’65 විශ්‍රාම යෝජනාව’ පිළිබඳ පරිපූර්ණ විමසුමක්

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි.  විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය.  සමාජය වෙනසකට බය ය.  මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත.

සුද්දාගේ ආණ්ඩුවේ මහා මාර්ග අධ්‍යක්ෂ මේජර් ස්කිනර් වසර 50 ක් රාජ්‍ය සේවයේ සිට ඇත්තේ එදා උපරිම වයසක් නොතිබූ නිසාය. රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ අනිවාර්ය වයස අවු 60 කළේ 1949 ගැසට් පත්‍රයකිනි. එදා ලංකාවේ ආයු අපේක්ෂාව වසර 57 කි. මැරුණේ නැත්තම් තවත් අවුරුදු 3 ක් රාජ්‍ය සේවයේ සිටීම අදින් වසර 70 ක ට පෙර අවස්ථාව තිබුණි.  බොහෝ දෙනා අවුරුදු 55 න් විශ්‍රාම යති.  යා යුතු යැයි ව්‍යවහාරයක් ද විය.  අද ජීවිත අපේක්ෂාව 75 කි. 55 න් 60 විශ්‍රාම යා යුතු නැති බව සාධාරණ තර්කයකි.

ලංකාවේ වසර 20 කින් විශ්‍රාම වැටුප් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් ලංකාවේ අයෙක් වසර 22 ක් විශ්‍රාම වැටුප් ලබයි.  ඇමරිකාව ඇතුළු රටවල් 110 කට වඩා විශ්‍රාම වයස 65 හෝ එයට වැඩිය.  ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබන සාමාන්‍ය කාලය වසර 17 ක් බව කියවේ. ලංකාවේ විශ්‍රාම වයස වැඩි කිරීම අහම්බයක් නොවේ. පදනමක් – තර්කයක් සහිත කටයුත්තකි.

මේ සංශෝධනයෙන් එකවරම තනතුරු හා උසස්වීම් අහිමිවන දහසකට වැඩි පිරිසක් විවිධ සේවාවල වෙති.   එයටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ සිට මැද දක්වා තමන්ට කැමති සුවච කීකරු එහෙයියන් පිරිසක් පත් කර ගැනීමේ ‘දේශපාලන උපක්‍රමය‘ ක් නිර්මාණය කර ගැනීම සුදුසු නම් නැත.  

පරිපාලන සේවය හා සමාන්තර ශ්‍රේණි

මේ ලිපිය පුරාම පරිපාලන සේවය යැයි පහසුවට ලියන්නේ, එය  සමගාමී අනෙකුත් සේවාවන්ට ද අදාල වන ලෙසය. පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට නිර්බාධක උසස්වීම් ලැබෙන නිසා කාටවත් අගතියක් වන්නේ නැත. නමුත්, තනතුරු අහිමිවීමක් සිදුවන්නේ පරණ අය දිගටම තනතුරුවල රැදෙන නිසාය.  වැටුපට අමතර අනෙකුත් වරප්‍රසාද (වාහන බලපත්‍රය, ඉන්ධන දීමනා වැනි) ඔවුනට ලැබෙන්නේ පළමු ශ්‍රේණියේ තනතුරක් දරන්නේ නම් පමණී.  දෙවෙන ශ්‍රේණියේ සිටින අතරම, පළමු ශ්‍රේණියේ තනතුරුවල වැඩ බලන (හංගාගත් තනතුරු) රාජ්‍ය සේවයේ තිබේ.

මේ වැඩෙන් වහාම සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් පසුපස ගොස් තනතුරු ලබා ගැනීම දිරි ගැන්වීමයි. එහි ප්‍රතිඑලය නිලධාරීන් කැමැත්තෙන් දේශපාලනඥයින්ගේ උවමනා එපාකම් ඉටු කිරීම (හා ආණ්ඩුවෙනසකින් පසුව හිරේ විලංගුවේ වැටීම) යි. එනයින් මෙය දේශපාලන උපක්‍රමයකි.

පළමු ශ්‍රේණියෙන් විශේෂ ශ්‍රේණියට යාමේ දී නිර්බාධක උසස්වීම් නැත.  විශේෂ ශ්‍රේණියට සුදුකම් ලබන නමුත් තනතුරු පුරප්පාඩුවක් සිදුවන තුරු එම තනතුරේ සිටින්නට පරිපාලන (සහ සමාන්ත ශ්‍රේණි)  නිලධාරීන්ට සිදු වේ.  දැන් මේ විශේෂ ශ්‍රේණියේ අය 55 න් 60 නොව 65 දක්වාම විශ්‍රාම යන්නේ නැත. ඉතින් අලුත් තනතුරු ද නැත. දැනට සිටිින විශේෂ ශ්‍රේණියේ 387 දෙනාට ද, අලුතෙන් එක්වන 13 දෙනාට ද එහි උපරිම වාසිය ලැබේ.

දැන් පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ නිලධාරිනියකට ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරයක් ලැබී ඇත.  නමුත්, එම තනතුරු නොලැබූණු 1991 කණ්ඩායමේ නිලධාරීන් ද වේ. ඔවුන්ට ‘අබ සරණ‘ ය.  2003 පරිපාලන සේවා කණ්ඩයම, උතුරු නැගෙනහිර කණ්ඩායම, 2006 සහ 2007 කණ්ඩායම්වලට උසස්වීමක් හිතාගන්නට හෝ නොහැකි වනු ඇත.  දැනට මේ පීඩාවේ දොරකඩ 650 කට වඩා සිටී.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කැමති ඕනෑම අයෙකු පත් කළ හැකිය.  එම නිසා මේ අර්බුදය අමාත්‍යාංශ ලේකම් ධූරයන්ට බලපාන්නේ නැත. නමුත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු ගේ අපේක්ෂා භංගත්වය මතුවන්නේ මෙතැන දී ය.

අද නීතිය අනුව 55 න් යායුතුය.  60 දී අනිවාර්යෙන්ම විශ්‍රම යා යුතුය.  ‘එක රටක් – එක නීතියක්‘ රටක අවශ්‍ය නැති නිසා, විශ්‍රාම නීතියේ ද වෙනස් කම් කිහිපයකි.  වෛද්‍යවරුන් හා හෙදියන් 63 නි.  ඉංජිනේරුවන් 61 නි.  මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලීසියේ නිලධාරීන් 63 දක්වා තබා ගැනීමට මෑතක දී කැබිනට් පත්‍රිකාවක් දැම්මේය.  මේ අය වැය යෝජනාව එන නිසා එය එදා සම්මත වූවේ නැත.  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 65 න් ද, අභියාචනාධිකරණයේ විනිසුරන් 63 න් (ව්‍යවස්ථාව) ද,  මහාධිකරණ  විනිසුරන් 61 (අධිකරණ සේවා) ද විශ්‍රාම යයි. නමුත්, ඔම්බඩ්ස්මන්ට 70 දක්වා සිටිය හැකිය. හමුදා නිලධාරීන් 55 න් (ආරක්ෂක සේවා) යා යුතුය. කොමිෂන් නොලත් අය වසර 22 න් ද, කොමිෂන් ලත් නිලයන් වසර 20 කින් ද, ඉහළම අය (මේජර්) තනතුරු නැති විට ද, විශ්‍රාම යා යුතුය.

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයට 65 දක්වා සිටිය හැකිය.  නීතිපති ධූරයට, (සී.ආර්. ද සිල්වාට අදාළව)  60 න් පසුව සේවය කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමක් සරත් එන් සිල්වා සිදු කර ඇත. ලොකුම අවුල අතිවන අනෙක් තැන පොලිස්පති ය. ඔහු 60 දක්වා ඉවත් කළ නොහැකි බවත් 60 න් යා යුතු බවත් පූජිත ජයසුන්දර ඔප්පු කර ඇත.  කොස්තාපල්/සාජන් 65 දක්වා හොරු අල්ලන්න, බූරුවා පිටි වටලන්න, ට්‍රැෆික් රස්සාව කළ යුතුය. අවශ්‍ය නම්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පොලිස්පති නොවී, 65 න් යා හැකිය. පොලිස්පති වී 60 න් ද යා හැකිය.

20 සංශෝධනයෙන් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනාරාල් ගේ සීමාව ද වසර 65 සිට 60 ට අඩු කළේය. වත්මන් තනතුර දරණ අපේ මිත්‍ර සමන් රත්නායකට දැම්ම ලේකම් ධූරයක් හදාගෙන 65 වෙනකල් වැඩ කළ හැකිය. කොමසාරිස් ජෙනරාල් ධූරය 60 දක්වා දරා විශ්‍රාම යා හැකිය. 60 න් කොමසාරිස් ධුරයෙන් ඉවත් ව අතිරේක ලේකම් තනතුරකට පත්වී 65 න් විශ්‍රාම යන සංකීර්ණයක් ද නිර්මාණය වන්නේය.   

හමුදාවේ මේජර් ජෙනරාල් (සහ සමාන්තර ශ්‍රේණි) මාණ්ඩලික ප්‍රධානී 55 න් විශ්‍රාම යා යුතුය.  ඔවුන්ගේ සිවිල් නිලධාරීන් ට 65 වන තුරු සිටිය හැකිය.  ඔවුන්ටත් 57 – 60 දක්වා හෝ දීර්ඝයක් දෙන්නේ ද? නැද්ද? ප්‍රතිපත්ති තීරණයකි.

මේ උදාහරණ දැක්වීමෙන් අදහස් කළේ, අය වැය යෝජනාවට අනුව ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක්, අධිකරණ සේවා පනත් සංශෝධනයක්, ආරක්ෂක හමුදා (යුධ, නාවික, ගුවන්) සංශෝධන සිදු විය යුතු බවය. අය වැය යෝජනාව 65 සිට 63 ට රිවස් කිරීමට ද, අවස්ථාව නැතිවා නොවේ.

රාජ්‍ය නිලධාරීන් බහුතරයක් දැන් සමාජ මාධ්‍ය යේ සටහනක් තියන්නේ හෝ නැත. මේ සිමිත ගෘෘප්වල මිස විවෘතව කතා කරන්නේම නැත. මට වඩා හොදින් දන්නා රාජ්‍ය නිලධාරීන් කිසිවෙකු කථා කරන්නේ නැත. අය වැය යෝජනාව ඇසූ විගස එහි බැරැරුම්කම නිසා ෆෙස් බුකියේ සටහන් කළෙමි.  මේ ප්‍රශ්නය ගැන උඩින් පල්ලෙන් අල්ලාගෙන පෝසට් පළවේ. මගේ සටහන ශෙයා වූ තැනක සුනිල් අශ්රොෆ් තැබූ සටහනින් හැගෙන්නේ ද, මෙයින් පරිපාලන ( හා සමාන්තර)  සේවයේ පළමු හා දෙවන ශ්‍රේණියේ  කිසිවෙකුට අගතියක් නොවන බවය.

රාජ්‍ය සේවයේ ‘සුනිල් අශ්රෝෆ් ක්‍රමය‘ උසස්වීම්, සේවා දිගු ලබාගන්නා පිටුපස නව යෝජනාව ගෙඩිය පිටින්ම ශෝක් ය. දැනට විශ්‍රාම ගොස් සිටින 65 ට අඩු පිරිසට නැවත සේවයට එක්වීමට බැරිනම්, කොන්ත්‍රාත් පදනමින් රාජ්‍ය සේවයට එකතු වීමට ඉඩ දෙන්නේ නම් ශෝක් ය. 

එයට ශක්තිමත් පදනම් තර්කයක් අවශ්‍යය. 1970 පරිපාලන සේවයට පැමිණි දයානන්ද දිශානායක විශ්‍රාම ගියේ වයස 69 දී නඩුවක් ද දමා ආතතිය ද හදාගෙන ය.  යාපනයේ දිසාපති ගනේෂ්  18 න් රාජ්‍ය සේවයට පැමිණ වැඩිම කලක් සිටි අයෙකි.  18 න් මධ්‍ය ලිපිකාර සේවයට පැමිණ ලැයිස්තුව දිගය. ලයනල් ප්‍රනාන්දු, ඔස්ටින් ප්‍රනාන්දු, මා මිත්‍ර මැතිවරණ කොමිසමේ මැදවැව 70 දී ත් වැඩ කළ උදවියයි.  විශ්‍රාම වැටුප් විශේෂඥ තිලකරත්න, මැතිවරණ විශේෂඥයින් මහින්ද දේශප්‍රිය ආදී වශයෙන් ලැයිස්තුව දිග ය.

තවත් පැත්තක් ඇත.  අද ( නොවැ. 17) දිනමිණ ට අනුව 1984 කණ්ඩායමේ හිටියා කියන සන්ධ්‍යා අඹන්වල තවමත් ඌවේ අධ්‍යාපන ලේකම් පුටුවේය. තවත් අවුරුදු 5 ක් බුදු අම්මෝ යැයි මට කියවුණි. ඒ කණ්ඩායමේ වසන්ත දේශප්‍රිය කුඹුරු කොටන බව බුකියේ දකිමි.

නුවරඑළිය හිටපු දිසාපති කුමාරසිරි විශ්‍රාම ලබා බසයෙන් ගෙදර ගිය හැටි මම දිවයිනට ලිව්වෙමි.  ජනාධිපතිතුමා ඔහුට සේවා දිගුවක් දුන්නේය. සේවා දිගු ලබාදීම මම දිරි ගන්වා ඇත.  කුමාරසිරි සහ නිමල් අබේසිරි (කවි) විශ්වවිද්‍යාලයේ එක කාමරයේ ගජයන්ය.   නිමල් අබේසිරි ට බදුල්ලේ ග්‍රාම නිලධාරි වසම් 24 ක් සහන ප්‍රශ්නය කලමනාකරණය කර ගත නොහැකි වුනේ ඔහුගේ දැඩි රෝගී තත්වය නිසා පමණක් නොව, අලුතෙන් පත් කළ අතිරේක දිසාපති ට වැඩ බාර ගන්නට ඉඩ නොදුන් නිසාය. 65 විශ්‍රාම යෝජනාව මා ඉදිරිපිට මවන්නේ උමාඔය නිසා නිවස අහිමි වූ ‘සුදු අම්මා‘ ගේ මුහුණය.  ඇති තරම් අරමුදල් තිබිය දී, අඟුපිලක වැටී මිය යන තුරුම ඉඩමක්, ගෙයක්, තබා රු. 15.000 ක නිවාස කුලිය ගෙවන්නට අසමත් වූ විශ්‍රාමික සේවා දිගු ලැබූ රාජ්‍ය සේවය (දිසාපති/උමාඔය සහන අධ්‍යක්ෂ) යි.      

මේ සංශෝධනයේ අරමුණ කුමක්ද?

ජනගහනය වයස්ගත වන විට එයට ලෝක නිර්ණායක අනුව හැඩගැසීමට ගැන ප්‍රශ්ණයක් නැත. ජනගහන පිරමිඩයේ උඩු යටිකුරුවීමෙන් පැන නගින තත්වය  ගැන රාජ්‍ය සේවය, ලංකා ආණ්ඩුව දැන් වසර 20 ක් මොකවත් කළේ නැත.

2021 ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප් ලැබූ සංඛ්‍යාව 667,394 කි.  වසරකට 30,000 ක් පමණ විශ්‍රාම ගනී.  මේ තීරණය ගෙඩිය පිටින් ක්‍රියාත්මක වන්නේ නම්, රාජ්‍ය සේවයෙන් 12%කට විශ්‍රාම වැටුප් ගෙවීම වසර 5 කින් කල් දමා ගත හැකිය. වෛද්‍යවරුන් හා හෙදියන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කිරීම නිසා පරිතෝෂික මගින් ඉතිරි වූ මුදල මිලියන 800 කි.  සම්පූර්ණ ඉතිරිය මිලියන 1000 ක් යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගණන් බලා තිබුණි.  රජයේ විශ්‍රාම වයස අවු. 63 දක්වා වැඩි කළ විට රු. මිලියන 19,000 ක ඉතිරියක් සිදු වේ.  65 දක්වා වැඩි කිරීම ගැන එයින් දළ අදහසක් ලැබිය හැකිය. දැන් පුද්ගලික අංශයට ද මේ අනුව හැඩ ගැසීමට සිදුවේ.  සේවක අර්ථසාධක, සේවක භාරකාර අරමුදල් වලට මෙය දැන් ‘කබ්රාල් සිස්ටම්‘ බිස්නල් එකක් කළ හැකිය. (විස්තර සඳහා මහ බැංකු විගණන වාර්තා කියවන්න)

බැසිල් රාජපක්ෂ දේශපාලන ගේම් මේ සංශෝධනයේ ඇත. මෙයට අදාල චක්‍ර ලේඛනයේ මොනවා ඒ දැයි කියන්නට තවම කල් වැඩිය. බොහෝ විට මෙය අනිවාර්ය විශ්‍රාම වයස නොව, ඉල්ලා සේවය කිරීමක් ද විය හැකිය. සේවා දිගුව ලබාගන්නට දේශපාලනඥයින් පස්සේ යැවීම බොහෝ විට සිදුවිය හැකිය. ඇතිවිය හැකි තත්වය අප බොහෝ දෙනා දන්නා හෙට්ටිආරච්චි හෝ රත්නසිරි ලේකම්තුමන්ලා ඇසුරෙන් පරිකල්පනය කළ හැකිය.

අන්තර් කාලීන සහනය කුමක් ද?

2003, 2006, 2007 කණ්ඩායම්වල (සමාන්තර සේවා ද ඇතුළුව) නිලධාරීන්ගේ වෘත්තීය බලාපොරොත්තු දැන් බිඳවැටී ඇත.  පිරිසක් විදේශගතවීමට සැලසුම් කරන බව මම දනිමි. ඒ අතර අදම අමාත්‍යාංශ ලේකම්වරුන්,  දිසාපතිවරුන් වන්නට සුදුසු අති දක්ෂයෝ වෙති.  

විශ්‍රාම වයස 65 කිරීම නිසා අගතියට පත් වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිළධාරීන් ට සහන සැලසීම අනිවාර්යයෙන්ම වහා සිදු කළ යුතුය.  විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලබන දිනට අනිකුත් සුදුසුකම් සපුරා ඇත්නම් පුරප්පාඩු නොසලකා විශේෂ ශ්‍රේණියට පත් කිරීම අය වැය සම්මත වූ පසුව නික්තුවන චක්‍ර ලේඛනය මගින්ම සිදු කළ යුතුය. ඔවුන්ට නියමිත වැටුප් පරිමාණයේ (SL 3) පිහිටුවීම ද වහා කළ යුතුය.  සාමාන්‍ය යෙන් සිදුවන්නේ 2022 ජනවාරි 1 දිනට බල පැවැත්වෙන පරිදි අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමය. හැන්ද ඇති නිසා 2021 දෙසැම්බර් 1 දිනටම මෙය කර ගැනීම ද සහනයකි.  

දැනට තිබෙන තනතුරු තරඟකාරී ක්‍රමයට ( performance base) ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. එවිට දක්ෂතා නොමැති අයට,  සැනසිල්ලේ පළමු ශ්‍රේණියේම තවදුරටත් සිටිය හැකිය. 

අය වැය යෝජනාවල නැතත් දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවය ‘සිංහල පරිපාලන සේවය‘ බවට ක්‍රමිකව පත්වෙමින් ඇත.  උතුරු පලාතේ ප්‍රධාන ලේකම් තනතුරට සිංහල ජාතිකයෙකු පත් කිරීම සහ එහි දැනටමත් සිටින උතුරේ උපතින් දෙමළ ජාතික විහේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ලේඛනය මෙහි කමෙන්ට් එකක් ලෙස ඇතුලත් කරමි. දැනට මුස්ලිම් දිසාපතිවරයෙකු නැත.  එය තවදුරටත් දුරස්ථ අත්දැකීමක් බවට 65 වයස් සීමාව විසින් පත් කරනු ඇත. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ උඩ පහලට යන විට පරිපාලන (හෝ සමාන්තර සේවා) හි දෙමළ මුස්ලිම් ජාතිකයෙකු වීම කුමන නම් පාපයක් දැයි හැඟීමක් ඇති කර ගත හැක.

නිද්‍රාගත රාජ්‍ය සේවයේ බහුතරයක් පශ්චාත්තාපයෙන් මුදවා සංවාදයක් ඇති කරන තැනකට ගෙනයන්නට ඇති කැමැත්ත නිසාම මෙය ලිව්වෙමි.  ප්‍රසිද්ධියේ ලියන්නට/කියන්නට බය උදවියට මෙය තමන්ගේ ගෘෘප්වල දමා ගුණ දොස් විමසිය හැකිය.  ඒවා මැසේජ් එකකින් වත් මටත් කියවන්නට ලැබෙනවා නම් හොඳය.

විශ්‍රාම ගැන්වීම 65 කිරීම තනිකරම පොලිටිකල් ගේමකි. එහි ආර්ථික ප්‍රතිලාභයක් රජයට ඇත. පොලිටිකල් ගේමක් වෘත්තීය සටහනකින් පරාජය කළ හැකි බව ගුරු විදුහල්පතිවරු පෙන්වා ඇත.  65 වෙනුවට 60 නම් හොඳටම ඇතිය.  කිසි ලෙසකින් හෝ 62 ට වැඩිය නම් දීර්ඝ නොවනවා නම් කදිමය.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *