කෘෂි තාක්ෂණයෙන් ග්‍රාමීය රැකියා උත්පාදනයට නව ජවයක්

මහාචාර්ය පී.අයි. යාපා, කෘෂි විද්‍යා පීඨය, සබරගමු විශ්වවිද්‍යාලය

ලෝකයේම පවත්නා අමුද්‍රව්‍ය හිඟය සහ ඒවා සපයා ගැනීමට ඇති බරපතළ ගැටලු හමුවේ කළ යුතු සුදුසුම දේ මෙවර අයවැය මඟින් සිදු කොට තිබේ. ලෝකයේ අමුද්‍රව්‍ය නොමැති වුව ද අප රට තුළ කෘෂි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි

අතීතයේ දී පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලද ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට කණකොකා හඬන්නට පටන් ගත්තේ 1965 වර්ෂයේ දී ය. ඒ කෘෂි කර්මාන්තය තුළ හරිත විප්ලවය ඇති කරන්නට පිඹුරුපත් සකස් කරන විට ය. හරිත විප්ලවයට අදාළ තාක්ෂණය මෙරට එකක් නොව එය සම්පූර්ණයෙන්ම විදෙස් තාක්ෂණය යොදා ආරම්භ වූවකි. මෙම නව තාක්ෂණය මඟින් භෝග වගාවන්හි වැඩි අස්වැන්නක් ගත හැකි බව එකල ප්‍රත්‍යක්ෂ විය. උදාහරණ ලෙස වී, මෙනේරි වැනි කෙටි කාලීන ධාන්‍ය භෝග හඳුන්වා දිය හැකිය. මෙම ක්‍රම වේදය විද්‍යාඥයන් පවා අනුමත කරන ලද්දක් විණි. ශ්‍රමය අඩුවෙන් වැය කර වැඩි අස්වැන්නක් ගැනීම මෙම ක්‍රමය ඔස්සේ ඉතා පහසු විය‍. මෙම නව ක්‍රමවේදයට අනුගත වීම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මෙන් ඉන් ගලවා ගැනීම අපහසු විණි. මෙහි ආදීනව ගොවියන් විසින් තේරුම් ගත්ත ද එය අතහැරිය නොහැකි තත්ත්වයට පත් විණි. 

පොහෙර සහනාධාරය

රටේ වැඩි ඡන්ද බලයක් එදා සිටම ගොවි ජනතාවට තිබෙන අතර එම ග්‍රාමීය ඡන්ද බලයෙන් ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාවක් ද එදා සිටම පැවතිණි. දේශපාලනඥයන් ද බොහෝ විට උත්සාහ කරනුයේ හොඳම දේ කිරීමට නොව වඩාත් ප්‍රසිද්ධ දේ කිරීමට ය. මේ නිසා ගොවි ප්‍රජාව ද ගොවිතැන් නොකරන අය ද එකතු කොට ගෙන විශාල මුදලක් වැය කොට රසායන පොහොර සහනාධාර ක්‍රමයක් ආරම්භ කෙරිණි. උදාහරණයක් ලෙස එවක පැවති ආණ්ඩුව යූරියා පොහොර මල්ල රුපියල් 3000කට මිල දී ගෙන එය වී ගොවීන්ට නොමිලේ ද, අනෙක් ගොවීන්ට රුපියල් 1,500 කට ද ලබා දෙන ලදී. එමෙන්ම ඉන් පසු යූරියා පමණක් නොව පොස්ෆරස් සහ පොටෑසියම් පොහොර ද විශාල පාඩුවක් ලබමින් බෙදා දෙන්නට විණි. මෙම පොහොර සහනාධාරය වෙනුවෙන් වූ අලාභය පියවා ගැනීම සඳහා හැම වසරකම බිලියන 50 ඉක්මවා ජනතාවගේ බදු මුදල් එකතු කිරීමට ආණ්ඩුවට සිදු විණි. විදේශීය රටවලින්, බහුජාතික සමාගම්වලින් ගෙන්වන ලද මෙම රසායනික පොහොර වැඩි වශයෙන් භාවිත කරන්නට ජනතාව පෙලැඹවීමක් ද ඉබේම සිදු විණි. දිගින් දිගටම කෙරී ගෙන ගිය මෙම රසායනික පොහොර භාවිතයේ ආදීනව එනම් මෙහි කිසිදු තිරසාරත්වයක් නැති බව ඒ සෑම රජයකටම තේරුම් ගොස් තිබුණු අතර ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ද ගන්නා ලදී.

පසුගිය යහපාලන රජය විසින් පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට මුදල් දීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි. ඔවුන් ඉන් බලාපොරොත්තු වූයේ බහුජාතික සමාගම්වලට ඇදී යන මුදල ඉතිරි කර ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට පොළඹවාලීම ය. වස විසෙන් තොර ගොවිතැනක්, වස විසෙන් තොර ආහාර, වස විසෙන් තොර කෘෂිකර්මයක් නමින් එය ක්‍රියාත්මක කෙරුණ ද එම වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැත. කෘෂි කර්මාන්තය යනු ව්‍යාපාරයකි. වසරකට බිලියන සියය ඉක්මවන ව්‍යාපාරයකි. මෙම මුදලින් යැපෙන, වාසි ලබන විශාල පිරිසක් සිටිති. මේ අතර රජයේ සේවකයන්, විශ්‍රාමික සේවකයන් සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සිටී. මේ නිසා මෙම රසායනික පොහොර වැඩපිළිවෙළ අහෝසි කොට කෘෂි කර්මාන්තය නවමු ආකාරයකට ගොඩනැඟීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

සෞඛ්‍ය රකින කෘෂි කර්මාන්තය

එහෙත් වත්මන් රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳව සඳහන් කොට තිබිණි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 39, 40 පිටුවල එය මනාව දක්නට ලැබේ. ශ්‍රි ලංකාවේ කෘෂි කර්මාන්තය පරිසරය රැක ගෙන, ස්වාභාවික සම්පත් රැක ගෙන, ජනතාවගේ සෞඛ්‍ය රකින කෘෂි කර්මාන්තයක් විය යුතුය යන්න සහ කෘෂි කර්මාන්තය කිසිම රටක කිසිම විදේශ බලවේගයක අනුග්‍රහයෙන් හෝ ආධාරයෙන් කරනු ලබන දෙයක් නොවිය යුතුයි යන්න එහි පැහැදිලිව සඳහන්ය. මෙය සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවගේ වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීමට ඇති අයිතිය ද තහවුරු කොට තිබේ. ඒ අනුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශකාරී, විදේශ බලවේග මත යැපෙන, ලෝකය ඉදිරියේ ඕනෑම අවදානම් අවස්ථාවක සහ මෙරටට බලපෑ හැකි සම්බාධක ඉදිරියේ ආදී වශයෙන් මෙය අඩාළ විය හැකිය. අමුද්‍රව්‍ය ඇතුළු සියයට සියයක් ම විදෙස් රටවලින් ගෙන්වා කරනු ලබන කෘෂි කර්මාන්තය ඉතා භයානකය. මේ සියල්ල සලකා බලා මෙරට තුළ යහපත් කෘෂි කර්මාන්තයක් කර ගෙන යා හැකි වැඩපිළිවෙළක් මේ වන විට සකස් වී තිබේ. ඊට මෙරට ජනතාවගෙන් 69 ලක්ෂයකට අධික පිරිසක් සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ. දැන් සලකා බැලිය යුත්තේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ය.

රටක් කිසියම් ඉලක්කයක් කරා යන විට අනිවාර්යයෙන්ම එම ඉලක්කය කරා ළඟා විය යුතුය. එම නිසා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කොට එක වර කාබනික පොහොර වෙත මාරු වීම සිදු කරන ලදී. මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොව තුළ ද බරපතළ පොහොර අර්බුදයක් තිබෙන බව සත්‍යයකි. අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දියාව, පකිස්තානය සහ ඊජිප්තුව ඇතුළු සෑම රටකම පොහොර අර්බුදයක් හට ගෙන තිබේ. ඊට හේතුව වන්නේ රසායනික පොහොර නිෂ්පාදනය තෙල් සහ ගෑස් සම්පත මත රඳා පවතින බැවිනි. තෙල් සහ ගෑස් සම්පත මෙරට තුළ නැත. තෙල් සහ ගෑස් සම්පත්වලින් පොහොසත් රටවල් විසින් රසායනික පොහොර නිපදවීම සහ අපනයනය සිදු කරනු ලබයි.

නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද රජයේ අයවැය තුළින් කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ලෝකයේ ම පවත්නා වූ මෙම අමුද්‍රව්‍ය හිඟය සහ ඒවා සපයා ගැනීමට ඇති බරපතළ ගැටලු හමුවේ කළ යුතු සුදුසුම දෙය මෙවර අයවැය මඟින් සිදු කොට තිබේ. ලෝකයේ අමුද්‍රව්‍ය නොමැති වුව ද අප රට තුළ කෘෂි කර්මාන්තය සිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. පොහොර, කෘමිනාශක, වල්නාශක සහ වල් මර්දන ක්‍රම ඇතුළු ක්‍රම නොමැතිව කෘෂි කර්මාන්තයත් සාර්ථකව කළ නොහැකිය. රජය විසින් කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම රටක් වශයෙන් කරන ලද විශාල ආයෝජනයකි. ශ්‍රී ලංකාවෙන් රුපියල් බිලියන සියයක් පමණ පිටරටවලට ඇදී ගිය ද ඊට වඩා විශාල මුදලක් රජය විසින් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැය කොට ඇත්තේ ගොවීන් අතර මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් අතර මෙම මුදල් බෙදී ගොස් කෘෂි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන් කරන ලද වැඩපිළිවෙළක් ලෙසිනි.

මෙරට තුළම අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම තුළින් විදේශයට යන අති විශාල මුදලක් අප රට තුළම ඉතිරි කර ගත හැකිය. ඩොලර් මිලියන 440කටත් වැඩි මුදලක් වසරකට පොහොර සහ අනෙකුත් කෘෂි රසයායනික වෙනුවෙන් වැය කොට තිබේ. එම මුදල මෙරට තුළ ඉතිරි කර ගැනීම සඳහා අයවැය තුළින් ගෙන ඇති පියවර සාධනීය වේ. එමෙන්ම මෙම වැඩපිළිවෙළ තුළින් ග්‍රාමීය මට්ටමින් විශාල කර්මාන්ත ඇති වේ. එම කර්මාන්ත කුඩා, මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ වශයෙන් බිහි වේ. ඒ සමඟම මෙහි තාක්ෂණය ද ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වේ. මේ ආකාරයට වැඩි වශයෙන් කර්මාන්ත දියුණු වෙත්ම අති විශාල රැකියා ප්‍රමාණයක් ද ඇති වේ.

නිෂ්පාදකයන් බිහි වීම

මේ වන විටත් කාබනික කෘෂි කර්මාන්තය තුළින් නිෂ්පාදකයන් බොහෝ දෙනෙක් බිහි වී තිබේ. පොහොර, වල් නාශක, වල්නාශනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර, කෘමිනාශක යනාදිය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමෙන් ද මෙරට තුළ විශාල රැකියා ප්‍රමාණයක් බිහි වේ. මෙ ම රැකියා විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ මුල් කර ගෙන බිහි වනු ඇත. මේ නිසා මෙම වැඩපිළිවෙළ තුළින් ලැබෙන වාසි අති විශාල ය. ගම්බද ප්‍රදේශවල විරැකියාවෙන් පෙළෙන උගත් තරුණ පිරිස් විශාල සංඛ්‍යාවක් සිටිති. මෙය බරපතළ ගැටලුවකි. මෙම තරුණ අසහනය කුමන වේලාවක හෝ පිපිරී යා හැකිය. එමනිසා මෙම තරුණ අසහනය නැති කිරීමට ගමේ තරුණ තරුණියන්ට නගරවලට නොපැමිණ තම ගම්බද ප්‍රදේශයේ දී ම තමන්ගේම ව්‍යාපාරයක නියැලී හෝ රැකියාවක නියුතුව ආදායමක් උපයා ගෙන සුඛෝපභෝගි ජීවිත ගත කිරීමට මින් ලැබෙන්නේ මහඟු අවස්ථාවකි.

කෘෂිකර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් වෙන් කරන ලද අති විශාල ආයෝජනය තුළින් කෘෂි අමුද්‍රව්‍ය එනම් පොහොර, වල් නාශක, කෘමිනාශක සහ කෘෂි යන්ත්‍රෝපකරණ මෙන්ම වගා සඳහා බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි වේ. එමෙන්ම ඇසුරුම්, අගය එකතු කිරීම්, ගබඩා වැනි දැවැන්ත වෙනසකට ශ්‍රී ලංකාව පත් කළ හැකි වනු ඇත.

වාරි මාර්ග පද්ධති ද මීට අයත් වේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යාඥයන්ගේ ද සහාය සපයා ගත යුතු වේ. ලෝක‍යේ විවිධ රටවල එනම් අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, කැනඩාව, මෙක්සිකෝව, ජපානය‍, චීනය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක තාක්ෂණය රැගෙන පැමිණි කෘෂි විද්‍යාඥයන් රැසක් මෙරට තුළ සිටිති. මොවුන්ගේ දායකත්වය තුළින් ආයෝජකයන් සඳහා තාක්ෂණය සපයා දීමේ වැඩපිළිවෙළකට ද යා යුතු වේ. මෙම නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැදගත් වන බැවිනි. මෙම නිෂ්පාදන ලෝකයට අපනයනය කළ හැකි තත්ත්වයකට රැගෙන යෑම කළ යුතු වේ. මේ වන විට ද චිනය වැනි දියුණු රටවලින් අමුද්‍රව්‍ය රැගෙන විත් ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොර යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ. ඒ සඳහා මැද පෙරදිග රටවලින් ඉල්ලුමක් ද ඇති වී තිබීම සතුටුදායක කරුණකි.

මේ ආකාරයෙන් සලකා බැලූ විට පෙනී යන්නේ මෙම අයවැයෙන් කාබනික කෘෂි කර්මාන්තය නැතහොත් පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය සඳහා විශාල මුදල් සම්භාරයක් වෙන් කිරීම ඉතා වාසිදායක වනු ඇති බව ය. මෙම ආයෝජන කිසි දින අපතේ නොයන අතර එය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය පමණක් නොව, මෙරට තිරසර සංවර්ධනය, රැකියා සහ තරුණ අසහනය යන සෑම දෙයකටම යහපත් පිළිතුරක් දිය හැකි ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකිය.

Recommended For You

About the Author: Thusal