ශ්‍රී ලංකාව තිරසාර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි

දේශගුණය සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අතර පවත්නා සම්බන්ධය අරමුණු කර ගනිමින්,‘නයිට්‍රජන් පිළිබඳ යළි විමසුම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සමයෝගිතාව’ නමින් වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය (INMS) සමඟ එක්ව, COP-26 සමුළුවට පෙර, එනම් 2021 ඔක්තෝබර් 31 වැනි දින සන්ධ්‍යාවේ ග්ලාස්ගෝ හිදී සංවිධානය කරන ලදී. ස්කොට්ලන්ත විද්‍යාඥයකු වූ ඩැනියෙල් රදර්ෆර්ඩ් 1772 වර්ෂයේ දී නයිට්‍රජන් මූලද්‍රව්‍ය සොයා ගත් හෙයින්, ‘නයිට්‍රජන් පිළිබඳ යළි විමසුම’ යන පාඨය මේ සඳහා යොදා ගන්නා ලදී.

පරිසරයට, සෞඛ්‍යයට සහ ආර්ථිකයට හිමි වන බහුවිධ සම ප්‍රතිලාභ සමඟින් දේශගුණික ඉලක්ක සපුරාලීමට උපකාර කිරීම සඳහා නයිට්‍රජන් මත මීළඟ පියවර වශයෙන් ක්‍රියා කර යුත්තේ කෙසේදැයි යන්න මෙහිදී සාකච්ඡාව කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපති, එක්සත් රාජධානියේ රජය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහනේ (SACEP) අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් අයගේ යොමු කළ ඉහළ පෙළේ ප්‍රකාශ තුළින් COP-26 ට පෙර ක්‍රියාමාර්ග සඳහා වන විකල්ප සාකච්ඡා කළේය.. මෙම හමුව, COP-26 සමුළුව සඳහා වන #Nitrogen4NetZero යෝජනාව දියත් කෙරුණු අතර, එමඟින් SACEP විසින් එහි සාමාජික රටවල් සමඟ සිදු කරන ලද කර්තව්‍යයන් පිළිබිඹු කෙරිණි.

2050 වර්ෂය වන විට කාබන් භාවිතය තුරන් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම 2030 වර්ෂය වන විට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම, නව ගල් අඟුරු බලාගාර ආරම්භ නොකිරීම පිළිබඳ වැදගත් තීරණයක් සහ කඩොලාන ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය පිළිබඳ පුරෝගාමී වී කටයුතු කිරීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ යාන්ත්‍රණය වෙත දැනටමත් ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් තීරණය කළ දායකත්වයන් හරහා නිරූපණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශගුණික අභිලාෂයන් කෙරෙහි ද මෙහිදී වැඩිදුර අවධානය යොමු කෙරිණි. ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රට ගමන් කරන මාර්ගය ඔස්සේ විශේෂයෙන්ම හරිත කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය සඳහා වන සෘජු විදේශ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අදහස් බෙදා ගන්නා ලදී.

මෙම උත්සවය ස්කොට්ලන්තයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරිය මෙන්ම මෝර්ඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාත්මක අධ්‍යක්ෂවරිය වන මහාචාර්ය ජූලි ෆිට්ස්පැට්‍රික් මහත්මිය විසින් මෙහෙයවන ලදී. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පිළිගැනීමේ දේශනය සිදු කළ අතර, හඳුන්වාදීමේ දේශනය මහාචාර්ය මාර්ක් සට්න් මහතා විසින් සිදු කරන ලදී. කොළඹ ප්‍රකාශය යටතේ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ වැදගත්කම පිළිබඳව මහාචාර්ය සට්න් මහතා අවධාරණය කළ අතර, එමඟින් අපට වසරකට ඩොලර් බිලියන 100 ක මුදලක් ඉතිරි වන බව අවධාරණය කෙරිණි.

තිරසාරත්වය එහි හරය වන නව කෘෂිකාර්මික විප්ලවයක් අපට අවශ්‍ය වේ

“වර්තමානයේ දී අප හමුවේ ඇති අභියෝගය වන්නේ, නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම සහ භාවිතයන් ප්‍රයෝජනයට ගනිමින් පරිසර හානිය සිදු නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම යි. තිරසාරත්වය එහි හරය වන නව කෘෂිකාර්මික විප්ලවයක් අපට අවශ්‍ය වේ.” ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ය. “ශ්‍රී ලංකාව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා සිදු කරන ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර, දිරිගැන්වීම් සහ සුදුසු ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා ඒවායේ සාර්ථකත්වයට සහාය වීමට සූදානමින් සිටී. එබැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩි සහයෝගයක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අවාසනාවකට මෙන් 2021 ඔක්තෝබර් 31 වැනි දින සිදුවූ දුම්රිය අනතුරක් හේතුවෙන්, එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) දකුණු ආසියාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය, විම්බල්ඩන් හි අහමඩ් සාමිවරයාට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය. එතුමාගේ දේශනය ඉදිරිපත් කරනු ලැබුවේ, ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් රාජධානියේ කලාපීය COP-26 තානාපති කෙන් ඔ’ෆ්ලහර්ටි මැතිතුමා විසිනි. අහමඩ් සාමිවරයා වෙනුවෙන් දේශනය පැවැත්වූ තානාපති ඔ’ෆ්ලහර්ටි මැතිතුමා, නයිට්‍රජන් දූෂණය හේතුවෙන් දේශගුණයට, පරිසරයට සහ අපගේ සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළේ ය. අනාගත පරම්පරාව සඳහා අපගේ පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ  අවශ්‍යතාවය මින් පෙර කිසි විටෙකත් මෙතරම් තීව්‍ර මට්ටමකින් නොදැනුණු බවත්, කාබන් විමෝචනය සීමා කිරීමේ දී සංවර්ධිත රටවල් අතර එක්සත් රාජධානිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවත් එතුමා තවදුරටත් විස්තර කළේ ය. 2050 වර්ෂය වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සඳහා නීති සම්පාදනය කිරීමට එක්සත් රාජධානිය තුළ ඇති ප්‍රගතිය එතුමාගේ දේශනයෙන් ඉස්මතු කළ අතර එසේ කළ පළමු සහ ප්‍රධාන ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය, 2035 වන විට විමෝචනය 78% කින් කපා හරිමින් ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී දේශගුණික විපර්යාස ඉලක්කය නීතියෙන් නියම කළේය. එක්සත් ජාතීන්ගේ උප ලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ  ඉන්ගර් ඇන්ඩර්සන් මැතිතුමා, දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (SACEP) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මසුමූර් රහ්මාන් මහතා සහ ජර්මනියේ ෆෙඩරල් පරිසර අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ජොචෙන් ෆ්ලැච්ස්බාර්ත් මැතිතුමා මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයන් ලෙස වීඩියෝ පණිවිඩ හරහා සම්බන්ධ වූහ.

 මෙම වැඩසටහනේම අංගයක් ලෙස, “නයිට්‍රජන් අවශ්‍ය වන්නේ ඇයි?” යන මැයෙන් ද්විමාර්ගික සංවාදයක්, ඉකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා හි උර්මි ගෝස්වාමි මහත්මිය සහ මහාචාර්ය සට්න් මහතා අතර සන්ධ්‍යා කාලයේ දී පැවැත්විණි. වසර 100ක කාල සීමාවක් තුළ කාබන් ඩයොක්සයිඩ්වලට (CO2) වඩා 296 ගුණයකින් වැඩි වූ හරිතාගාර වායුවක් වන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) හි අන්තර්ගතව ඇති සෘජු ගෝලීය උණුසුම් විභවය(ස්කන්ධය මත පදනම්ව) පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. ලොව පුරා ශුන්‍ය හරිතාගාර වායු විමෝචනය අත්පත් කර ගැනීමට නම්, නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනය අඩු කිරීම අත්‍යවශ්‍ය වේ.

මාලදිවයිනේ අති ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමා සහ පිලිපීන ජනරජයේ විදේශ කටයුතු ලේකම් තියඩෝරෝ ජූනියර් ලොක්සින් මහතා ඇතුළු සම්භවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. ජාතික නියෝජිතයන්, බ්‍රිතාන්‍ය රජය, ව්‍යාපාරික හා මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් පෞද්ගලික අංශයේ පිරිස් මෙන්ම විද්වතුන් නියෝජනය කරමින් 90 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා  සහභාගී වූහ.

“ බිලියන 2.5 ක ජනතාවක් නියෝජනය කරන රටවල් පනස් හතරකින් යුත් පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාව ද මෙම ගමනේ යෙදී ඇත…” ස්කොට්ලන්තයේ ඇස්තල් හි සාමිවරිය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් වන  පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සිහිපත් කළා ය. “ඔබ එම ප්‍රකාශය දෙස ආපසු හැරී බැලුවහොත්මෙම අර්බුදය පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ තර්ජනයක් බව ප්‍රත්‍යක්ෂ කෙරෙන සියලු කරුණු එහි අන්තර්ගතව ඇති අයුරු හඳුනාගත හැකි ය. මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව එදා පෙරමුණ ගෙන සිටි අතර අදටත් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බව දැකගත හැකි වේ” යනුවෙන් එතුමිය වැඩිදුරටත් පැවසුවා ය. දේශනාවලට පමණක් සීමා නොවී, සිය පූර්ණ කැපවීම ප්‍රායෝගික අයුරින් පෙන්වීම සම්බන්ධයෙන් එතුමිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ මාලදිවයින් ජනාධිපතිවරයාට ප්‍රශංසා කළා ය. මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම, ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය වන මෙවලම් කට්ටලයක් සංවර්ධනය කිරීමේ දී, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ සහාය ලබා දෙන බවට ඇය සහතික විය. කඩොලාන පරිසරය සහ නයිට්‍රජන් අතර පවත්නා සම්බන්ධය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළ අතර, සුදුසු යාන්ත්‍රණයන් සංවර්ධනය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සමඟ නැවත එක්වන ලෙස එතුමිය ශ්‍රී ලංකාවට ඇරයුම් කළා ය.  

“… 2019 UNEA 4/14 යෝජනාවෙන් ඔබ්බට විහිදී යන වඩාත් පුළුල් ක්‍රියාමාර්ග යෝජනා කරමින්, ශ්‍රී ලංකා රජය විසින් තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ අගය එකතු කළ නවමු යෝජනාවක් ඔක්තෝබර් 26 වැනි දින ඉදිරිපත් කරන ලදී.” පරිසර අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කළේ ය.  2030 වර්ෂය ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින බැවින්, කොළඹ ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, යෝජිත යෝජනාවේ නව අංග කිහිපයක් ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දෙනු ලැබූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය. මෙම නව යෝජනාව තුළින්, අන්තර් සම්මුති නයිට්‍රජන් සම්බන්ධීකරණ යාන්ත්‍රණය ඔස්සේ සියලුම ආශ්‍රිත බහුපාර්ශ්වික පරිසර ගිවිසුම් සම්බන්ධීකරණය කෙරෙන අතර, දේශගුණය සඳහා නයිට්‍රජන් මත ක්‍රියා කිරීමට පදනම සකස් කෙරෙනු ඇත.

සමාප්ති දේශනය පැවැත්වූ  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වන ගෝලීය මුල පිරීම් තුළ පුරෝගාමී භූමිකාවක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව මැනවින් සන්නද්ධව සිටින බව අවධාරණය කළේ ය. “…ආර්ථික සංවර්ධනයත් පරිසර සංරක්ෂණයත් අතර ඝට්ටනයක් පවතින බව, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිදු මොහොතක විශ්වාස නොකළෙමු. මෙම අංශ දෙකම එක සමාන අංශ වේ. ඒවා එකම කාසියේ දෙපැත්තක් සේ එකිනෙකට අනුපූරක වේ”  එතුමා ප්‍රකාශ කළේ ය. රසායනික පොහොරවලින් කාබනික පොහොර වෙත මාරු වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එඩිතර තීරණයක් ගත් බවත්, ශ්‍රී ලංකාවේ සියලුම කෘෂිකාර්මික කටයුතුවලට එමගින් ප්‍රබල බලපෑමක් එල්ල කෙරෙන බවත් එතුමා ප්‍රකාශ කළේ ය. තවද, රටේ ජනගහනයේ සෞඛ්‍යය තත්ත්වය සඳහා සමස්ත ධනාත්මක බලපෑමක් මේ හරහා එල්ල වන බවත්, එමගින් ජලය සහ පස දූෂණය වීම අවම වන බවත්, සාගර දූෂණය අවම වන බවත් එතුමා නැවත අවධාරණය කළේ ය.

 “…මෙම අර්බුදය සඳහා හේතුව වන්නේ අප සතුව කාලය නොමැති වීම යි. අනාගතය සඳහා උසස් අපේක්ෂාවන් සහ සැලසුම් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. මෙහිදී අවශ්‍ය වන්නේ එම සැලසුම් සහ අපේක්ෂාවන් වහා ක්‍රියාත්මක කිරීම යි.” සම්ප්‍රදායක අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන තීරණාත්මක පණිවිඩය ප්‍රකාශයට පත් කළ පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරියගේ  අදහස් පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මැතිතුමා තවදුරටත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් මේ වන විට වඩාත් සක්‍රීයව සිටින බවත්, ශ්‍රී ලංකාව තුළ දැඩි කැපවීමක් මෙන්ම දැඩි මැදිහත්වීමේ ආකල්පයක් ඇති බවත් විදේශ අමාත්‍යවරයා සහභාගී වූ පිරිසට දැන්වී ය. ඉදිරි පරම්පරාවල ප්‍රයෝජනය සඳහා පෘථිවියේ පැවැත්ම වෙනුවෙන් පරිසරය සුරැකීමට සහ තවත් බොහෝ දේ සඳහා ගන්නා සෑම උත්සාහයකදීම ශ්‍රී ලංකාව සැම විටම අධිෂ්ඨානශීලී සහ ස්ථිර හවුල්කරුවෙකු ලෙස දායක වන බව එතුමා ජාත්‍යන්තර ප්‍රජාවට සහතික විය.

Recommended For You

About the Author: Thusal