COVID-19: ‘ආණ්ඩුවේ වැඩ අවසන් – දැන් ජනතාවගේ වාරේ‘

කොවිඩ් 19 මර්දනයට රජය උපරිමයෙන් පියවර ගෙන ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ඉතිරිය කළ යුත්තේ ජනතාව බවයි.

අද (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ වසංගතය පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන් එන්නත් ලබාදීමේ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට රජය සහ සෞඛ්‍ය බලධාරීන් උනන්දු වන බවයි.

“මුළු ජනගහනයෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් කිරීමට හැකි වී ඇති ලෝකයේ රටවල් තුනක් හෝ හතරක් අතර ශ්‍රී ලංකාව ද සිටින අතර එය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්” යැයි ඔහු පෙන්වා දුන්නේය.

“අපි බූස්ටර මාත්‍රාව නිකුත් කිරීම ද ආරම්භ කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යවරයා එන්නත් ලබා දීමෙන් ලබාගත් සාර්ථකත්වය පවත්වා ගැනීම සඳහා ජනතා සහයෝගයේ වැදගත්කම අවධාරණය කළේය.

“අනවශ්‍ය සංචලනය අවම කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වෛරසය තුරන් කිරීමේ ප්‍රයත්නයේදී සාමාන්‍ය ජනතාව කැපවීම් සහ කැපකිරීම් කළ යුතුයි. මිනිසුන්ගේ නොසැලකිලිමත් හැසිරීම් හේතුවෙන් ජර්මනිය, රුසියාව සහ ප්‍රංශය වැනි රටවල් කිහිපයකට අගුලු දැමීමට බල කෙරී තිබෙනවා” ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහජන රැස්වීම්වලින් වැළකී සෞඛ්‍ය පිළිවෙත් දැඩිව පිළිපදින ලෙසයි.

Recommended For You

About the Author: Thusal