මෙරට පළමු වරට පාරිසරික සංවේදී ප්‍රදේශ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ පළමුවරට පාරිසරික සංවේදී ප්‍රදේශ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට  පරිසර අමාත්‍යංශය  පියවර ගෙන ඇත.     

පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා සැකසෙන මෙම ජාතික ප්‍රතිපත්තියේ  කෙටුම්පත සකස් කර අවසන් කර ඇති අතර  එම ජාතික ප්‍රතිපත්තිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි නිර්දේශ ලබා ගැනීමට නියමිත බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.ඉන් අනතුරු එය  අමාත්‍ය  මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරෙනු ඇත.  

දැනටමත්  එවැනි පාරිසරික සංවේදී කළාප කිහිපයක් හඳුනාගෙන ඇතිඅතර පුත්තලම ගඟේවාඩිය,  අනුරාධපුර මානෑව, ගල්නෑව හා එළුවන්කුළම යන ප්‍රදේශ ඊට අයත් වෙයි. 

ජාතික රතු දත්ත ලැයිස්තුව විසින් අනාවරණය කර ඇති පරිදි අපේ රටේ ගොළුබෙලි විශේෂ 253ක්, සමනලුන් විශේෂ 245ක්, පක්ෂි විශේෂ 240ක්, උරග විශේෂ 211ක්, පෘෂ්ඨ වංශික සත්ව විශේෂ 748ක්, අපෘෂ්ඨ වංශික සත්ව විශේෂ 1492ක් අපේ පරිසරය තුළ  ජීවත් වෙනවා.  පෘෂ්ඨ වංශී සත්ව විශේෂ අතරින් සියයට 43ක්, උභයජීවි සතුන්ගෙන් සියයට 87ක්, උරග විශේෂවලින් සියයට 59ක්, ක්ෂිරපායී විශේෂවලින් සියයට 19ක් , පක්ෂි විශේෂවලින් සියයට 07ක් අපේ රටටම ආවේනිකය. එමෙන්ම  අප රටට  ආවේනික ශාක විශේෂත් බහුතරයක් ඇති අතර පර්ණාංග ප්‍රභේදයන් 336ක්, සපුෂ්ප ශාක ප්‍රභේද 3154ක්අතරින් ප්‍රභේද  916ක් අපේ රටටම ආවේනික වේ.  එම නිසාම ශ්‍රී  ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අවශ්‍ය කෙටුම්පත මේ වනවිට සකසා අවසන් අතර  එහි නීතිමය ප්‍රතිපාදන පිළිබඳ මේ දිනවල අධ්‍යයනය කරමින් සිටී.

මෙම ප්‍රතිපත්තිය අනුව සංවේදී සාගරික පාරිසරික කළාප තුනක් නම් කිරීමටත් අපි සැලසුම් කර තිබෙන අතර ඉන් පළමුවැන්න  මන්නාරම සිට රාමේශ්වරම් දක්වා සාගර කළාපයයි. මෙම සාගරික කළාපය සංවේදී සාගරික පාරිසරික ප්‍රදේශයක් ලෙස නම් කිරීමේ දී   ඉන්දීය රජයේත් සහයෝගය ලබා ගැනීමට අපේක්ෂිතය .දෙවැන්න  මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට සාගර කළාපය හා තෙවැන්න ගාල්ල සිට හම්බන්තොට දක්වා දකුණු මුහුදු තීරය ලෙස නම් කර ඇත.

Recommended For You

About the Author: Thusal