‘ඔමික්‍රොන්’ සමග සටන් කරන්නේ කොහොමද?

ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයැ යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතියි. එය එහි උපත සිදුවූ අප්‍රිකාවෙන් පිටතට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, සහ නෙදර්ලන්තය වැනි රටවලට ද පැතිරගොස් තිබේ.

මෙය ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත් ද, එය පැමිණීම වැලැක්වීමට හැකි ද, ශ්‍රී ලාංකිකයින් ලැබූ කොවිඩ් එන්නතෙන් මෙයට එරෙහිව ආරක්ෂාව සපයනු ඇත් ද ආදී ගැටලු මේ වන විට මතුව ඇත.

කෙසේ නමුත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී, ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරන මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ, ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව වැඩි යමක් තවමත් නොදන්නා බව යි.

“වෛරස් එක මෙහෙට එන එක පරක්කු කරන්න පුළුවන්. නමුත් ඒක නවත්තන්න පුළුවන් කිසිම විදියක් නැහැ… මූලික වාර්තාවලින් පෙන්නුම් කරන්නේ මේක ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගවත්ව පැතිරෙන්න පුළුවන් බව යි. නමුත් අප ඒ ගැන වැඩි දෙයක් තවම දන්නේ නැහැ,” ඇය ප්‍රකාශ කළා ය.

“අපි ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ වගේ රටවල් දිහා බැලුවොත් අපට පේනවා, දේශසීමා වහලා කොච්චර දැඩි ලෙස පාලනය කළත් ඩෙල්ටා පැතිරීම වළක්වන්න බැරිවුණා, මොකද ඩෙල්ටා ඉතාම වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් නිසා. ඉතින් දැන් අපට ඩෙල්ටාවලටත් වඩා පහසුවෙන් පැතිරෙන ප්‍රභේදයක් තියෙනවා නම්, ඒක ශ්‍රී ලංකාවට පැමිණීම වලක්වන්න පුළුවන් කියලා හිතන්නවත් දෙයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම එනවා.”

“ඒ නිසා, මේක ලංකාවට එනවා කියන සත්‍යය අපට පිළිගන්න වෙනවා.”

මහාචාර්ය නීලිකා මලවිගේ
මහාචාර්ය නීලිකා මලවිගේ

ලංකාවට ආවොත් මොකද කරන්නේ?

මේ වන විට ලොව පුරා සංසරණය වන විවිධ කොවිඩ් ප්‍රභේද දහස් ගණනකි. වෛරස සෑම විටම විකෘතීන්ට ලක්වන බැවින් මෙය අමුත්තක් නොවේ.

“ඔමික්‍රොන්” යනුවෙන් නම්කර ඇති නව කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදයන් පෙන්නුම් කළ ඇතැම් විකෘතීන්ගෙන් ද, පෙර නුදුටු නව විකෘතීන් බොහොමයකින් ද සමන්විත ය.

මෙනිසා, කොවිඩ්හි මුල් ප්‍රභේදයන්ට එරෙහිව සටන් කිරීමට සවිගන්වා නිමැවූ එන්නත් මේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක වේ ද යන බිය මතුව තිබේ.

මහාචාර්ය මලවිගේ සඳහන් කරන්නේ මෙහිදී අපට කළ හැකි හොඳම දෙය නම් නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කිරීම සහ එයින් සිදුවිය හැකි හානිය පාලනය කිරීමබව යි.

නව ප්‍රභේදයෙන් සිදුවිය හැකි හානිය අවම කළ හැකි වන්නේ එන්නත්කරණයෙන්බව ඇය පවසයි.

“වැඩිමහලු පුද්ගලයින් සහ දියවැඩියාව, වකුගඩු රෝග ආදී නිධන්ගත ආබාධවලින් පෙළෙන අය වගේ කොවිඩ් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති අයට ඉක්මනින්ම බූස්ටර් එන්නත් මාත්‍රාවක් දුන්නොත් ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි,” මහාචාර්යවරිය සඳහන් කරයි.

ඔවුනට නැවත වරක් කොවිඩ් වැළඳුණත්, ඔවුන්ගේ රෝග ලක්ෂණ එතරම් දරුණු අතට හැරීමට ඉඩකඩ අවමබව ඇය පවසන්නී ය.

“අපට ආරක්ෂාව සලසාගන්න යම් කාලයක් ලැබිලා තියෙනවා. ඒ කාලය ඇතුළත අපි නිසි පියවර ගත්තොත්, අපට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙන එකක් නැහැ.”

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කළ යුතුදැ යි අප මහාචාර්ය මලවිගේගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ එය ඉතා දූරදර්ශී ක්‍රියාවක් වනු ඇතිබව යි.

මේ නව කොරෝනාවෛරස ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනාගැනීමට හැකියාව පවතියි. ඇල්ෆා ප්‍රභේදය ද මෙසේ එක්තරා PCR කට්ටල වර්ගයක් යොදාගෙන සිදුකරන පරීක්ෂණයේ දී හඳුනාගැනීමට හැකි විය.

ඔමික්‍රොන් ප්‍රභේදය ද ඇල්ෆා ප්‍රභේදය පෙන්වූ ඇතැම් විකෘතීන් පෙන්වන නිසා, PCR පරීක්ෂණ හරහා එය ද හඳුනාගත හැකිබව මහාචාර්ය මලවිගේ BBC වෙත පැහැදිලි කළා ය.

“දැනට ලෝකය පුරා පැතිරී ඇති කොවිඩ් රෝගීන්ගෙන් 99.5%කටත් වැඩි ප්‍රමාණයකට ආසාදනය වෙලා තියෙන්නේ ඩෙල්ටා. ඒ නිසා යමෙකුට ඔමික්‍රොන් ප්‍රභේදය වැළඳිලා ද කියන එක PCR පරීක්ෂාවක් හරහා හඳුනාගන්න පුළුවන්, මොකද ඇල්ෆා ප්‍රභේදය දැන් එතරම් හොයාගන්න නැහැ,” ඇය කියා සිටියා ය.

ශ්‍රී ලංකාවට මේ වන විට ඔමික්‍රොන් ප්‍රභේදය ඇතුළුවී ඇත්දැ යි සොයාගැනීම සඳහා ජාන අනුක්‍රමණ පරීක්ෂණ සිදුකෙරෙනු ඇතිබව ද මහාචාර්යවරිය ප්‍රකාශ කරයි.

පාසැල් ඇරඹිලා – දරුවන්ට හානියක් වෙයි ද?

මේ වන විට බොහෝ පාසැල් ඇරඹී ඇති හෙයින්, අලුත් වෛරස ප්‍රභේදය පැතිරුණහොත් දරුවන්ට විය හැකි බලපෑම කුමන ආකාරයේදැ යි අපි මහාචාර්යවරියගෙන් විමසූයෙමු.

ඇය පවසන්නේ හොඳින් වාතාශ්‍රය සහිත පරිසරවල දී ශ්වසන පද්ධතියට බලපෑම් කරන වෛරසවල පැතිරීම මඳබව යි.

“ලංකාවේ ඉස්කෝල ගොඩනැගිලිවල තියෙන්නේ කොට බිත්ති. මේ නිසා පන්ති කාමරවලට ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙනවා. අපි එංගලන්තේ ඉස්කෝලයක් දිහා බැලුවොත්, පන්ති කාමර ඔක්කොම සීල් කරලා, වායු හුවමාරුව ඉතාම අවම වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක දී ඕනෑම ලෙඩක් පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ අපට ඉතාම හොඳින් වෙන්ටිලේට් වෙන පන්ති කාමර තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයක රෝගය පැතිරීම අවම වෙන්න ඕනෑ,” ඇය පැවසුවා ය.

“මේක සිදුවුණේ ආත්මාර්ථකාමීකම නිසා”

නව ඔමික්‍රොන් ප්‍රභේදය බිහිවූයේ දකුණු අප්‍රිකාවෙනි. මෙම ප්‍රභේදයට බොහෝ දුරට මේ තත්ත්වයේ විකෘතිතා ඇතිවන්නට ඇත්තේ, වෛරසය පැරදවීමට අපොහොසත් වූ එක් රෝගියෙකුගේ සිරුර තුළ දී විය හැකි ය.

මේ වන විට දකුණු අප්‍රිකාව තුළ සම්පූර්ණයෙන්ම එන්නත්කර ඇති ජනගහණය ප්‍රතිශතයක් වශයෙන් 24%කි. අප්‍රිකානු මහාද්වීපයේ වෙසෙන ජනතාවගෙන් එන්නත් ලබා ඇත්තේ 3%ක් තරම් අඩු ප්‍රතිශතයකි.

ධනවත් රටවල් එන්නත් මාත්‍රා තොග පිටින් අත්පත්කර ගැනීමත්, සැමට සාධාරණව එන්නත් බෙදාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආධාරය ද ඇතිව පිහිටුවන ලද Covax වැඩසටහනට ගෝලීය අපනයන තහනම, නිෂ්පාදනයේ දී මුහුණපානා අභියෝග, සහ නියාමන ක්‍රියාවලීන්ගේ මන්දගාමීත්වය නිසා බාධා පැමිණීමත් හේතුවෙන් අප්‍රිකානු රටවල එන්නත්කරණය මෙසේ අඩාල වී තිබේ.

දුප්පත් රටවලට අවශ්‍ය තරම් එන්නත් නොලැබෙන බැවින් කොවිඩ් වසංගතය “ඕනෑවටත් වඩා වසරක් දිගට ඇදීයනු ඇතැ”යි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය.

“මේ වගේ දෙයක් සිදුවෙන්න යනවා කියන එක ඉතාම පැහැදිලිව දකින්න තිබුණා. අප්‍රිකාවට එන්නත් ලැබුණේ නැහැ. ඒ නිසා කොවිඩ් එහෙ බහුලව පැතිරුණා – ඒක වළක්වාගන්න පුළුවන්කම තිබුණු දෙයක්. මෙහෙම වුණේ පොහොසත් රටවල ආත්මාර්ථකාමීකම නිසා,” මහාචාර්ය මලවිගේ පවසයි.

“ඔබට හිතෙන්නේ පුළුවන් ඔබ පමණක් එන්නත ගත්තම ඔබ ආරක්‍ෂිත යි කියලා. නමුත් මේ දේවල් සිදුවෙන්නේ ඒ විදියට නෙවෙයි.”

text by bbc sandesaya

Recommended For You

About the Author: Thusal