ගොවි උද්ඝෝෂණ හමුවේ මෝදි දණ නමයි – මතභේදාත්මක ගොවි නීති ඉවත් කරයි

මතභේදයට තුඩු දී ඇති නීති තුනක් ඉවත් කරන ලෙස ගොවීන් ඉල්ලා සිටියේය

වසරක විරෝධතාවලින් පසු මතභේදාත්මක ගොවි නීති තුනක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවලංගු කරන බව නිවේදනය කළේය. ගොවීන් දහස් ගණනක් පසුගිය නොවැම්බරයේ සිට දිල්ලි දේශසීමාවේ කඳවුරු බැඳ සිටි අතර විශාල ගනනක් වූ ගොවියෝ අධික රස්නය, සීතල සහ කොවිඩ් වලින් මිය ගියහ.

ගොවීන් පවසන්නේ මෙම නීති මගින් ගොවිතැනට පුද්ගලික සමාගම්වලට ඇතුළු වීමට ඉඩ සැලසෙන අතර එමඟින් ඔවුන්ගේ ආදායමට බලපෑම් සිදුවන බවයි.

සිකුරාදා නිකුත්කළ මවිත කරවන සුළු නිවේදනය ප්‍රධාන හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නේ පසුගිය මාස කිහිපය තුළ ගොවීන් සමඟ කතා කිරීමට ආන්ඩුව කිසිදු මුලපිරීමක් ගෙන නොතිබූ බැවිනි.

මෝදි අගමැතිවරයාගේ ඇමතිවරු දැඩි ලෙස අවධාරනය කර සිටියේ මෙම නව නීති ගොවීන්ට යහපතක් බවත් ඒවා ආපසු හැරවීමක් ගැන කතා කිරීම සුදුසු නොමැති බවත්ය.

මෙය විශාල ජයග්‍රහණයක් ලෙස ගොවි සංගම් දකියි. නමුත් විශේෂඥයින් පවසන්නේ ගොවීන්ගේ විශාල පදනමක් ඇති පන්ජාබ් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණ මෙම තීරණයට එළබීමට බලකරන්නට ඇති බවයි.

සිකුරාදා උදෑසන නිවේදනය නිකුත් වූයේ පන්ජාබයේ ප්‍රමුඛ ප්‍රජාව වන සීක් ජාතිකයන් සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානක්ගේ උපන් දිනය සමරන දිනය.

ජාතික රූපවාහිනිය අමතමින් මෝදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ගොවිපල නීති කුඩා ගොවීන් ශක්තිමත් කිරීමට අදහස් කළ බවයි. “නමුත් ගොවීන්ට එහි ඇති ප්‍රතිලාභ පැහැදිලි කිරීමට කිහිපවතාවක් උත්සාහ කළද අපි අසාර්ථක වී ඇත. ආගමික ශාස්තෘවරයාගේ උපන්දිනය නිමිත්තෙන් රජය ගොවි නීති තුන ඉවත් කිරීමට තීරණය කර ඇත,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරය කුමක්ද?

වඩාත් ප්‍රමුඛ පෙළේ ගොවි නායකයෙකු වන රාකේෂ් ටිකයිට් කියා සිටියේ ඔවුන් තම විරෝධතා ව්‍යාපාරය නවත්වන්නේ පාර්ලිමේන්තුවේ ශීත සැසියේදී රජය නීති ඉවත් කළ පසුව බවයි.

තවත් ගොවි නායකයෙකු පැවසුවේ තම විරෝධතාව අවසන් කිරීමට නම් තම භෝග සඳහා සහතික මිල සම්බන්ධයෙන් රජයෙන් අමතර පොරොන්දු අවශ්‍ය බවයි.

විරුද්ධ පක්ෂ මෙම තීරණය පැසසුමට ලක් කළ අතර කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කියා සිටියේ නීති ඉවත් කිරීම අයුක්තියට එරෙහි ජයග්‍රහණයක් බවයි.

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් පවසන්නේ නීති අවලංගු කිරීමේ තීරණය ඡන්ද විමසීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම තීරණය ගනු ලැබුවේ විරෝධතාව අවසන් කිරීමට බවත්ය. පසුව වෙනත් ආකාරයකින් නීති ගෙන ඒමේ සැලසුමක් තිබේදැයි පක්ෂය පවසා නැත.

මතභේදයට තුඩු දී ඇති ගොවිපල නීති එකවරම අවලංගු කිරීමට නරේන්ද්‍ර මෝඩි ගත් තීරණය උපායමාර්ගික හා දේශපාලන පියවරක් වන අතර ආන්ඩුවේ කඩිමුඩියේ සහ ඉහළ හස්තයකින් ගනුලැබූ තීරණ ප්‍රමාද වී හෝ පිළිගැනීමකි.

මෝදි අගමැතිවරයාට සැබෑ අභියෝගයක් ඇතිකරමින් මෙම නීති පන්ජාබ් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල පෙර නොවූ විරූ විරෝධතා ගිනි කුණාටුවක් මෙන් ඇවිලී ගොස් ඇත. එම විරෝධතා සීක් බහුතරයක් වෙසෙන පන්ජාබ්හි ගොවීන් සහ සිවිල් සමාජය බලමුලු ගන්වා ලබන වසරේ මුලදී ප්‍රධාන මැතිවරණයක් පැවැත්වෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශ දක්වා ව්‍යාප්ත විය.

එවැනි ප්‍රහාරයක් අපේක්ෂා නොකළ භාරතීය ජනතා පක්ෂය, සීක්වරුන් සන්සුන් කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී. මෙම මස මුලදී එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් වැඩි කොටසක් කැප වූයේ ප්‍රජාවගේ හැඟීම් සමනය කිරීම සඳහා ය: ගොවීන් ගේ අයවැය සහ බෝග මිල වැඩි කිරීම, පකිස්ථානයේ පිහිටි සීක් ආගමේ පූජනීය සිද්ධස්ථානයක් වෙත ඓතිහාසික මාර්ගය නැවත විවෘත කිරීම, 1984 දී දිල්ලියේ දී සිදු වූ සීක් විරෝදී කැරලිවලට සම්බන්ධ වූ වැරදි කරුවන්ට දඬුවම් කිරීම සඳහා නව පරීක්ෂණයක් ආරම්භ කිරීම.

නීති සම්බන්ධයෙන් සීක් ප්‍රජාවගේ විරසකවීමේ වර්ධනය ගැන රජය පැහැදිලිවම කලබලයට පත්වෙමින් සිටියේය. ඒ 1980 ගණන්වල ප්‍රචණ්ඩ බෙදුම්වාදී ව්‍යාපාරයක් ප්‍රජාවගේ සමාන විරසකයක් මගින් පෝෂණය වී තිවු අතර මූලෝපායික දේශසීමා ප්‍රාන්තයක් වන පන්ජාබ්හි ඉතිහාසය දරුණු පාඩම් උගන්වා ඇති බැවිනි.

මෙම නව නීති අවලංගු කිරීම මගින් මෝදි අගමැතිවරයා බලාපොරොත්තු වන්නේ පොදුවේ ගොවීන්ගේ සහ විශේෂයෙන්ම සීක් ජාතිකයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමටය. එය මැතිවරණවලදී භාරතීය ජනතා පක්ෂයට ඇති අවස්ථා ද ඉහළ නංවනු ඇත.

ප්‍රතිසංස්කරණවලට සහය දුන් අය සම්බන්ධයෙන් ගත් කල, එය යහපත් ආර්ථික විද්‍යා තීරණ බොහෝ විට දුප්පත් දේශපාලන තීරණ බවට නැවතත් පෙන්නුම් කරන හොඳ පාඩමකි.

අවලංගු කිරීමට හේතු වූයේ කුමක්ද?

ගොවි සංගම් 40 කින් පමණ සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් වන සංයුක්ත කිසාන් මෝර්චා (SKM) ඔවුන්ගේ විරෝධතාව අවසන් කරන ලෙස ආන්ඩුව ඔවුන්ගෙන් කරන ලද ආයාචනා නොතකා එම සංගම් පසුබැසීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ගොවීන් දැඩි ශීත සහ ගිම්හාන මාසවලදී සහ මාරාන්තික කොවිඩ් රැල්ලේදී පවා දිල්ලි වෙත ඇති මාර්ග අවහිර කළහ. ඔවුන් රට පුරා වැඩ වර්ජන කරන ලෙසට ඉල්ලා සිටි අතර විරෝධතා කරුවන් විශාල ගනනක් සීතල, අධික රස්නය සහ කොවිඩ් හේතුවෙන් මිය ගියහ.

රජය මුලදී ඔවුන් සමඟ සාකච්ඡ පැවැත්වූ වූ අතර එහිදී රජය වසර දෙකක් සඳහා නීති අත්හිටුවීමට ඉදිරිපත් විය. නමුත් ගොවීන් රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බලධාරීහු කිසිත් නොකර බලා සිටීමේ න්‍යාය අනුගමනය කිරීමට වැඩි කැමැත්තක් දැක්වූහ. නමුත් පසුගිය මාස කිහිපය තුළ කරුණු දෙකක් වෙනස් විය.

පළමුව, ෆෙඩරල් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයා ඔක්තෝම්බර් මස මුලදී උත්තර් ප්‍රදේශ් හි ලකිම්පූර් හි විරෝධතාවයේ යෙදී සිටි ගොවීන් පිරිසක් වෙතට තම මෝටර් රථය පැදවූ බව කියනු ලැබේ. ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.රට පුරා මහත් මතබේදයක් ඇති කළ මෙම සිද්ධියෙන් ගොවීන් හතර දෙනෙකු සහ මාධ්‍යවේදියෙකු ඇතුළු අට දෙනෙකු මිය ගිය අතර රජයට එක පියවරක් පසුපසට තැබිමට සිදු විය.

දෙවනුව, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ඉදිරි මැතිවරණවලදී පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ද් ප්‍රාන්තවල ප්‍රබල ප්‍රාදේශීය පක්ෂවලට එරෙහිව තරඟ වදින අතර කෝපයට පත් ගොවීන්ගේ තීරණාත්මක ඡන්ද BJP ජයග්‍රහණය අත්හිටුවීමට අවස්ථාව ඇති බව රජය දනී.

නීති ඉදිරිපත් කළේ කුමක්ද?

එකට ගත් විට, දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීන් තරගකාරී වෙළඳපොලෙන් ආරක්ෂා කරන නීති ඇත. එමගින් ඔවුන් ගොවි නිෂ්පාදන විකිණීම, මිල නියම කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති ලිහිල් කළහ.

විශාලතම වෙනස්කම් වලින් එකක් වූයේ ගොවීන්ට තම නිෂ්පාදන සෘජුවම වෙළඳපල මිලට, කෘෂිකාර්මික ව්‍යාපාර, සුපිරි වෙළඳසැල් දාම සහ අන්තර්ජාල සිල්ලර වෙළෙන්දන්ට, වැනි පුද්ගලික අංශයට විකිණීමට අවසර දීමයි. බොහෝ ඉන්දියානු ගොවීන් දැනට තම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් රජය විසින් පාලනය කරන ලද තොග වෙලඳපොලවල හෝ මැන්ඩි ලෙස හදුන්වන විශාල කඩමණ්ඩි වල සහතික කළ අවම මිලට (අවම ආධාරක මිල හෝ MSP ලෙසද හැඳින්වේ) අලෙවි කරයි.

ගොවීන් දිල්ලිය අනෙකුත් ප්‍රාන්තවලට සම්බන්ධ කරන අධිවේගී මාර්ගවල විරෝධතාවයේ නිරත වූහ

රජයේ බලයලත් නියෝජිතයින්ට පමණක් කලින් කළ හැකි අනාගත විකුණුම් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීමට පුද්ගලික ගැනුම්කරුවන්ට ද ඔවුහු ඉඩ දුන්හ. එයට අමතරව ගොවීන් නිශ්චිත ගැණුම්කරුවෙකුගේ ඉල්ලුමට සරිලන පරිදි තම නිෂ්පාදනය සකස් කර ගැනීමට හැකිවන පරිදි කොන්ත්‍රාත් ගොවිතැන සඳහා නීති රීති ඔවුන් දක්වා ඇත.

ප්‍රතිසංස්කරණ, ගොවීන්ට මෙම ඊනියා “මණ්ඩි ක්‍රමය” ට පිටින් විකිණීමේ විකල්පය ලබා දුන්නේය. ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවුනත් අවම වශයෙන් එය කඩදාසි මතවත් ලබාදී ඇත, එහෙත් විරෝධතාකරුවන් කියා සිටියේ මෙම නීති ගොවීන් දුර්වල කරන අතර පුද්ගලික සමාගම්වලට ඔවුන්ගේ ඉරණම තීරණය කිරීමට ඉඩ සලසන බවයි. MSP බොහෝ ගොවීන් ජිවත්කරවන බවත් එය නොමැතිව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජීවත් වීමට අරගල කරන බවත් ඔවුහු පැවසූහ.

කෘෂිකාර්මික ඉඩම් විකිණීම සහ භාවිතය පිළිබඳ ඉන්දියාවේ දැඩි නීති සහ ඉහළ සහනාධාර දශක ගණනාවක් තිස්සේ ගොවීන් වෙළඳපල බලවේගවලින් ආරක්ෂා කර ඇති අතර එය වෙනස් කිරීමට අවශ්‍ය නොවන බව ඔවුහු පැවසූහ.

නමුත් රජය තර්ක කළේ කුඩා ගොවීන්ට පවා ගොවිතැන ලාභදායී කිරීමට කාලය පැමිණ ඇති බවත් නව නීති මගින් එය සාක්ෂාත් කර ගැනීමට හැකි බවත්ය.

බී.බී.සී

Recommended For You

About the Author: Thusal