‘දඹුල්ල ආර්ථිකේ අතරමැදි මාෆියාව ගැන‘ සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරන භාරය සහ ජනමාධ්‍ය මඟින් දිනපතා  ප්‍රචාරය වන එළවළු මිල ගණන් සම්පූර්ණයෙන් සත්‍ය හා නිවැරදි මිල ගණන් බවත් එහෙත් සංවිධානාත්මක අතරමැදියන් කණ්ඩායමක් එසේ මිල ගණන් ප්‍රසිද්ධ කරනවාට දැඩි විරෝධයක් දක්වමින් සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු. බී. ශාන්ත ඒකනායක මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන අතරමැදි ගැනුම්කරුවන් ඉතා සූක්ෂම ලෙස ආර්ථික මධ්‍යස්ථානයේම ඇතැම් වෙළඳසැල් කළමනාකරුවන් සම්බන්ධ කරගෙන පවතින මිලට වඩා වැඩි මිලක් බිල්වල සටහන් තබා ගෙන ගොස් ඔවුන්ගේ තොග ගැනුම්කරුවන්ට ලබා දී මුදල් උපයා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද වෙළඳ සංගම් සභාපතිවරයා හෙළිදරව් කළේය.

මෙම බරපතළ හේතුව නිසා එළවළු මිල යම් මට්ටමකින් ඉහළ ගිය අවස්ථාවන්හිදී පාරිභෝගික ජනතාවට දැඩි පීඩනයක් එල්ල වන බවත් මෙම සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස වෙළෙඳපොළ මිල ජනතාව අතරට  ප්‍රචාරණය වීම වැළැක්වීම සඳහා උපක්‍රමශීලී ලෙස සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බවද ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය

ආර්ථික මධ්‍යස්ථානය තුළ කිලෝ පහක් අවම වශයෙන් අලෙවි කිරීම සිදුවන බවත් ඇතැම් අවස්ථාවන්හිදී තවත් අතරමැදි කණ්ඩායම් ඒකරාශී වී  කිලෝ දෙක  තුන පමණ ප්‍රමාණයක් අලෙවි කිරීම සිදුකරන බවත් එමඟින් එළවළු මිල ආර්ථික මධ්‍යස්ථානය තුළම වැඩිවීම තවත් කරුණක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කිසිදු ආකාරයකින් ඉදිරියේ දී  ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු කිලෝ 5කට අඩු ප්‍රමාණයක් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එමෙන්ම බිල් වෙනස් කොට වැඩිපුර මිල යොදා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට සෑම වෙළඳසැලකම දැනුවත් කිරීම 29 දින සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ තොග බෙදාහරින ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ල නිසා මෙහි ඇතැම් කණ්ඩායම් සූක්ෂම ලෙස මිල ඉහළ දමා පිට පළාත්වලට රැගෙන ගොස් තොග වෙළදාම් කරන අයට අලෙවි කිරීමේ දී පාරිභෝගිකයාට දරා ගැනීමට නොහැකි මිලක්  පවතින බවත්  වෙළඳාම් කටයුතු සිදු කරන වෙළඳසසැල් වලට ගොවීන්ට මෙය තවත් අසාධාරණයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඒකනායක මහතා, ‘අතරමැදි  තැරැව්කරුවන්ගෙන් එළවළු තොග මිලදී ගන්නා මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව ගෙන් මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ එළවළු මිලදී ගන්නා අතරමැදි වෙළෙන්දා ගෙනැවිත් දෙන බිල්පතේ ඇති වෙළඳසැලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී එහි සදහන් වන මිල එදිනට වෙළදපළේ පැවතුණේ ද යන්න ඔබට අසා දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ එවැනි පියවරක් ගතහොත් අපට පහසුවෙන් මේ අතරමැදි තැරැව්වාකර මාෆියාව පරාජයට පත්කර ඔබට සහ පාරිභෝගිකයාට වාසිදායක වන ලෙස ව්‍යාපාර කටයුතු කළ හැකියි. ඒ නිසා මම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ අතරමැද සිටි අසීමාන්තික ලාභයක් උපයා ගන්නා මේ කූඨ අතරමැදියන් ගැන සැලකිල්ලක් දක්වන්න‘‘

සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal