ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ජනපති සහ අගමැති හමුවෙයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතා අද (19) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන” පාපන්දු තරගාවලියේ අද දින පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට  ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා දිවයිනට පැමිණ සිටි.

ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඉන්ෆැන්ටිනෝ මහතා ජනාධිපතිවරයා සමග සඳහන් කළේය.

පාසල් ළමුන් අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීමෙන් ඔවුන් මනා ශික්ෂණයෙන්, කණ්ඩායම් හැඟීමෙන් සහ විනයගරුක බවින් ගොඩනැගිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පාපන්දු අඩු පහසුකම් සහිත ක්‍රීඩාවකි. එම නිසා ග්‍රාමීය මට්ටමින් ඉතා පහසුවෙන් එය ප්‍රචලිත කළ හැකිය. ඒ සඳහා තම සම්මේලනයේ සහාය ලබා දෙන බවත්, කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබා දෙන බවත් ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරග කිහිපයක් ජයගැනීමට හැකිවීම ඇගයීමට ලක් කළ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා, ක්‍රීඩා කටයුතු ඉහළ නැංවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගන්නා උත්සාහය ඇගයීමට ලක් කළේය. ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස මෙරටට පැමිණීම පිළිබඳ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගිආනි මහතා ඇතුළු නියෝජිත පිරිසට සිය ප්‍රශංසාව පළ කළහ.

Recommended For You

About the Author: Thusal