ආනයනික කිරිපිටි හිඟය දේශීය කිරි කර්මාන්තයට ආශිර්වාදයක් කර ගනිමු !

කේ. වී. සී. ධර්මවර්ධන ශ්‍රී ලංකා කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිති සංවර්ධන උපදේශක

කාලයක් තිස්සේ කිරිපිටි වතුරෙන් දියකර පානය කිරීමට පුරුදු වී සිටි ජනතාවගෙන් වැඩි පිරිසක් “නැවුම් එළකිරි” සොයමින් වෙළඳපළට පැමිණීමට පටන් ගෙන ඇත. බොහෝ අය කිරි කෝප්පයක රසය විඳීමටත්, තවත් පිරිස් නිවසට කිරි බෝතලයක් ‍රැගෙන යාමටත් දැන් පුරුදු වී ඇත.

වසර ගණනාවක සිට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිරි සමුපකාර සමිති, ජාතික පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ මිල්කෝ කිරි සමාගම, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ජනතාවට දියර කිරි බෙදාහැරීමට ක්‍රියාත්මක කළ වැඩසටහන් සාර්ථක වී ඇත.

එහෙත් ජනතාවට අවශ්‍ය ප්‍රමාණයෙන් දියර කිරි මිලදී ගැනීමට වෙළෙඳපළ සංවිධානය වී නැත. ගම්බද ප්‍රදේශවලින් වැඩි වැඩියෙන් කිරි එකතු කර ගන්නා විවිධ සමාගම් දියර කිරිවලට වඩා වෙනත් අතුරු නිෂ්පාදන සඳහා කිරි භාවිත කිරීම නිසා දියර කිරි හිඟය පැන නැඟී ඇත.

රටේ ජනතාවට සියයට සියයක් කිරි අවශ්‍යතාවය ඇතත්, රටතුළින් අවශ්‍යතාවයෙන් 40%ක ප්‍රමාණයක් නිපදවා ගනු ලබන හෙයින් 60%ක ප්‍රමාණයක් නිපදවා ගැනීමට ගම් මට්ටමින් රජය ක්‍රියා කළ යුතු කාලය උදා වී ඇත. නැවුම් දියර කිරි ඉල්ලන ජනතාවට කිරි සැපයීම සඳහා කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකිවන පරිදි ගම්බද ජනතාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා කිරි එළදෙනුන් සපයාදීමටත්, ගව මඩු සාදාගැනීම, තෘණ වගා කරගැනීමට හැකිවන පරිදි විවිධ ආධාර හා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළයුතුව ඇත.

මිල්කෝ කිරි සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ දියර කිරි, හයිලන්ඩ් කිරි පිටි හා අනෙකුත් කිරි ආහාර ජනතාවට බෙදාහැරීමට සංවිධානය කර තිබුණි. මෙම කාලය තුළදී මිල්කෝ කිරි සමාගම රුපියල් කෝටි එකසිය විසිපහක (බිලියන 1.25) ක මුදලක් ආදායම් වශයෙන් උපයා ගැනීමට සමර්ථ වී ඇත.

පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීම යටතේ පැලවත්ත කිරි සමාගම ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන “දියර කිරිවලට” අමතරව දිනපතා වෙළෙඳපළට කිරිපිටි ටොන් 30 – 40 අතර ප්‍රමාණයක් දේශීයව නිපදවා ඉදිරිපත් කරමින් විශාල සේවයක් සලසන්නට යෙදුනි. පැලවත්ත කිරි සමාගම ද මෙම කාලය තුළදී වාර්තාගත ආදායමක් උපයාගෙන ඇත.

ලෝක වෙළෙඳපළේ ඇමරිකානු ඩොලර් 3300ක් ලෙස පැවති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව පවසමින් කිරිපිටි ශ්‍රී ලංකාවට ගෙන්වන සමාගම් කිරිපිටි ගෙන්වීම 50% කින් සීමා කිරීමත් සමඟම පසුගිය අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල රටතුළ දැඩි ‘කිර‍ිපිටි හිඟයක්’ පැවතුනි.

කොළඹ නගරය ප්‍රධාන සෙසු ප්‍රධාන නගරවල පැලවත්ත, හයිලන්ඩ් දේශීය නිෂ්පාදිත කිරිපිටි අලෙවි මධ්‍යස්ථාන කරා ජනතාව පැය හතර පහක කාලයක් ගතකරමින් දිගු පෝලිම්වල සිට ‘කිරිපිටි’ මිලදී ගැනීමට පෙලඹුන ආකාරය දැක ගන්නට හැකිවිය. ජනතාවට අවශ්‍ය තරම් කිරිපිටි නොමැතිකම නිසා වැඩි දෙනා කිරි නිෂ්පාදන ගම්බද ගොවිපළ කරා ගොස් “නැවුම් එළකිරි” මිලදී ගැනීමට කැමැත්ත දැක්වීම විශේෂත්වයකි.

වෙළෙඳපළේ කිරිපිටි හිඟයත් සමඟම උතුරු, නැ‍ඟෙනහිර පළාත්වල ජනතාව දියර කිරිවල ගුණය, රසය, නිවැරදිව තේරුම් ගෙන වැඩි වැඩියෙන් “නැවුම් එළකිරි” පානය කිරීමට යොමුවෙමින් ශ්‍රී ලංකා වාසීන්ට ඉතා හොඳ ආදර්ශයක් දී ඇත.

උතුරු, නැ‍ඟෙනහිර පළාත්වල කිරිපිටි පෝලිම් දැක ගැනීමට නොමැති අතර එළකිරි හිඟයකින් තොරව ජනතාවට සපයාදීමට උතුරු, නැ‍ඟෙනහිර පළාතේ ගොවි සමිති, කිරි සමුපකාර සමිති හා විවිධ සේවා සමුපකාර සමිති කටයුතු යොදා තිබුණි.

උතුරු, නැ‍ඟෙනහිර පළාතේ පිහිටි හින්දු ආගමික මධ්‍යස්ථානවලට හා කෝවිල්වලට අවශ්‍ය කරන නැවුම් ‘එළකිරි’ ප්‍රමාණය දිනපතා සැපයීමට පියවර ගෙන තිබුණි. කන්ද උඩරට වතුකරයේ ජනතාව ද කිරිපිටි වෙනුවට නැවුම් එළකිරි පානය කිරීමට යොමුවීම නිසා කිරිපිටි හිඟය එම ජනතාව ප්‍රශ්නයක් නොවීය.

ආනයනය කරන කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 200 කින් ද කිරිපිටි කිලෝවක මිල වැඩිකරන ලෙස කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබුණි. රජයත් කිරිපිටි සමාගම් අතර සාකච්ඡා වට කීපයකින් පසුව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරි‍භෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අත්සනින් 2021.10.09 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 945 සිට රුපියල් 1195 දක්වාත්, ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 380 සිට රුපියල් 480 දක්වා ප්‍රමාණයෙන් මිල වැඩි කිරීමට සමාගම්වලට බලය පවරන ලදී.

දේශීය කිරිපිටිවල මිල වැඩි කිරීමට රජය ගත් පියවරට ජනතා අප්‍රසාදය පළවී ඇත. දේශීය කිරිපිටි සමාගම්වල වියදම් අඩුකර ගැනීම, නාස්තිය, දූෂණය වළක්වා ගැනීමට උපදෙස් දෙනවා වෙනුවට නිෂ්පාදනවල මිල වැඩි කිරීමට අනුමැතිය දීම ජනතාව හෙළාදකිති.

ඒ අනුව නැවුම් එළකිරිවල සංයුතිය මවුකිරිවලට සමාන බව පෙනී යයි. එහෙත් එළකිරි මවුකිරිවලට වඩා උසස් නොවන අතර “එළකිරි” ද මවුකිරි තරමටම ප්‍රධාන තැනක් ගනී. මේ අනුව පිටිකිරි වෙනුවට ‘එළකිරි’ පරිභෝජනය කිරීම ගුණදායක වේ.

කේ. වී. සී. ධර්මවර්ධන ශ්‍රී ලංකා කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිති සංවර්ධන උපදේශක

Recommended For You

About the Author: Thusal