යූරියාවලට මේ තරම් බය ඇයි ?

යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.’

යූරියා හි කාබන් අඩංගුවේ. එබැවින් එය ‘කාබනික’ සංයෝගයකි. යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O ය. එනම්, යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් ඇත. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් කාබන් අඩංගු වේ. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%කි.

හදිසියේම කෘත්‍රිම රසායනික’ පොහොර ආනයනය තහනම් කිරීමත්, ඒ පිළිබඳව රටපුරා ඇතිවුණ විද්වත් සාකච්ඡා සහ ගොවීන්ගේ විරෝධතා සමූහයක් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බහුලව ප්‍රචාරය වෙමින් පවතී. එහෙත්, මේ වන තුරු ඒ සියලු‍ දේ ‘බීරි අලින්ට වීනා වාදනය කිරීමක්’ බවට පත්වී ඇත. මෙම ලිපියත් එවැනි නිෂ්ප්‍රභ උත්සාහයක් විය හැකි වුවත්, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ගොදුරුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතු කමක්ද නිසා, යූරියා පිළිබද රසායන විද්‍යාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම උචිතය.

ඉතා වැදගත් වචන, කිසිම අවබෝධයකින් තොරව ‘නිදැල්ලේ’ භාවිත කිරීම අඥායන්ගේ ලකුණකි. එය ඉතා භයානක කාරණයකි. මන්ද, රටේ ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව මුළු මහත් ජනතාවගේ අනාගතයම බිඳ වැටීමට හේතුවිය හැකිය.

රසායනික’ සහ ‘කාබනික’ යන වචන මෙසේ වැරැදි ලෙස භාවිත කරන දෙකකි.

‘රසායනික පොහොර’ ආනයනය මුළුමනින්ම තහනම් කරන බව ප්‍රකාශ කෙරුණි. මෙලොව ඇති සියලු‍ පොහොර සෑදී ඇත්තේ රසායනික මූල ද්‍රව්‍ය වලිනි. එමනිසා, රසායනික නොවන කිසිම පොහොරක් නැත! ‘කෘත්‍රිම’ යන වචනය වෙනුවට රසායනික’ යන වචනය යෙදීමෙන් වැළකිය යුතුය.

‘කාබනික’ යන්නෙහි අර්ථය ‘කාබන් අඩංගු’ යන්නය. ඉහත සඳහන් කළ පරිදි යූරියා අණුවක කාබන් 20%ක් අඩංගුය. ඒ නිසා එය සැබැවින්ම කාබනික ද්‍රව්‍යකි. එහෙත්, යූරියා පොහොර, කෘත්‍රිමව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් කියාත්, ‘කොම්පොස්ට්’ ක්‍රමයට නිපදවන පොහොර ස්වාභාවික පොහොර’ කියාත් නම් කිරීම නිවැරදිය.

අත්තනෝමතික අතළොස්සක් විසින් රට වනසාලන තුරු පැත්තකට වී බලා සිටීම නිවැරැදි විකල්පයක් ලෙස සිතන විද්වත්හු දහස් ගණනක් රට තුළ සිටිති. එහෙත්, කාගේත් වාසනාවකට මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් මේ කාරණය බලධාරීන්ට වටහා දීම සඳහා ඉමහත් වෙහෙසක් දරා ඇත.

එලැඹෙන ‘මහ’ කන්නයට කල් වේලා ඇතිව යූරියා නොලැබුණ හොත්, ලබන අලු‍ත් අවුරුද්ද සමයේ දී රටේ ආහාර සුරක්ෂිත භාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

කොරෝනා වයිරසයේ දැඩි පීඩනයට හසුව දිගු කාලයක් තෙරපුණු රටවැසියන්ට, ආහාර හිඟයක දුෂ්කරතාවකට මුහුණ දීම ඉතා අපහසු වනු ඇත.

යූරියා යනු ඉතා සරල, පරිසරයේ බොහෝ සුලභව පැතිර ඇති දෙයකි. සෑම මිනිසකුම දිනකට යූරියා ග්‍රෑම් 25-30 අතර ප්‍රමාණයක් මුත්‍ර මගින් පිට කරයි. එම යූරියා ශරීරය තුළ නිපදවෙන්නේ අප ආහාරයට ගන්නා ප්‍රෝටීන දිරවීමේදීය. මව්කිරි, රුධිරය සහ දහඩියවල ද යූරියා අඩංගුය. තව ද, යූරියා සියයට 40 ක් දක්වා අඩංගු මුහුණු සහ ශරීර ආලේප ද වෙළෙඳ පොළේ බහුලය. මෙයින් පෙනී යන්නේ, යූරියා යනු ශරීරයට විශකාරී දෙයක් නොවන බවයි. එහෙත්, වෙනත් බොහෝ දෑ මෙන්ම අධික ලෙස යූරියා ශරීරගතවීම අහිතකරය.

යූරියා යනු ස්වභාවිකව ජනිත වන කාබනික සංයෝගයකි. එය ප්‍රථම වරට 1777වසරේ දී මුත්‍ර වලින් වෙන් කොට හඳුනා ගන්නා ලද අතර මේ වන විට පොහොර සඳහා වසරකට මෙට්‍රික් ටොන් මිලියන 220ක් පමණ කෘතිම ලෙස ලෝකය පුරා නිෂ්පාදනය කෙරේ. එයින්, දල වශයෙන් මෙට්‍රික් ටොන් 250,000ක්, එනම් ලෝක ධාරිතාවෙන් 0.1%ක් පමණ ලංකාවට ආනයනය කෙරේ.

නිසිලෙස භාවිත කිරීමෙන් යූරියා විෂවීමක් පිළිබඳව ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැත. එසේ නම්, 0.1%ක් භාවිත කළ අපේ රටට පමණක් යූරියා විෂකාරකයක් වූයේ කෙලෙස දැයි අදහාගත නොහැකිය.

මෙම සියලු කාරණ කෙටියෙන් සඳහන් කළොත් එය මෙසේය.

යූරියා යනු ‘විශ්වකර්ම’ අණුවකි! හෙට ලෝකය පුරාම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතයයි. එනම්, ලංකාවේ ජනගහනය මිලියන 10කට බසිනු ඇත.

පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමට කිසි ඉඩක් නැත. මන්ද, යූරියා නිපදවනු ලබන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කිරීම නිසාය.

යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46 ප්‍රමාණයම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකිය. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැත. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% කි. එයද, පසට කාන්දුවන්නේ ඉතා සෙමින්ය.

යූරියා කැට, වගාවලට යෙදීම ඉතා පහසුය. ඇමෝනියා දියර වැනි දෑ පාවිච්චිය ඉතා අසීරුය.

ලංකාවේ දැනට භාවිත කරන්නේ ‘සරල’ (බාල) යූරියාය. එම යූරියා, වගාවකට යෙදූ විගස එයින් සියයට 40-50 පමණ පොළොවේ ඇති බැක්ටීරියා මගින් විනාශ කරයි. මෙය වැලැක්වීමට, බොහෝ රටවල ප්‍රතිකාර කරන ලද’ (treated) යූරියා යොදනු ලැබේ. මෙම නව යූරියා යෙදිය යුත්තේ පැරණි යූරියා මාත්‍රාවෙන් සියයට 30-40 ක් පමණි. එම නිසා මේ දෙකටම යන වියදම ආසන්න වශයෙන් සමානය.

ලංකාවේ ගොවියා පොහොර සහ වල් පැලෑටි/කෘමි නාශක ඉතා වගකීමකින් යුතුව භාවිත කිරීමට නැඹුරු විය යුතුය.

යූරියා භාවිතයෙන් පොළොව නිසරු වෙන බව කියන වැරැදි අදහසක් ජනගතවී ඇත. එය මුසාවකි. නිතරම එක දිගට එකම දෙය වගා කිරීමෙන් පස නිසරුවේ. ඒ නිසා, බෝග මාරු කිරීම හෝ කොම්පෝස්ට් ද්‍රව්‍ය විටින් විට යෙදීම කළ යුතුය.

යූරියා භාවිතයෙන් තොරව, බොහෝ භෝග සාර්ථකව වැවිය නොහැක. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය මෙයින් සමහරකි.

ස්වාභාවික සහ කෘත්‍රිම පොහොර යන දෙකෙන් ශාකවලට ඇති ප්‍රයෝජන එක සමාන නොවේ. මේ දෙකම විද්‍යාත්මක සම්මිශ්‍රනයක් ලෙස භාවිත කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි.

ආචාර්ය නිමල් රාජපක්ෂ – එඩ්මන්ටන්, කැනඩාව. (ලංකාදීප පුවත්පත ඇසුරිනි)

Recommended For You

About the Author: Thusal