ලොවම භීතියට පත්කළ ‘ඔමික්‍රෝන්’ ලංකාවටත් ඒවි ද?

දකුණු අප්‍රිකාවේන් පළමු වරට හමුවූ නව කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් ලොව පුරා දැඩි කතාබහට ලක්වෙමින් ඇත. ‘ඔමික්‍රෝන්’ (B.1.1.529) ලෙස නම්කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය බෝවීමේ වැඩි අවදානම හේතුවෙන් ලොව පුරා රටවල් සංචරණ සීමා සහ කොවිඩ් රෙගුලාසි දැඩිකර ඇති අතර, විදේශීය සංචාරකයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇතැම් රටවල් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න කියා සිටින්නේ නව ප්‍රභේදය මෙරටට අතුළුවීම වැළැක්විය නොහැකිබව යි. අප ඊට මුහුණු දීමට සූදානම් විය යුතුයැ යි ඇය පවසයි.

“මේ අලුත් ප්‍රභේදයට දැන් භාවිත කරන එන්නත්වලට ඇති ඵලදායකත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතිනවා. ඉතාමත් වේගයෙන් මෙම ප්‍රභේදය පැතිර යන නිසා, දැනටමත් තවත් රටවල් කිහිපයක මේක පැතිර තියෙන නිසා, ශ්‍රී ලංකාවටත් මේක පැතිර ඒමේ අවදානමක් පවතින බව තමා මේ අවස්ථාව වන විට අප දැනුවත් වෙලා සිටින්නේ. සාමාන්‍යය සෞඛ්‍ය පුරුදුවලට යොමුවීම අත්‍යාවශ්‍ය වෙනවා.”

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “මේ වෛරසය එන එක අපට වැළැක්විය නොහැකියි. කාලපරාසයක් ලැබිලා තියෙනවා ඒ සම්බන්ධයෙන් සූදානම් වීමට. ඉතින් අපි උපරිමයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. රෝහල් පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනේ. ජනතාව එන්නත්කරණයට යොමුවෙන්න ඕනේ,” යනුවෙනි.

මෙරට ගුවන්තොටුපොළ සූදානම

නොවැම්බර් (28) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ, හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මඟීන්ට මෙරටට ඇතුළුවීම තහනම්කර තිබේ.

අදාල රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මඟීන්ට ද මෙරටට ඇතුළුවීම තහනම් වනු ඇති.

“මේ වන විට දකුණු අප්‍රිකාවේ අලුතින්ම පැතිර යන කොවිඩ් 19 ප්‍රභේදය සම්බන්ධයෙන් අපට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ ලැබිලා තියෙනවා. දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් හයකට නොවැම්බර් 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ශ්‍රී ලංකාව වෙත පැමිණීම අත්හිටුවලා තියෙනවා,” ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසීය.

“පීසීආර් පරීක්ෂණ තත්ත්වය අපි පෙර පරිදිම කරගෙන යනවා. මෙම තත්ත්වය තවත් දරුණු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපිට තවත් මාර්ගෝපදේශ ලබා දෙයි. දැනට මේ වෙනකොට වැක්සින් දෙකම ගහපු අයට තමන්ගේ ගමනාන්තය නැත්නම් නිවස වෙත යන්න තවම හැකියාව තාම තිබෙනවා.”

ජාන විශ්ලේෂණය වේගවත් වෙයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට ද තීරණයවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත්කර ඇති බව යි.

නව වෛරස් ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

නව කොවිඩ් ප්‍රභේදය මුලින්ම හඳුනාගත් දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය වන වෛද්‍ය ඇන්ජෙලීක් කුට්සේ පවසන්නේ මෙතෙක් දැක ඇති රෝගීන්ට “අතිශයින්ම මෘදු රෝග ලක්ෂණ” ඇති බව යි.

කෙසේ වෙතත්, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා රෝගයේ බරපතලකම දැන ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය වනබව ද ඇය කියා සිටියා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ නව ප්‍රභේදය සම්ප්‍රේෂණය වන ආකාරය තීරණය කිරීමට විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බැවින්, එහි බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇතිබව යි.

Variants explained
ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනාවෛරස ප්‍රභේදයන් ඇතිවන්නේ කොහොමද?

සෙසු රටවල් ගනිමින් සිටින ක්‍රියාමාර්ග

මේ වන විට ලොව පුරා රටවල් කිහිපයක ඔමික්‍රෝන් කොරෝනා වයිරස් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇත. නෙදර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් ඉරිදා රෝගීන් හමු වීමත් සමග බොහෝ රටවල් මේ වන විට විදේශිකයින්ට සංචාරක සීමාවන් පනවා ඇත.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් නොවැම්බර් 30 ( අඟහරුවාදා) සිට සියලුම විදේශිකයන්ට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති අගමැති කිෂිඩා ෆුමියෝ නිවේදනය කළ බව එන්එච්කේ පුවත් සේවය පැවසීය.

ඊශ්‍රායලය විදේශිකයන්ට දින 14ක කාලයක් තම රට තුළට ඇතුළුවීම තහනම් කිරීමටත්, නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමටත් නියමිත ය.

මෙම තහනම සම්පූර්ණ කැබිනට් අනුමැතියෙන් පසු ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

නව ප්‍රභේදය ආසාදනය වීමේ එක් සිද්ධියක් ඊශ්‍රායලය මේ වන විට තහවුරුකර ඇත.

දකුණු අප්‍රිකාවේ සිට ගුවන් ගමන් දෙකකින් නෙදර්ලන්ත අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුට නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වී ඇතැ යි අනාවරණය වී තිබේ.

දකුණු අප්‍රිකාවේ සිට ගුවන් යානා දෙකකින් පැමිණි 61 දෙනෙකුට කොරෝනා ආසාදිතබව තහවුරු වී ඇති අතර, ඒ අතුරින් 13 දෙනෙකුට මෙලෙස ඔමික්‍රෝන් ආසාදිතබව තහවුරු වී ඇත.

පසුගිය බදාදා දකුණු අප්‍රිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රථම වරට මෙම ප්‍රභේදය පිළිබඳ වාර්තා කරන ලද අතර, මුල් සාධකවලින් පෙනී යන්නේ එය නැවත ආසාදනය වීමේ අවදානම වැඩිබව යි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය වී ඇත.

නොවැම්බර් නවවැනි දින ලබාගත් සාම්පලයක මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය මුල් වරට දක්නට ලැබී ඇති අතර, මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායලය සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරුකර ඇත.

ජර්මනිය සහ චෙක් ජනරජය ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පර්යේෂණ පවත්වමින් සිටියි.

එක්සත් රාජධානිය නිවේදනය කළේ රට තුළට ඇතුළු වන සෑම කෙනෙකුටම PCR පරීක්ෂණ අනිවාර්ය වන අතර, නව ප්‍රභේදය ආසාදිතයින්ගේ සියලු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය විය යුතුබව යි. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

එංගලන්තයේ වෙළදසැල්වල දී සහ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේ දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින්ට අඟහරුවාදා සිට PCR පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියාව පවසන්නේ තමා දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි, සීෂෙල්ස්, මලාවි, සහ මොසැම්බික් සිට දින 14කට ගුවන් ගමන් අත්හිටුවනබව යි. පසුගිය සති දෙක තුළ එම රටවල සංචාරයකර ඇති ඕස්ට්‍රේලියානු නොවන පුද්ගලයින්ට ද ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම්කර ඇත.

යුරෝපීය සහ අප්‍රිකානු රටවල් කිහිපයක සංචාරකයින් සඳහා ස්විට්සර්ලන්තය ද එහි නිරෝධායන අවශ්‍යතා දැඩි කළේ ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් ඔමික්‍රෝන් ?

සිම්බාබ්වේ රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන් සය දෙනෙකුට සහ සහයක කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැ යි මේ වන විට වාර්තා වී ඇත. එහෙත් ඔවුන්ට වැළඳී ඇත්තේ ඔමික්රෝන් ද යන්න තවම තහවුරුවී නැත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගියේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා යි.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටය උදෙසා සිම්බාබ්වේහි දී පැවති තරගාවලිය අවලංගු කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් 27 වැනිදා නිවේදනය කළේ ය.

තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකා කලාපයේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ තිබේ.

Daily COVID stats SL

මෙරට සෞඛ්‍ය අංශයේ උපදෙස් මෙසේ යි

ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව, සහ වරක් කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට හිමිවිය හැකි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තාවුවත්, භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබේ.

මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළුකොට තැකිය නොහැකි තත්ත්වයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

කිනම් විකෘති ප්‍රභේදයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදුකර ගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා, මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක් බව ද එම කාර්යංශය සඳහන්කර සිටියි.

ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර “අවධානය යොමු කළ යුතු ප්‍රභේදවලට” එරෙහිව එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිලි වෙමින් පවතියි. එන්නත් ආවරණයෙන් ඉහළ රටවල වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණයට පෙර සමයට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් කොවිඩ් නිසා රෝහල්ගතවීම 84%කින් අඩුබව වාර්තාවල සඳහන්.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමෙන් අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සලසා ගන්නටත් තවදුරටත් හැකියාව ඇතිබව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ්‍ය සඳහන් කළේ ය.

ඔමික්‍රෝන් ආසාදනය නොවන්න මේ දේත් කරන්න

සෙනඟ වැඩිපුර ගැවසෙන, වැසුනු/ වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථානවල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවදානමක් ඇති කරයි.

විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ, සෙනඟ ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල උත්සව ආදී අවස්ථාවල වෛරසය පැතිරයාමේ වේගය ඉතාමත්ම වැඩිබව එම කාර්යංශය පෙන්වා දෙයි.

මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මඟහැරිය යුතු අතර, නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු ය.

එළඹෙන උත්සව සමයේ දී මෙය සියලුදෙනා සිහියේ තබාගතහොත්, නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවය අඩුකරගත හැකිබව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරයි.

text by – bbc sandeasaya

Recommended For You

About the Author: Thusal