‘නැනෝ පොහොර භාවිතයෙන් නාස්තියත් පරිසර හානියත් අඩු වීම ගොවියාට වාසියක්‘

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ

නැනෝ යූරියා පොහොර පිළිබඳව මේ දිනවල විශේෂ කතාබහක් ඇති වී තිබෙන්නේ ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් උදහස් මතභේද රැසක් ද සමඟිනි. මේ නව නිපැයුම ලොවට හඳුන්වා දුන් ස්ලින්ටෙක් ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ මෙවර දිනමිණ සමඟ සංවාදයට එක්වූයේ නැනෝ යූරියා පොහොර සම්බන්ධයෙන් වූ බොහෝ ගැටලුකාරී තැන් නිරාකරණය කර දෙමිනි.

  •  මොනවද මේ නැනෝ යූරියා පොහොර කියන්නෙ?

‘නැනෝ පාටිකල්’ එකක් කියන්නේ ඉතා කුඩා අංශුවකට. උදාහරණයක් වශයෙන් මීටරයක් සලකා බැලුවහොත්, නැනෝ මීටර් යනු මීටරයකින් බිලියනයකින් පංගුවකට. මේ නැනෝ අංශුවක් අරගෙන එයින් කුමක් හෝ අලුත් නිර්මාණයක් කළ විට එහි දැකිය හැක්කේ නැනෝ තාක්ෂණයයි. කෘෂිකර්මාන්තයේදී නැනෝ තාක්ෂණයෙන් විශාල වෙනසක් කළ හැකි බව මේ වන විට මිනිසුන්ට තේරුම් ගිහින් තිබෙනවා. නැනෝ තාක්ෂණය කෘෂිකර්මාන්තයේ පොහොර සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත් වෙනවා. කුමක් නිසාද කියනවා නම් අප මේ වනවිටත් පොහොර සම්බන්ධයෙන් බොහෝ ගැටලුවලට මුහුණපාමින් සිටිනවා.

යූරියා ලෙසයි ලෝකයේ බොහෝ නයිට්‍රජන් පොහොර එක් කරන්නේ. එවිට මේ යොදන නයිට්‍රජන්වලින් 70%ක් පමණ නාස්ති වන අතර ශාකයක් ලබාගන්නේ 30%ක් පමණ. 70%ක් විනාශ වූ විට රටක් විදිහට අපි වැඩිපුර සල්ලි වියදම් කරලා තියෙන්නෙ පොහොරවලින් වැඩි කොටසක් මේ වායුගෝලයට සහ ජලයට එක්වෙන්නයි. එනිසයි අපි පොහොර අවශෝෂණය සහ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට පොහොර සම්බන්ධයෙන් නැනෝ තාක්ෂණය යොදාගන්න තීරණය කළේ. යූරියා කියන්නේ නිතරම පාවිච්චි වන පොහොර වර්ගයක්. නැනෝ යූරියා නිපදවීමේදී සිදු වන්නේ යූරියා, ‘නැනෝ පාර්ටිකල්’ එකකට සම්බන්ධ කිරීමයි. බොහොම සරල දෙයක්.

නැනෝ පාර්ටිකල් එකක් අරගෙන යූරියා ටික ඒකට සවි කරනවා. දැන් අර තනියෙන් තිබෙනකොට ලේසියෙන් දියවෙලා ගිය යූරියා ටික එකවරම දියවෙන්නෙ නෑ. දියවෙන්න අපහසුයි. නැනෝ අංශුවකට දැන් සම්බන්ධ වෙලා. මෙතනදි ස්ලින්ටෙක් ආයතනයේ විශේෂඥ කණ්ඩායම සංවර්ධනය කළ පොහොර වර්ගයෙදි වන්නේ යූරියා ටික ගෙනැල්ලා නැනෝ අංශුවකට සම්බන්ධ කිරීමයි. එවිට පළවෙනි ලේයර් එකේ ඉන්න අයට ගොඩක් සවිවෙලා. ඊගාව ලේයර් එක ටිකක් අඩුයි. ඊගාව ලේයර් එක තවත් අඩුයි. ගැලවිලා යනවිට මේගොල්ලන්ට හිමින් සැරේ එක එක ලේයර් එක ගැලවෙන්න පුළුවන්. තව විදිහකින් කියනවා නම් අර 70%ක නාස්තිය අඩුකිරීම තමයි අපි මේ ‘නැනෝ පාර්ටිකල්’ එකකට සම්බන්ධ කරලා කරන්නෙ. මේ සම්බන්ධ කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි. හරි ‘නැනෝ පාර්ටිකල්’ එක තෝරාගන්න ඕනෙ. නිසි ලෙස සම්බන්ධ වෙන්නත් ඕනෙ. ඕනම නැනෝ නිෂ්පාදනයකදී මුලින්ම බලන්න ඕනෙ ‘නැනෝ පාර්ටිකල්’ තියෙනවාද කියලා. මෙතනදි වෙන්නෙ පෘෂ්ඨීය ක්ෂේත්‍ර ඵලය බොහෝ වැඩියි. පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වෙච්ච ගමන් අපට යූරියා විශාල ප්‍රමාණයක් සවි කරන්න පුළුවන්.

  • මේ සොයාගැනීම සිදු වූයේ කොයි කාලයේදීද?

මේ ව්‍යාපෘතිය 2009 දී පමණ ඇරඹුණේ ස්ලින්ටෙක් ආයතනය සහ පුද්ගලික පාර්ශ්වකරුවකු එක්ව කළ ව්‍යාපෘතියක් විදිහටයි. ඒ පුද්ගලික පාර්ශ්වකරු තමයි මේ ගෝලීය ගැටලුවට උත්තරයක් හොයන්න අපට භාර කළේ. එතකොට අපේ කණ්ඩායම ඒ අවස්ථාවෙ කළේ ‘නැනෝ පාර්ටිකල්’ එකක් සිලෙක්ට් කරලා යූරියා ටික සම්බන්ධ කිරීමයි. මේක හැදුවෙ 2010දි. මේ මගින් තවත් බොහෝ නිෂ්පාදන කළා. ඒවායෙන් අපි 2010,2011 වන විට US පේටන්ට් බලපත්‍ර හතරකට අයදුම් කළා. තුනකට මේ වන විටත් අනුමැතිය ලැබිලයි තියෙන්නෙ. ඒ පේටන්ට් බලපත්‍රවල අයිතිය තියෙන්නේ ස්ලින්ටෙක් ආයතනයට.

  • මේ පේටන්ට් බලපත්‍ර ඉන්දියාවට විකුණුවයි කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

මේ සඳහා පේටන්ට් අයදුම්කර සිටින අතරේ අපේ විද්‍යාඥයන් කණ්ඩායම මේ සම්බන්ධයෙන් ‘රිසර්ච් ආර්ටිකල්’ එකක් ලියුවා. ඒක පළවුණේ ඉන්දියාවේ ‘කරන්ට් සයන්ස්’ නම් ජර්නල් එකක. ඔය ‘ජර්නල්’ එක ඉන්දියන් සමාගමක් දැකලා අපිට කිව්වා ඒ අය අපේ මේ තාක්ෂණය ලබාගන්න කැමති බව. ඒ අනුවයි ඔය සම්බන්ධකම ගොඩනැඟුණෙ. ඒ අවස්ථාවෙදි ලංකාවේ රජයයි ස්ලින්ටෙක් ආයතනයයි සාකච්ඡා කරලා මේ තාක්ෂණය ඒ සමාගමට ලබාදෙන්න කැමැති වුණා. ඇමෙරිකාව, චීනය වැනි ලෝකයේ දියුණු රටවල් ගත්විට ඒ රටවල ආර්ථික මොඩලයේ එක කොටසක් තමයි තාක්ෂණය තව කෙනෙකුට ලබාදී මුදල් ඉපයීම. එය වරදක් නොවෙයි. එය රටට විදේශ විනිමය ගේන්න පුළුවන් එක ආකාරයක්. අපි භාණ්ඩ හා සේවා විකුණලා ලබා ගන්නවාට වඩා හොඳ විනිමයක් ගේන්න පුළුවන්, දැනුම පදනම් කරගත් ආර්ථිකයක. අපි දැන් යන්නෙ මේ කියන ආකාරයේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක. ඒකෙදි අපිට පුළුවන් දැන් හොඳ මුදලක් උපයන්න. ඔය තර්කය මත 2011 වගේ කාලයේදී අපි කැමති වුණා මේ තාක්ෂණය මුදලට ලබාදෙන්න. ඒ වුණත් මේ සම්බන්ධයෙන් දැන් වැරදි කතාවක් පැතිරෙනවා අපි පේටන්ට් විකුණලා කියලා. පේටන්ට් බලපත්‍රය තාම අයිති ශ්‍රී ලංකාවේ ස්ලින්ටෙක් ආයතනයට. අපි පේටන්ට් විකුණලා නැහැ. මෙතනදි තාක්ෂණය හුවමාරු කිරීමක් පමණයි සිදු වුණේ. දේශීය නිෂ්පාදකයන් ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ටත් පුළුවන්කම තිබෙනවා මේ තාක්ෂණය ලබාගන්න. ස්ලින්ටෙක් ආයතනය සතුව දැන් තියෙන්නේ මේ සම්බන්ධයෙන් තව දුරටත් දියුණු කළ තාක්ෂණයක්. එනිසා මේ නැනෝ යූරියා පොහොර ඉන්දියාවෙන් ගෙන්වනවා වෙනුවට අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙතනදි දේශීය වශයෙන් ආයෝජකයන් සොයාගැනීමේ ගැටලුවයි තිබෙන්නෙ.

  • මේ රටේ සාම්ප්‍රදායික ගොවීන් මේ නැනෝ යූරියා පොහොරවලින් වගා කිරීම මොන ආකාරයෙන් බාර ගනීවිද? මේ සම්බන්ධයෙන් ගොවීන් විශේෂයෙන් දැනුවත් කිරීමක් සිදු කළ යුතුයි නේද?

මේ සම්බන්ධයෙන් ස්ලින්ටෙක් ආයතනය කළ ව්‍යාපෘතිය අවසන් වූ පසු අපි මේක බිම් මට්ටමට අරන් ගියා. පොහොර කිලෝ 200ක් විතර හදන්න පුළුවන් ‘ප්ලාන්ට්’ එකක් හැදුවා. ඒ හදපු පොහොරවලින් අපි ලංකාවෙ තේ සහ වී ගොවීන් සමගයි පර්යේෂණ ආරම්භ කළේ. විශේෂයෙන්ම අම්පාර,මඩකලපුව, කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක මෙහිදී මූලික කරගත්තා. සහල් පර්යේෂණ ආයතන, තේ පර්යේෂණ ආයතන මඟින් ඌව, ගාල්ල, නුවර වගේ ප්‍රදේශවල පෙරහුරුවක් ලබාදුන්නා. ස්ලින්ටෙක් ආයතනය හදපු පොහොර වර්ගයේ වෙනස තමයි නිපදවීමේදී අපි හරි පරිස්සම් වීම. මොකද ගොවියන් ගැන කියනවා නම් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ දියුණුම රටේ ඉන්න ගොවියත් පුරුදු වෙලා ඉන්නෙ එකම සන්නාමයක් ඇති පොහොර වර්ගය දිගින් දිගටම පාවිච්චි කරන්න. මිලදී ගන්න ගියාම ඔවුන් ඉල්ලා සිටින්නේ මෙතුවක් කල් භාවිතා කළ පොහොර වර්ගයේ ම නමින්. ඔවුන් ඒතරමට ම තමන් පාවිච්චි කරන පොහොර වර්ගයට බැඳිලයි ඉන්නෙ. එතකොට අපි හරි පරිස්සම් වුණා අපේ ගොවීන් කලින් පාවිච්චි කළ පොහොර වගේ ම එකක් හදන්න. නැත්නම් අපිට මේ පොහොර පාවිච්චි කරන තැනට ගොවියාගේ මනස හදන්න බෑ. එනිසා අපි මෙතනදි හැදුවෙ පසට යොදන පොහොරක්. නයිට්‍රජන් 40%ක් යොදලයි හැදුවේ. පොස්පරස් සහ කැල්සියම් අන්තර්ගත වුණා. නයිට්‍රජන් 40%ක් දක්වා මට්ටමකට ගෙනගියේ ගොවියා ඊට අඩු ප්‍රමාණයකට නයිට්‍රජන් කියන එකට කැමති නෑ. අනෙක් කරුණ නම් ඔවුන් කලින් පොහොර යෙදූ විදිහට ම යොදන්නත් ඕනෙ. ඔවුන් පසට යොදන්නේ කැට ලෙස නම් ඔවුන්ට කැට ම ඕනෙ. නැත්නම් පුරුදු කරන්න අමාරුයි. ඒ හින්දා මේ පොහොර එක නිපදවද්දි අපි එය කළේ කැට පාවිච්චි කරමින්. එනම් ගොවියා කලින් පොහොර යෙදූ ලෙසම යොදන්න පුළුවන්. මේ සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන්නේ නෑ.

  • මේ නැනෝ යූරියා පොහොර වීවලටයි තේවලටයි යොදාගනිමින් කළ පර්යේෂණයේ සාර්ථකත්වය ගැන කිව හැක්කේ කුමක්ද?

මෙහිදී අපි යොදන පොහොර ප්‍රමාණය 25%-50% අතර ප්‍රමාණයක් අඩු කළා. අස්වැන්න 10%ක්15%ක් පමණ වැඩි කරගත්තා. මෙහිදී පොහොර ටික නිසි ලෙස අදාළ බෝගයට ලැබෙනවා. පොහොර නාස්තිය හැකිතාක් අවම වෙනවා. කෙසේවෙතත් මෙහි සම්පූර්ණ ප්‍රතිඵලයට පාරිසරික බලපෑම් කියන කාරණාවත් අදාළයි.

  • තව කුමන බෝගවලටද මේ නැනෝ යූරියා පොහොර යොදාගත හැක්කේ?

ඕනෑම බෝගයකට යොදාගත හැකියි. කලින් තිබුණු නයිට්‍රජන් ප්‍රමාණය අඩුවෙන් යොදන එකයි අපි කරන්නෙ. නැනෝ කියන්නෙ මැජික් බුලට් එකක් නෙවෙයි. මේක දැම්මම නයිට්‍රජන් එතන වැවෙන්නෙ නෑ. ඒ දාන ටිකම තමයි තියෙන්නෙ. නාස්තිය අවම වෙනවා. යොදන ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අපි සල්ලි දීලා පිටරටින් පොහොර ගෙනැල්ලා ඒ පොහොර නාස්ති කරගන්නවා නම් ඒක අපරාධයක්. ගේන පොහොර හරි විදිහට පාවිච්චි කරනවා නම් ගෙන්වන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්.

  • මේ නැනෝ යූරියා පොහොර යොදාගැනීමෙන් අත්වන වෙනත් වාසිදායක සහ අවාසිදායක තත්ත්වයන් පිළිබඳව කතා කළොත්?

වාසිය තමයි පොහොර නාස්තිය, පාරිසරික හානිය අවම වීම. ඒ වගේ ම රටේ මුදල් නාස්තිය අවම කරගන්නත් පුළුවන්. මෙමඟින් අස්වැන්න වැඩි කරගන්නත් පුළුවන්. අපේ දැන් තිබෙන්නේ දෙමුහුම් වී වර්ගවලට හරි වෙලාවට හරි ප්‍රමාණයෙන් පොහොර ටික ලැබෙන්න ඕනෙ. ලෝකය ම මේ දිනවල කතා කරන්නේ 4R ක්‍රමයට (Right Time, Right amount, Right composition, Right target) පොහොර යෙදීම සම්බන්ධයෙන්. මේ සේරම සම්පූර්ණ කරගන්න පුළුවන් නැනෝ තාක්ෂණය ඔස්සේ. ඒ වගේ ම මේ පොහොරවල මිලේ යම් වෙනසක් තිබෙනවා. මොකද කලින් තනිවම සිටිය කෙනාට දැන් ‘නැනෝ පාර්ටිකල්’ එකක් සවි කරලයි තියෙන්නෙ. එවිට එය නිපදවීමට යන වියදමත් එක් වෙනවා. ඒ අනුව මිල වෙනස් වෙනවා. එහෙත් මිලේ සිදුවන ඒ වෙනස්වීම අප සලකා බැලිය යුත්තේ මේ පොහොර යෙදීමෙන් අත්වන වාසි සමඟයි. ඊට අමතරව මේ නැනෝ පොහොර යොදන විට ආරක්ෂාව තහවුරු කරගැනීමත් වැදගත්. ලංකාවේ ස්ලින්ටෙක් ආයතනය නිපදවූ පොහොරවලදී අපි පාවිච්චි කළ නැනෝ පාර්ටිකල් එක දැනටත් පසට දාන ද්‍රව්‍යක නැනෝ පාර්ටිකල් එකක්. එනිසා එයින් සිදුවන හානිය අවමයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ ම ඒවා අපි මිනිස් සෛල යොදාගනිමින් පරීක්ෂා කර තිබෙනවා. නැනෝ පොහොර කොහෙන් ගෙන්නුවත් අදාළ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි මෙරට ගොවිතැන් කටයුතු සඳහා ලබාදිය යුත්තේ. ඒකෙ නැනෝ පාටිකල් තියෙනවාද? හමට හානිදායකද? යන කරුණු පිළිබඳව පර්යේෂණ වාර්තා ලබාගත යුතුයි. අනෙක් කාරණය නම් මේ පොහොර යොදන විට විශේෂයෙන් ම ගොවියාගේ ආරක්ෂාව තහවුරු වෙන්නත් ඕනෙ. විශේෂයෙන්ම දියර පොහොරක් යොදන විට ඒවා අපේ ශ්වසන මාර්ගයට ඇතුළුවීම වැළැක්විය යුතුයි. එනිසා පොහොර යොදන විට ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුයි.

  • මේ නැනෝ යූරියා පොහොර ගැන විවිධ විවේචනත් එල්ල ‍ෙවනවා. ඇතැම් විද්වතුන් කියන්නේ මෙය කෘත්‍රිම පොහොරක්, මේ ඔස්සේ ගොවියා රැවටීමක් සිදු වන බවයි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස?

විවිධ මත ඉදිරිපත් වීම හොඳ දෙයක්. ඕනම අවස්ථාවකදී වෙනසකට යද්දි මිනිස්සු ඒකෙ හොඳ නරක දෙකම කතා කරන්නත් ඕනෙ. එතකොට තමයි අපට එහි ධනාත්මක පැත්ත වගේම සෘණාත්මක පැත්තත් අනාවරණය වෙන්නෙ. අපි දැනට පාවිච්චි කරන පොහොර සියල්ල කෘත්‍රිමයි. යූරියා කියන්නේ කෘත්‍රීම පොහොරක්. ඒ කියන්නෙ දැනට ලෝකයේ කෘෂිකර්මාන්තය ම පවතින්නේ කෘත්‍රිම පොහොර මත. ඉතිං නැනෝ කෘත්‍රිම පොහොරක් දැම්මා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මෙතනදි විය යුත්තේ යොදන නැනෝ පාර්ටිකල් එකෙන් හානියක් නොවීමයි. පොහොර යෙදීමේදී ශරීරගත වෙන්න හොඳ නෑ. ඒ වගේ ම පසේ බැක්ටීරියා විනාශ කරන්න හොඳ නෑ. ඒ කාරණා වැදගත්. ඒ හැරුණු විට මේක කෘත්‍රිම පොහොරක් කියන එකේ ගැටලුවක් මම දකින්නෙ නෑ. නිසි තත්ත්ව පාලනය තමයි වැදගත් වෙන්නෙ. අපට ස්වභාවික පොහොරවලින් ම ලෝක ජනගහනයේ ආහාර අවශ්‍යතාව සපුරාලන්න බැහැ. ඒක අපි පිළිගන්න ඕනෙ. සියලුම මිනිස්සුන්ට කන්න දෙන්න ඕනෙ නම් අපිට ඒ ඕන කරන පොහොර ප්‍රමාණය ලබාගන්න වෙනවා. ඒ මුළු ප්‍රමාණය ම ස්වභාවිකව ගන්නවා කියන එක මේ තත්ත්වය යටතේ කළ නොහැකියි. ඒනිසා අපට සිදුවනවා කෘත්‍රිම පොහොර මත යැපෙන්න. එහිදී කෘත්‍රීම පොහොරවල තත්ත්ව පාලනය ඉතාම වැදගත්.

  • මෙරට තිබෙන කෘෂිකර්මාන්තයත් සමඟ මෙවැනි පොහොරක් ශ්‍රී ලංකාව තුළ හොඳ මට්ටමකට ප්‍රචලිත කරගෙන, මේ සඳහා යොමු වන පිරිස වැඩි කරගන්න පුළුවන් වාතාවරණයක් ඔබ දකිනවාද?

ඇත්තෙන්ම ඔව්. ගොවීන්ගෙන් මේ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් හරි කැමැත්තෙන් තමයි මේ පොහොර භාවිත කළේ. මොකද ඔවුන්ට පෙනුණා මේකෙන් අස්වැන්න වැඩි වන බව සහ පුරුදු විදිහටම යෙදිය හැකි බව. ඉතින් ඒ ගොවීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක බැලුවම මං හිතනවා මේක ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරන්න බැරි නෑ. ආරක්ෂාව පැත්ත තහවුරු වෙනවා නම් මේකෙ නයිට්‍රජනුත් හොඳට තිබෙනවා නම් නයිට්‍රජන්වලට අමතරව තව ශාක පෝෂකත් ලැබෙනවා නම් මේක ලංකාවේ ප්‍රචලිත කරන්න බාධකයක් තිබෙන බව මම දකින්නෙ නෑ. සාමාන්‍යයෙන් ලෝකයම දැන් ගමන් කරන්නේ ග්‍රීන් ටෙක්නොලොජි වෙත. ඉතින් මේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ස්ලින්ටෙක් ආයතනය සමග එක්වී මේ ක්‍රියාවලිය වැඩි දියුණු කළා. එහිදී අපට හැකි වුණා හරිත ක්‍රියාවලියකට යන්න. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පේටන්ට් බලපත්‍ර දෙකක් හිමියි. එනිසා එහි ගෞරවයෙන් කොටසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි.

කාංචනා සිරිවර්ධන – දිනමින ඇසුරිනි

Recommended For You

About the Author: Thusal