තිත්ත ඇත්ත: කොවිඩ් පාලනය වෙලාද ? නැවත රැල්ලක් ඇති වෙයිද ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා

රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

කොවිඩ් මේ මොහොතේ පාලනය වෙලා තියෙනවද කියන එකටත් වඩා කොහොමද මේ තතත්ත්වය ඇති වුනේ කියන එක තමයි අපිට වැදගත් වන්නේ. ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් වාර්තා වෙන දත්ත අනූව ජනගහනය අධික ප්‍රධාන දිස්ත්‍රික්ක වල පමණක් මෑත කාලයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කොවිඩ් ආසාදනය වෙලා වගේ පේන නිසා කොවිඩ් පැතිරීම විශාල වශයෙන් පාලනය වෙලා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.

මේක තාවකාලික තත්ත්වයක්. හැදිච්ච අයට ආපහු කොවිඩ් හැදෙන්නේ නෑ කියලා තහවුරු වෙලා නෑ. එන්නත් ගහපු අයට කොවිඩ් හැදෙන්නේ නෑ කියල තහවුරු වෙලත් නෑ. ඒ වගේම A-30, Delta+ වගේ එන්නත් ප්‍රතිරෝධි කොවිඩ් රැලි දැනටමත් ලොව පුරා පැතිරෙමින් තියෙනවා. හොයා ගත්ත සහ ඉදිරියේදී සොයා ගන්න අළුත් ප්‍රභේද ඇති වෙන එක කෝවිඩ් වල සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි දැනටමත් දන්නවා. ඒනිසා මේ තාවකාලික කොවිඩ් විරාමය ඇතුලේ අපි සියල්ල අතෑරලා වැඩ කරන එක හරියට වතුර රත්වෙන තුරු කකුළුවා දිය හැලියේ නටමින් ඉන්නවා වගේ එකක්.

කවුද මේවට වගකියන්න ඕන කවුද මේවයින් බැට කන්නේ?

බැලූ බැල්මට කොවිඩ් පාලනය වෙලා කියලා හිතුවට ඒක රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමානයි. නමුත් අපි සෞඛ්‍ය වෘත්තිකයෝ විදියට කල්පනා කරනවා නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපතිවරයා, රජය කොවිඩ් පාලනය වෙලාද කියල බලද්දි ඒ වගේ සරල උත්තරයකින් සෑහීමකට පත්වෙන්න බෑ. එහෙම සරල උත්තරයක් ඔලුවෙ තියාගෙන රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න එකෙන් රටම අමාරුවේ වැටෙනවා. මතක තියාගන්න ඕන කාරණය තමයි අවසානයේදී දුක් විඳින්නේ ඔය වැරදි තීරණ ගන්න අය හෝ මහජන මුදලින් නඩත්තු වෙන ගමන් තීරණ නොගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න අය නොවේ කියන එක

කොවිඩ් කියන්නේ ලංකාවේ සමාජගත වෙච්ච වසංගතයක් ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන. හැබැයි ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන දත්ත සහ තොරතුරු නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක ස්වේච්ඡා සේවාවක් නෙමේ. ඒ වෙනුවෙන් මහජන මුදලින් පඩි නඩි වරප්‍රසාද දීලා විශාල නිළධාරීන් සහ වෘත්තිකයන් පිරිසක් නඩත්තු කරනවා. සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඒ අය ගන්න ඕන තීරණය නොගන්නව නං හෝ ප්‍රමාද වෙලා ගැනීම නිසා රටේ වසංගතය යලි යලි හිස ඔසවනව නං බේරගන්න පුළුවන් එක ජීවිතයක් හරි අහිමි වෙනවනං ඒක සාපරාධී ක්‍රියාවක්. එලෙස පරිපාලකයන් වැඩ නොකර සිටීමෙන් සිදුවන හානිය මනින්න අවාසනාවකට අපේ රටේ ක්‍රමවේදයක් නැති වුනත්, දියුණු රට වල මේවා දඩුවම් ලැබිය යුතු වැරදි.

කෝවිඩ් පාලනය කරන්න මිනිස්සුන්ට වගකීමක් නැද්ද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු ගොඩාක් අය අපි දකිනවා උදේ හවා පොඩි එහා මෙහාවක් ගිය ගමන් ජනතාවට බැනලා ජනතාවගේ පිට වරද පටවලා අත පිහිදා ගන්න තත්ත්වයක්. හැබැයි මිනිස්සුන්ට කොවිඩ් විද්‍යාත්මකව කියව ගන්න අවශ්‍ය තොරතුරු ටික දෙන්නේ නැතිව රසායනාගාර වල පරීක්ෂණ ටික වත් කරන්නේ නැතිව රෝගය පුරෝකථනය කරල ඇත්ත අදහසක් රට තුල නිර්මාණය කරන්නේ නැතිව ජනතාවට එහෙම නිකම්ම බනින එකේ තේරුමක් නෑ. රටේ හැම පුරවැසියෙකුටම ලෙඩ රෝග ගැන විද්‍යාත්මකව කියව ගන්න හැකියාවක් නැහැ. ඒක කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ මොහොතේ ඒක කරන්නේ නැතිව මහජනතාවට බැන බැන ඉන්න එක එක්තරා විදියක ඛේදවාචකයක්. අපි කියන්නේ මේ අඩු පාඩුව නිසාම කෝවිඩ් යලි හිස ඔසවන එක වලක්වන්න බෑ. හැදිච්ච අයට ආයේ කොවිඩ් හැදෙන දවස වෙනකොට එන්නතේ බලය නැති වෙන කාලය වෙන කොට අළුත් ප්‍රභේද එන කොට නැවත කෝවිඩ් පැතිරෙරෙනවා. හැබැයි සැලසුම් සහගතව වැඩ කරොත් ඒක රැල්ලක් විදිහට විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්.

අපි මෙහෙම කියන්නේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් විද්‍යාත්මකව කියවගන්න තියෙන තැන් වුවමනාවෙන්ම වලක්වපු තැන් ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙන නිසා. කොවිඩ් පාලනය වෙලාද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන හරිම උත්තරය නම් අපි තවම ඒක විද්‍යාත්මකව කියවල නෑ කියන එක තමයි. අපි එහෙම කියවන්න උත්සහ කරලත් නෑ, එහෙම කරන පාටක් පේනනත් නෑ.

එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගතව වැඩකරන්නේ නැද්ද?

සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම සැළසුම් සහගතව වැඩකරන්නේ නැහැ කියන්න හේතු ගණනාවක් පෙන්නල දෙන්න පුළුවන්. එකක් අහඹු පරීක්ෂණ සහ නියැදි පරීක්ෂණ වුවමනාවෙන්ම සිදු නොකරන එක. මේක සමාජගත වෙච්ච වසංගතයක් නිසා ලෙඩේ තියෙනව කියල තමටන්ම දැනිල හෝ සැක හිතිල රෝහලට එන කිහිප දෙනෙකුගේ පරීක්ෂණ කරල ලැබෙන දත්ත වලින් මේ වසංගතය කොහොමටවත්ව විද්‍යාත්මකව කියව ගන්න බෑ. ඒ ක්‍රමයට අනූව අපි 80% – 90% ආසාදිතයෝ මඟහැරලා තමයි වසංගතය කියවා ගන්නේ. එහෙම ගන්න තීරණ කිසිසේත්ම නිවැරදි තීරණ වෙන්නේ නෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම කරන්නේ අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ කරන්න පහසුකම් හෝ මුදල් නැති නිසා නෙමේ. පැහැදිලිවම කිව්වොත් වුවමනාව නැති නිසා සහ හැමෝගෙම අදහස් සළකා බලල හරි දේ හරි වෙලාවට කරන්න හිත හදා ගන්න බැරි උද්දච්ච පාලනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙලා ගෙන තියෙන නිසා.

රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට ඔයාලටත් බැරිද මීට වඩා දෙයක් කරන්න.

අපි, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ රට පුරා කරල දීමේ වගකීම කරට අරගෙන ඒකට අවශ්‍ය ජංගම රසායනාගාර කිහිපයක් ඉල්ලන්නේ කාලාන්තරයක ඉඳලා. හැබැයි ඒඅවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කිසිවෙක් මැදිහත්වුනේ නෑ. මේ ගැන අපි ආයතන ගණනාවකට ලිව්වාම සමහර සමාගම් එකඟවෙලා තියෙනවා මිලියන 80ක් විතර වටින ජංගම රසායනාගාර කිහිපයක් නොමිලේ දෙන්න. ඒක කොහොමත් කරන්න දෙන්නේ නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච සිතුවිල්ල කෝවිඩ් වසංගතයටත් වඩා කොච්චර බරපතලද කියනව නං. නොමිලේ දෙන බස්රථ ටිකවත් මේ වැඩේට යොදව ගන්න සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අවසරයක් නැහැ. කැබිනට් ඇමතිවරයා ඒකට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාන්න නියෝග කරලත් තවම ඒ වැඩේ වෙලා නැහැ. සමහර වෙලාවට ඔහු ජනාධිපතිතුමාට කියනව ඇති සල්ලි ඉතුරු කරන්න තමයි මම එහෙම කරන්නේ කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ වැරදි තීරණ නිසා රටට, ආර්ථිකයට, ජන ජීවිතවලට වෙන හානිය රුපියල් වලින් ගණන් හදල මේ නිළධාරීන්ට පෙන්නල දෙන්න කියලා. ඒ උදාහරණයම ඇති වසංගතය විද්‍යාත්මකව තේරුං ගන්න අපේ රටට බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගැනීම සඳහා

මොකද්ද මේ ගුවන් මගීන්ගේ “On arrival” පීසීආර් කරන්නේ නෑ කියන කතාව

නැවත කෝවිඩ් රැල්ලක් ඇති වෙන්න අදාල වෙන තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි නව ප්‍රභේද සහ අළුත් ආසාධිතයන් ගුවන් තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළුවීම. වර්ධනය වෙමින් පවතින කොවිඩ් රැල්ලට ඒක මූලිකම හේතුවක් උනා වෙන්නත් පුළුවන්. ඉදිරියේදී මේක තවත් භයානක තත්ත්වයකට පරිවර්තනය වෙන්නත් පුළුවන්. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත්ම රෙගුලාසි නිසා රටට ඇතුළු වෙන බහුතරයක් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නෑ. එන්නත්කරණය මඟින් රෝගය වැළඳීම පාලනය කල නොහැකිය කියන එක පැහැදිලිව සනාථ වෙලා තියෙද්දී විදේශයක සිය පැමිණෙන එන්නත් ගහපු අයට පරීක්ෂණ සිදු කිරීම අත්හිටෙව්වා. ඔවුන් හරහා A-30 එන්නත් පුළුවන් Delta+ එන්නත් පුළුවන්, අපි දන්නේම නැති එකක් එන්නත් පුළුවන්.

හැබැයි අවසනාව කියන්නේ ඒ අය පරීක්ෂාකරන එක නැවතිලා තියෙන්නේ ඒ සඳහා උපරිම පහසුකම් ගුවන් තොටුපල පරිශ්‍රයේ උපරිමයෙන් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය නීති මඟින් එහෙම කරන එක වැලැක්වුයේ මෙම රසායනාගර පහසුකම් පිළිබඳ මනා දැනුමක් ඇතිව. මේ තීරණය විතරක් සලකල බැළුවත් ඇයි එහෙම කරන්නේ, මොකද්ද ඒකෙන් ඇති වාසිය කියන එක පිළිබඳව අඩුම තරමේ ජනාධිපතිවරයාවත් සළකා බලන්නේ නැති එක ගැන අපිට හරි පුදුමයි. සමහරු පෙන්නන්න හදනවා පීසීආර් පරීක්ෂණ කරන එක සංචාරක ව්‍යාපාරයට බාධාවක් කියලා, හැබැයි සංචාරකයෝ විතරක් නෙමෙයි අපේ රටේ විදේශ ශ්‍රමිකයෝ පවා ගෙනල්ලා පීසීආර් පරික්ෂණය දඩමීමා කරගෙන දින සති ගණන් හෝටල් වල බලෙන් රඳවාගෙන ගසාකමින් සිටින කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණය ගත්තේ නෑ. දැං අපිට පීසීආර් පරීක්ෂණය පැය 2ක් 3ක් ඇතුලත දෙන්න පුළුවන් රසායනාගාර දෙකක් ගුවන් තොටුපල පරිශ්‍රයේ තිබියදී මේ විදියට කිසිඳු පරීක්ෂාවකින් තොරව කොවිඩ් ආසාදිතයන් රටට ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරෝතු වෙන්නේ මොන වගේ කෝවිඩ් පාලනයක්ද කියන එක පැහැදිලි වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ වැරදි තීන්දු සහ ගතයුතු තීන්දු නොගෙන සිටීම නිසා මේ කෝඩිඩ් වසංගතය අනවශ්‍ය ලෙස යලි යලිත් හිස ඔසවනවා කියලා

මොනවද ඔයාලගේ යෝජනා?

අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ කොව්ඩ් පාලනය සඳහා සූදානම් හැමෝගෙන්ම ඉල්ලන්නේ නැවත රට වසා තැබීමකට මෙහායින් මේ මතුවෙමින් තිබෙන වසංගතයේ ප්‍රවණතාවය වලක්වා ගැනීම සඳහා සංවේදී වෙන්න කියලයි. මේ සඳහා අඩුම තරමින් රට පුරා අහඹු සහ නියැදි පරීක්ෂණ වහාම ආරම්භ කරන්න, රටට ඇතුළු වන සියළු පුද්ගලයන් පරීක්ෂා කිරීමට නොහැකි වන අයුරින් දාල තියෙන රෙගුලාසි කඩිනමින් ඉවත් කරන්න, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට හෝ තීරණ ගන්න ප්‍රධාන බලධාරීන්ට අවම තරමින් මාසයකට සැරයක් විද්‍යාත්මකව එකතු කරගත්ත දත්ත මත පදනම් වුනු වසංගත විශ්ලේෂණයක් සහ පුරෝකථනයක් අඛණ්ඩව ලබා දෙන්න, ඒකට අවශ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට බාධා කරන්නේ නැතිව ධනාත්මකව එක කරන්න පුළුවන් නිළධාරියෙකු යටතට මේ යාන්ත්‍රණය පවරන්න. එහෙම කලොත් අඩුම තරමින් වසංගතය පැතිරෙන එක වලක්වන්න බැරි වුනත් අළුත් රැල්ලක් ඇති වෙන ස්ථානය කල්තියා හඳුනා ගැනීමෙන් අවම තරමින් රටම ලොක් ඩවුන් කිරීම වෙනුවට නගරයක්, ප්‍රදේශයක් හෝ ආයතනයක් ලෝක් ඩවුන් කරල විශාල රැලි ඇති වෙන එක වලක්වා ගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. එහෙම නැති වුනොත් දෙසැම්බරය වන විට බලෙන්ම තව රැල්ලක් හදා ගෙන ආපහු රටම ලොක් ඩවුන් කරල මිනිස්සුන්ගේ සහ රටේ ආර්ථිකය විනාශ කරල ජීවිත ගණනාවක් බිලි දීල. ඒ මිනිස්සුන්ටම බැන බැනා ඉන්නවා හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වන්නේ නැත.

රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *