වැලමිටියාවේ කුසල ධම්ම නා හිමියෝ අපවත් වෙති

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ ඊයේ (27) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට 84 වැනි වියෙහි පසුවූ උන්වහන්සේ 1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූහ.

කුසලධම්ම හිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපතීන් වහන්සේ වූහ.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නා හිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අද (28) දිනයේ තීරණය කරන බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

හිමිපාණන්ගේ අපවත්වීම සැල වූ වහාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇමතූ ජනාධිපතිවරයා අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස උපදෙස් දුන්නේය.

Recommended For You

About the Author: Thusal