ඉදිරි වසර පහ තුළ මෙරට ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනඟනවා – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීම අද (28) දින කොළඹපෝර්ට් සිටි හිදී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍යඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එමඟින් කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට අවස්ථාව උදා වෙයි.එමෙන් ම වැඩිහිටියන්ට හා විශේෂ අවශ්‍යතා ඇති දෙස් විදෙස් සංචාරකයින්ට ද වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමට හැකියාව ලැබේ.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කොට ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.

මෙම ධාවන පථය සඳහා කැනඩාවේ ලෝක ප්‍රසිද්ධ කැන් ඇම් ( Can – An ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ ධාවනයට යොදාගෙන තිබේ. 

කළුගල් කඳු අතරින් විහිදී යන මෙම මාර්ගය සුපිරි ත්‍රාසජනක වින්දනයක් ඕනෑම අයෙකුට ලබාදෙන සහ ලබාගත හැකි සුන්දර ධාවන පථයකි.

උද්‍යානය තුළ පාගමනින් ගොස් සුන්දර පාරිසරික කලාප නැරඹීමට මෙන්ම සත්ත්ව හා ශාක ප්‍රජාවේ හැසිරීම පිළිබද නිරීක්ෂණය කිරීමට ද මෙහි දී ඔබට අවස්ථාව සැලසේ. මෙහි ඇති එක් කඳු මුදුනකදී අංශක 360 ම දර්ශනය වන අතර කොළඹ නගරය හා සබරගමු කඳු පන්ති අලංකාර ලෙස දුර සිට නැරඹීමේ හැකියාව ද පවතී.

සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා.

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සඳහා මාවත නිර්මාණය කරන බව අපි විස්වාශ කරනවා.

අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ.

මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පා පන්දු, මළල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.

ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමග ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා.

ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදී ජනතාව මේ සදහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වනවා‘‘

Recommended For You

About the Author: Thusal