව බද්ධයන් සඳහා ඌරන් භාවිතා කිරීම නව්‍ය අදහසක් නොවේ. ඌරන්ගේ හදවත් කපාට දැනටමත් මිනිසුන් වෙත බහුලව බද්ධ කෙරේ.

ප්‍රමාණය අතින් ගත්කල ද ඌරන්ගේ අවයව මිනිසාට හොඳින්ම ගැලපෙයි.

නිව් යෝක් විශ්වවිද්‍යාලයයේ ලැන්ගෝන් හෙල්ත් නම් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණු පැය දෙකක සැත්කමක් හරහා ශල්‍ය වෛද්‍යවරුන් ඌරු වකුගඩුව මොළය මියගිය පුද්ගලයාගේ රුධිර නාලවලට සම්බන්ධකර ඇත. එවිට එය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි ද, නැතහොත් සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා එසේ සිදුකළබව කියැවේ.

ඉන් අනතුරුව දින දෙකහමාරක් තිස්සේ බොහෝ පරීක්ෂණ සහ පරීක්ෂා කිරීම් සිදුකළ ඔවුහු වකුගඩුව සමීපව නිරීක්ෂණ කළහ.

“සාමාන්‍ය මිනිස් වකුගඩුවක් සිදුකරන සෑම කෘත්‍යයක්ම ඉටුකළ, සෑම ආකාරයෙන්ම [මිනිස් සිරුරට] ගැලපෙන, මිනිස් වකුගඩුවක් බද්ධ කළ විටෙක දී මෙන්ම ක්‍රියා කළ වකුගඩුවක් අපි නිරීක්ෂණය කළා,” යනුවෙන් මෙහි ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රොබර්ට් මොන්ට්ගොමරි BBCය සමග පැවසීය.

“ඒක සාමාන්‍ය පරිදි ක්‍රියා කළා වගේම, සිරුරෙන් ප්‍රතික්ෂේප වෙනබවක් පෙනෙන්නට තිබුණේත් නැහැ.”

ශල්‍ය වෛද්‍යවරු ඌරු වකුගඩුව බද්ධ කළ අවස්ථාවේ දී ඌරාගේ තයිමස් ග්‍රන්ථියෙන් කොටසක් ද බද්ධ කළෝ ය. එය, ඌරු පටකයට පහරදීමට ඉඩ ඇති මුක්ත ප්‍රතිශක්තීකරණ සෛල ඉවත් කිරීම මඟින් මිනිස් සිරුරෙන් වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීමට උපකාර වනු ඇතැ යි ඔවුන් සිතයි.

තමා ද හෘදයවස්තු බද්ධයකට භාජනය වී ඇත්තෙකු වන වෛද්‍ය මොන්ට්ගොමරි පවසන්නේ සිය පර්යේෂණ කටයුතු මතභේදාත්මකයැ යි තමා පිළිගන්නා නමුත්, අවයව බද්ධයක් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සඳහා ඉන්ද්‍රියයන් සෙවීම හදිසි අවශ්‍යතාවක්බව යි.

“යමෙකුට ජීවත් වීමට නම් තවත් කෙනෙකු මිය යායුතු යි කියන සාම්ප්‍රදායික සම්මතය ඉදිරියේ දී කිසිම අයුරකින් ප්‍රයෝගික වෙන්නේ නැහැ.”

“මට මේ සම්බන්ධයෙන් පැනනැගිලා තියෙන ගැටලු ඇත්තෙන්ම තේරෙනවා. ඒ ගැන මට කියන්න තියෙන්නේ, වර්තමානයේ දී අවයව බද්ධයක් බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ගෙන් 40%ක් දායක අවයවයක් ලබන්නට පෙර මියයනබව යි.

“අපි ඌරන්ව ආහාර ප්‍රභවයක් විදියට භාවිතා කරනවා. අපි ඌරන්ව ඖෂධ සහ හදවත් කපාට ලබාගැනීම වැනි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා යොදාගන්නවා. මම හිතන්නේ මේකෙත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ.”

මෙය තවමත් මූලික මට්ටමේ පවතින පර්යේෂණයක්බව ද, වැඩිදුර අද්‍යයන කටයුතු සිදුකිරීම අත්‍යාවශ්‍ය බව ද පැවසූ වෛද්‍ය මොන්ට්ගොමරි මෙසේ ද සඳහන් කළේ ය: “මම හිතන්නේ, මෙවැනි පර්යේෂණ සායනික මට්ටමට ගෙනියන්නට නව විශ්වාසයක් මෙමඟින් අප තුළ ඇතිකරවනවා.”

මෙම පර්යේෂණයට භාජනය වූ තැනැත්තා අවයව පරිත්‍යාගශීලියෙකුබවට පත්වීමේ කැමැත්තෙන් සිටි අයෙකු වන අතර, මෙම සැත්කම සිදුකිරීම සඳහා අවසර ලබා දී තිබුණේ එම තැනැත්තාගේ පවුලේ අයයි.

The team behind the surgery
සැත්කම සිදුකළ කණ්ඩායම

එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය මෙවැනි පර්යේෂණ කටයුතු සඳහා ජානමය වෙනස්කිරීම්වලට භාජනය කෙරුණු ඌරන්ගේ අවයව යොදාගැනීමට අවසරය ලබා දී ඇත.

ඉදිරි දශකය තුළ දී ඌරන්ගේ හදවත්, පෙනහැලි, සහ අක්මා වැනි අනෙකුත් අවයවයන් ද, අවයව බද්ධයන් බලාපොරොත්තුවෙන් හිඳිනා මිනිසුන් සඳහා භාවිතා කළ හැකි වනු ඇතැ යි වෛද්‍ය මොන්ට්ගොමරි විශ්වාස කරයි.

වකුගඩු සහ දැඩි සත්කාර ඒකක වෛද්‍යවරියක ලෙස එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට (NHS) සේවය කරන වෛද්‍ය මරියම් කෝස්රාවි මේ පිළිබඳව මෙසේ පැවසුවා ය: “සත්ත්ව ඉන්ද්‍රියයක් මිනිසෙකුට බද්ධ කිරීම කියන්නේ අපි දැනට දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරමින් සිටි දෙයක්. මේ කණ්ඩායම එහි ඉදිරි පියවරක් ගන්නවා දැකීම ඇත්තෙන්ම සිත්ගන්නා සුළු කාරණයක්.”

මෙහි ආචාර ධර්මයන් සම්බන්ධයෙන් ඇය පැවසුවේ මෙවැන්නකි: “අපට යමක් කරන්න පුළුවන් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි එය කළ යුතුම යි කියලා. මම හිතන්නේ මුළු ප්‍රජාවක් වශයෙන් මෙම ගැටලුවලට පිළිතුරු දීම අත්‍යවශ්‍ය යි.”

NHSහි රුධිර සහ බද්ධ කිරීම් සේවයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙතෙක් ප්‍රමුඛතාව වූයේ [අවයව බද්ධයන් සඳහා] වැඩි වැඩියෙන් මානව පරිත්‍යාගශීලීන් ගලපා ගැනීමබව යි. “මේ ආකාරයේ බද්ධ කිරීම් එදිනෙදා යතාර්ථයක්බවට පත්වෙන්නට පෙර යා යුතු බොහෝ දුරක් තිබෙනවා යනුවෙනි.

“පර්යේෂකයනුත්, වෛද්‍ය වෘත්තිකයනුත් අවයව බද්ධයක් බලාපොරොත්තු වන රෝගීන් සඳහා තමන්ට කළ හැකි සියලු දේ කරනවා. නමුත් ඒ අතරේ අපිට අවශ්‍යව තිබෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවයව පරිත්‍යාග කිරීම ගැන තීරණයක් ගැනීමත්, අවයව බද්ධයක් සිදුකිරීම ප්‍රයෝගික වුවහොත්, එහිදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන තමන්ගේ පවුල දැනුවත්කර තැබීමත් ය.”

බී.බී.සී සන්දේශය ඇසුරිනි

Recommended For You

About the Author: Thusal