රාවණා අඩවියේ ගොවියෝ හේනට යළි පණ දෙයි

  • හේන් වගාට ඉඩ දුන්නොත් වසවිස නැති ආහාර ඇති පදම් දෙන්නම්
  • හේන  නැති වුණාට පස්සේ තමයි මහ කැලේ ගස් ටික මොරටුවට ගියේ

යළි උපදින රාවනා පුරේ හේනේ අසිරිය

රාවණ අඩවියේ ලෙසින් අතීතයේ සිට හඳුන්වන ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙකේ  ලකේගල පෙනෙන මානයේ  බොහෝ ප්‍රදේශවල ජනතාව අතහැර දමාතිබු  හේන් වගාව මෙවර නැවත ආරම්භ කොට තිබේ.

පරම්පරා ගණනාවක් පුරා හේන් වගාවෙන් ජීවිත සරි කරගත් මෙම ජනතාව පසුගිය සමයේ හේන් වගාවට  සමුදී වෙනත් ආර්ථික බෝග වගා කිරීම්ට අවතීරණ වී සිටියේය.


තුඹ කරවිල ඵලගෙන ඇති අයුරු

රජය පසුගිය මාස වල රසායනික පොහොර තහනම සිදු කිරීමත් සමග ආර්ථික බෝග වන බෝංචි, අමුමිරිස්, රටකජු, ආදී වගා කළ ගොවීන් රසායනික පොහොර නොමැතිව නැවත වරක්  අතහැර දැමූ ලඳු කැලෑවල හේන් වගාව ආරම්භ කර තිබේ.‍ෙ

මේ වනවිට ලග්ගල සහ විල්ගමුව කලාප හේන් වගාවේ අසිරිය මැවෙන කාලය බවට පත්ව තිබේ. තුඹ කරවිල පැලවී  මල් ගෙඩි හටගන්නා කාලය, ඉපැරණි මිනිසුන් ආහාරයට ගත් කටුඅල, කිරිඅල, වැල්අල ආදී මහ පොළවේ ඉබේ පැළ වෙන වැල් වර්ග  දළුලන කාලය, කුරහන් ගස් යම් මට්ටමකින් පිණි වැටී දිලිසෙන කාලය මේ වන විට ආරම්භ වී තිබේ.

ලඳු කැලෑවල හේන් කරන තමන්ට බරපතළම ප්‍රශ්නයය බවට පත්ව ඇත්තේ අතීතයේ හේන්වලට නොතිබුණු කෘමිහානි, වල් හානිය විශාල වශයෙන් පැවතීම නිසා අතීතයේ වගා කළ තල, කුරහන්, අබ, බඩඉරිඟු, කව්පි, මෑ ආදී වගාවන් වලට වල්නාශක කෘමිනාශක යෙදීමට සිදු වීම් තිබීම බව ඔවුහු පවසති.

හේන් වගාව ආරම්භ කළ ද රසායනික බෙහෙත් ඉසින ටැංකිය කරේ එල්ලා ගෙන සිටීම සිදුවීම් කනගාටුවට කරුණක් බව විල්ගමුවේ හේන් ගොවියෝ පවසති. මෙම ජනතාවගේ එකම ඉල්ලීම් බවට පත්ව ඇත්තේ  දැනට තහනමේ දමා ඇති අක්කර ගණනාවකින් කොටසක් හෝ හේන් කරන ජනතාවට කන්නෙත් කන්නට මාරු වෙවී වගා කිරීම් සඳහා රජයේ අවසරය ලබා දිය යුතු බවය.

එවිට රටට වසවිස නැති ආහාර සහ දේශීය බිජ නිෂ්පාදනය මෙන්ම තම ප්‍රදේශයේ ජනතාවට වෙනත් විකල්ප රැකියා අවස්ථා බිහිවීම සහ වන අලින්ගෙන් සිදුවන හානිය අවම වන බව ඔවුහු පෙන්වා දෙති. කිසියම් සීමාවන්ට යටත්ව හෝ හේන් වගාවට යළි අවසර ලබා දෙන්නැයි ඔවුහු ජනපතිවරයාගෙන් සහ වනජීවී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

සිය හේන් වගාව ගැන අදහස් දැක්වූ  වෙහෙරගල යාය විල්ගමුව ප්‍රදේශයේ පදිංචි යූ. එන්. ශාන්ති  (55)  ගෙවිලිය මෙසේ පැවසුවාය.


යූ. එන්. ශාන්ති ගෙවිලිය

” අපේ අප්පලා මුත්තලා පවා හේන් ගොවියෝ. ඒ නිසා අපිත් දන්න කියන කාලේ ඉදන් හේන් වගාව කළා. කාල වකවානුව නම් ඒ තරම් මතකයක් නෑ. අසූ ගණන් වල ඉඳලා වෙන්ටෑ අපි හේන් කරන්නේ. පස්සේ පස්සේ හේන තහනමේ දැම්මහම අපිට සිද්ධ වුණා ගෙවල් වලට වෙලා ඉන්ඩ. ඒ කාලේ අපි ගොවිතැන් බත් ටිකක් කළා. හැබැයි  කඩයපන් හදලා තමයි ජීවත් වෙන්න වුණේ”

” එදා ගෙදර තිබුණු තල, කුරහන්, මෙනේරී, උඳු, මිරිස් ආදී සියල්ල අපට අහිමි වුණා. කඩයප්පන් ටිකක් හැදුවොත් ජීවත්වෙලා ඉන්න තරම්ට ම පත්වුණා. පස්සේ කොරෝනා වසංගතයේ එක්ක ඒකත් නැති වුණා. රසායනික බෙහෙත් දාලා බෝංචි වගේ ගොවිතැන් කළා. ඒත් අපිට එහෙම වියදම් කරලා ගොවිතැන් කරන්න සල්ලි  තියෙන්න එපැයි.   රසායනික පොහොර නැති වුණාට පස්සේ ආපහු අපි අත ඇරපු ලන්ද  හේනක් බවට පත් කෙරුවා. දැන් අපි වගා කරගෙන තියෙනවා. හැබැයි තණකොළ එනවා, කූඩිත්තෝ එනවා. ඒවාට බෙහෙත් ගහන්ඩ වෙයි කියලා තමයි මයෙ හිත කියන්නේ”

එම්. ජි. අනුරසිරි (60) ගොවි මහතා, “හේන් වගාව හරිම විනෝදයෙන් තමයි අපි  කරන්නේ, ඒ සතුට කොහෙන්වත් ගන්න බෑ. ඒ වගේම   අපේ ගමේ මිනිස්සුන්ගේ එකමුතුභාවය හේන තුළින් ක්‍රියාත්මක වෙනවා. මිනිසුන්ගේ හේන නැති වුණාට පස්සේ  එකමුතුභාවයට පවා හෙණ ගැහුවා. අපේකම නැති වුණා. කවිය, සීපදය නැති වුණා. මිනිස්සු තමන් ගැන විතරක් හිතන්න ගත්තා. මහ පොළොවේ හිටපු පණුවෝ  ඔක්කොම මැරුවා. අපට සිද්ධ වුණේ බෝංචි, රට වට්ටක්කා, මැලේසියන් කරවිල කොටු, රටකජු වගේ පිටරට බීජ ගෙන්ල්ලා තෙල් බෙහෙත් ගහලා ගොවිතැන් කරන්න. මොකද අපේ හෙන් තහනමේ දැම්මා”


කටු අල වැලක් පෙන්වන හේන් හොවියකු වන එම්.ජි. අනුරසිරි මහතා

“මම හිතන්නේ අර  පරංගියෝ  ඇවිල්ලා අපේ කොස් ගස් ටික, මී ගස් ටික වැව් ටික විනාස කරා වගේ ඉතා සූක්ෂම ලෙස අපේ ආණ්ඩු කොරාපු උන්දලාත් එවුන්ගේ අවශ්‍යතාවයන් වලට හේන් තහනම් කරා කැලෑව රැකගන්න කියලා. මේ හේන් වගාවෙන් මහ කැලෑවක් විනාස වෙන්නෙ නෑ. ඒක ඒ මිනිස්සු දන්නෙ නෑ. මේ සැරේ කොටන හේන අපි ඊළඟ සැරේ කොට්න්නේ නෑ, ඒක අතෑරලා තියෙනවා. ඒ හේනෙන් තමයි සිව්පාවා, අලියා ජීවත් වුණේ. එයාලා ගමට ආවෙ නෑ. එයාලට කන්න ඕන තරම් අපි වගාව අත ඇරලා එන්නේ. කුරහන් ඉපනැල්ල කනවා එයාලා ඇති වෙනකන්. මේක අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ”

 “මේ සැරේ අපි හේන් පටන් ගත්තා. හැබැයි ලස්ස ගණන් දීලා හේනටත් තෙල් ගහන්ඩ වෙලා. පුදුම දුකක් හිතෙන්නේ්‍ අපි කවදාවත් හේනේ තෙල් ටැංකිය එල්ලගෙන  කණු මදු අස්සෙ ගියේ නෑ. හැබැයි එක සතුටක් තියෙනවා, අපි අත්හැරලා  දාපු හේන්වල ආපහු කටුඅල කිරිඅල වැල් අල  පැළ වෙලා. ඒවා නවම් මහට තමයි ගළවන්නේ. මේවා  බුදු හාමුදුරුවොන්ට දානය සඳහා මහ පොළවෙන් ලැබුණු ආහාර කියලයි අපේ අප්පුච්චා අපට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි හරි ගෞරවයෙන් මේ කැලෑවේ හම්බ වෙන අල ටික අරගෙන බුද්ධ පූජාව හෙම කරලා තමයි අපි ආහාරයට ගන්නේ.”

“අපි එහෙම කියන කොට දැන් ඉන්න උන් අපිට හිනා වෙනවා. එත් ඉතින් කුඩා සන්දියේ අපේ අම්මලා අප්පුච්චලා කියලා දීපු දේවල් අහක දන්නා බැනේ. අපේ දරුවෝ නම් ටිකක් හරි අහනවා. එත් උන්ගේ හීන් එකාලා කියන්නේ ඕවා බොරු කියලා. උන්ට වගාව, හේන, පැල හරියන්නේ නැහැ. උන් කොරන්නේ යාළුවො එක්ක ඇවිල්ලා මේ පැල් කොටවල ලැඟලා කට ගොන්නක් වක්කොරලා බඩපණුවෝ මරලා යන එක”


අජිත් ගුණතිලක මහතා

තරුණ හේන් ගොවියෙකු වන අජිත් ගුණතිලක මහතා. ‘‘මම මේ සැරේ වගා කරලා  තියෙන්නේ මිරිස්, කුරක්කන්, අබ, බෝංචි, තුබකරවිල. බඩඉරිඟු වගේ දේවල්. තණකොළ  ඇවිල්ලා කුරහන් වපුරපු එකේ යාන් වෙලා. මෑ කරල්, දඹල වගේ බෝග ටික වහගෙන කුඩිත්තෝ විනාස කරනවා. පණුවෝ ඇවිල්ලා පුංචි බඩඉරිඟු ගස් වල පදිංචි වෙලා. මම තෙල් ටැංකිය කරේ දාගෙන විශාල මිල ගණන් වලට ගෙනාපු පණු බෙහෙත්, තණකොළ බෙහෙත් හේන්ට ගහනවා. මගේ බිරිඳ ඇවිල්ලා කණු මදු අස්සෙ තියෙන තනණකොළ ගලවනවා. එදා හේනේ තිබුණු සතුට අද නෑ. සත්තු  මැරෙනවා දකින්න අපි කැමති නෑ. පණුවෝ  වුණත් සත්තු. ඒ අය අපට හිරිහැර කරන අය නෙවෙයි. ඒත් දැන් කරන්න දෙයක් නෑ, තෙල් ටැංකිය  ගහගෙන  මරන්නේ හිතකින් නෙවෙයි කරන්න දෙයක් නැති කමට”

 “අපි රජයට යෝජනා කරන්නේ තහනමේ දාලා තියෙන හේන අඩුම තරමේ තෝරා ගත්තු ලග්ගල සහ විල්ගමුවේ මිනිස්සුන්ට විතරක්වත් තහනම අයින් කරලා දෙන්න කියලා. මේ මහ කැලේ අක්කර ගණන් පිට මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒත් අපේ ගොවියෝ මේ මහ  කැලේ කපන්නේ නෑ, විනාශ කරන්නෙ නෑ”

 “හේන  නැති වුණාට පස්සේ තමයි මහ කැලේ ගස් ටික මොරටුවට ගියේ. අපේ මිනිස්සු ඒවා රැකගෙන හිටියා.අපි නැති වුණාට පස්සේ තමයි කැලේ හිටපු ගෝනා, මුවා, මීමින්නා සත්තු ටික මහා ලොකු මිනිස්සු ඩිපෙන්ඩර් වලින් ඇවිල්ලා දඩයමේ යන්ඩ ගත්තේ. අපේ මිනිස්සු සතෙක් එලා ගත්තත් ඒක මුළු ගමම බෙදාගෙන කෑවේ. අදටත් ඒ අපේකම මිනිස්සු ළඟ තියෙනවා. හැබැයි නැවත මේ මිනිස්සුන්ට නීති පණවලා හරි හේන් වගාව කරන්න ඉඩ දුන්නොත් අපේ මිනිස්සු නිරෝගි මිනිස්සු බවට පත්වෙයි. වස විස කන්නේ නැතුව හේනෙන් කඩාගන්නා පලා කොළයක්, කුරහන් ටිකක් කන්න අපේ දරුවන්ටත් වාසනාව තියෙයි. ඒ විතරක්ද සංචාරක කර්මාන්තයට හේන යොදාගෙන කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ? එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ ඔය යන විදිහටම අපි ඇවිදින මළකඳන් බවට පත්වෙලා ඔහේ මැරිල යන එක් විතරයි.”

 “ලග්ගල, විල්ගමුවේ මිනිස්සු අටුකොටු පුරවාගෙන හේන්වල හිටපු මිනිස්සු. අගෝස්තුවේ කැලේට වැදුනහම කැලේ කපලා ගිනි තියලා, වාඩි හදලා, වැටවල් ගහලා දෙසැම්බර් වෙන වෙනකොට ඇට ටික බිම් දාලා වැටකඩුළු අහුරලා හේන්වලට වුණහම අපේ මිනිස්සු ආපහු ගෙවල්වලට ආවේ මාර්තු මාසේ අගට අවුරුදු කන්ඩ. එතකන් මිනිස්සු හේන්වල පුදුමාකාර සතුටු ජීවිතයක් ගත කළා. ඒ කාලේ වී, කුරහන්, මෙනේරී, උඳු, රටකජු, බඩඉරිඟු ආදී ගෙවල් වලට ආහාර පුරවලා තිබුණේ. ඒ කාලේ කාලය  නැවත අපේ දරුවන්ටත් හිමි කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අපට වෙන මොනවත් අවශ්‍ය නැහැ,  තහනමේ දාලා තියෙන හේන නැවත ලබා දෙන්න ඒ ඇති”


හර්ෂනී නදීකා  මහත්මිය

විල්ගමුව  ප්‍රදේශයේ පදිංචි තරුණ ගෙවිලියක වන හර්ෂනී නදීකා  මහත්මිය, “අපි  හේන් වගාව ආරම්භ කළා. එත්  ලොකුවට හේන ගැන දැනුම නැහැ. අම්මලා, කිරි අම්මලා, කිරි අත්තලා කියපු දේවල් අහල තියෙනවා. අපි පුංචි සංදියේ තමයි හේන් නවත්තලා තියෙන්නේ. අපිට හුරු වෙලා තිබුණේ ඔය කියන බඩඉරිඟු, බෝංචි වගේ දේවල්. පිටරටින් ගේන බීජ වලින් කුලියට මිනිස්සු අරන් වගා කරන එක තමයි අපි කළේ. ඒත් මේ සැරේ තමයි අපි පළවෙනි වතාවට හේන්ක් කරන්න හැදුවේ. අපේ මහත්තයයි මමයි හේනක අත්දැකීම් විඳින්න හරි ආසාවෙන් හිටියේ. ඒ නිසා අපේ ඥාති කට්ටියගේ ලන්ඳක් සුද්ද කරගෙන තමයි හේන හැදුවේ “

‘‘අපිටම කියලා හේන් කොටා ගෙන නැහැ. හැබැයි වගා කළා මේ වන විට ලස්සනට තියෙනවා. පුංචි දරුවො දෙන්නත් එක්ක පැලේ ඇවිල්ලා ඉන්න කොට පුදුමාකාර මානසික සතුටක් දැනෙනවා. හැබැයි වල් ගස් ඇවිල්ලා, පණුවෝ ඇවිල්ලා බෝග ටික විනාස කරන කොට නම් හරිම දුකයි‘

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal