නැනෝ පොහොර ආනයන චෝදනා ගැන CID පරීක්ෂණයක් කරනවා – ශෂීන්ද්‍ර රාජපක්ෂ

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේදී කිසියම් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නැනෝ දියර පොහොර ආනයනය කිරීම නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය සහ අධීක්‍ෂණය යටතේ සිදු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය තමන් පොහොර ගෙන්වීම පිටුපස වංචාවකට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත්, එම ක්‍රියාවලියට තමන් කිසිවිටකත් මැදිහත් නොවූ බවත් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත්ය.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ නැනෝ දියර පොහොර ආනයනය කර බෙදා හැරීමේ ක්‍රියාවලිය නියමිත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදු වූ බව ද ඔහු පැවසීය.

චීනයෙන් ආනයනය කළ ආන්දෝලනයට ලක් වූ කාබනික පොහොර තොගය ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත කැබිනට් අනුමැතිය මත නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආනයනය කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Recommended For You

About the Author: Thusal