නැඟෙනහිරම එළිය කරන කාබනික ගොවි අරුණැල්ල

ශාකසාර දියර පොහොර හා කෘමි විකර්ෂකවලින් කීඩෑ උවදුර මර්දනය වුණා

දේශීය ශාකසාර දියර පොහොර නිෂ්පාදනය විධිමත් කළ යුතුයි

අනුරාධා යහම්පත් – ආණ්ඩුකාවරය, නැගෙනහිර පළාත

පරිසර හිතකාමි තිරසර ගොවිතැන අද ලෝකයේ මුල් තැන ගත්තකි. එය රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අංගයක් ලෙස ඉදිරිපත් කෙරිණි. මෙය රජය පත් වූ මුල් වසර තුළම සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් කාබනික ලෙස 30%ක් ද, රසායනික ලෙස 70%ක් ද, ආරම්භ කිරීමට සැලසුම් කළ ද, එය සාර්ථක නොවුණේ තවමත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් සිටින්නේ දශක හතකට පමණ පෙර පටන් ගැනුණු හරිත විප්ලවයේ තාක්ෂණය සමඟ වීම නිසාය.

එනමුදු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ගත් දැඩි තීන්දුවත් සමඟ, කෘෂි කර්මාන්තයේ නියැළී සිටින සියලු දෙනාටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වස විසෙන් තොර ගොවිතැනට යොමු වීමට සිදු විය. රසායනික පොහොර තහනම රට තුළ උද්ඝෝෂණ මාලාවකට හේතු වූව ද, මහ කන්නයේ කුඹුරු අස්වැද්දීමත් සමඟම මේ තත්ත්වය අඩු වෙමින් පවතී.

ආදර්ශ ව්‍යාපෘති

නැඟෙනහිර පළාත තුළ ගොවියා පරිසර හිතකාමි, වස විසෙන් තොර ගොවිතැනට යොමු වූයේ පසුගිය වසරේ යල කන්නයේ සිටය. මෙය ආදර්ශ ව්‍යාපෘති වශයෙන් පටන් ගෙන ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුනේ අක්කර 5000කට ආසන්න කුඹුරු වපසරියක් සම්පූර්ණ කාබනික යෙදවුම් සහිතව වගා කිරීමට හැකි විය. මේ සඳහා මේ ආදර්ශ ගොවිබිම්වල ගොවීන් විවිධ ක්‍රමවේද භාවිත කර තිබුණි. තවමත් පාරම්පරිකව තමන්ට හිමි වූ සාම්ප්‍රදායික ගොවිතැනින් පොළොව අස්වද්දන ගොවීන් සහ තමන් විසින්ම නිෂ්පාදිත කොම්පොස්ට් භාවිත කරන ගොවීන් ද, වෙනත් කාබනික යෙදවුම් සහ නව ක්‍රමවේද වන ශාකසාර දියර පොහොර සහ කෘමි විකර්ෂක භාවිත කරන ගොවීහු ද සිටිති.

මෙලෙස පසු ගිය වසර තුළදී අක්කර 5000 ක් වූ සම්පූර්ණයෙන්ම තිරසර ගොවිතැනට යොමු වූ කුඹුරු ප්‍රමාණය නැඟෙනහිර පළාතේ ආසන්න වශයෙන් ලක්ෂ පහක් පමණ වන වගා කළ හැකි කුඹුරු ප්‍රමාණයන් සියයට 1 ක් පමණක් වූව ද, මෙම ව්‍යාපෘති හරහා ලබා ගත් අත්දැකීම් සහ දත්ත සාර්ථක පරිසර හිතකාමි තිරසර ගොවිතැන සඳහා සැලසුම් සකස් කිරීමට අත්‍යවශ්‍ය ආධාරක විය.

එපමණක් නොව 2019/20 මහ කන්නයේ පාලනය කර ගැනීමට නොහැකි වූ කීඩෑ උවදුරෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කුඹුරු අක්කර 2000ක් පමණ විනාශයට පත් වූ අතර ශාකසාර දියර පොහොර සහ කෘමි විකර්ෂක භාවිතයෙන් පසු එම කීඩෑ උවදුර සාර්ථකව මර්දනය කර ගැනීමට ද හැකි විය. මෙලෙස වස විසෙන් තොර ගොවිතැනට යොමු වූ ගොවීහු දෙතුන් දහසක් පමණ තවදුරටත් ස්ව කැමැත්තෙන්ම විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවතාලූහ. මෙම ව්‍යාපෘති හරහා අප ලබාගත් දත්තවලට අනුව සමස්තයක් ලෙස අස්වැන්නෙහි ද වැඩි වෙනසක් දැකීමට නොහැක. මෙම කුඹුරුවලින් 30% ක පමණ ප්‍රමාණයක අක්කරයකට වී බුසල් 60-70ක් වැනි ප්‍රමණයක් ද, 60%ක පමණ ප්‍රමාණයක අක්කරයකට වී බුසල් 90 -100ත් අතර ද සියයට 10ක පමණ කුඹුරු වල අක්කරයකට වී බුසල් 120 -150 දක්වා ද වැඩි වී තිබුණි. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් කුඹුරක අස්වැන්න අක්කරයකට වී බුසල් 90 -100 ත් අතර වන බැවින් අප පසුගිය කන්න දෙක තුළම කළ ව්‍යාපෘති හරහා ලැබුණ අස්වැන්න සාර්ථකය. තවද, රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන වීවලට සාපේක්ෂව බොල් වී ප්‍රමාණය අඩු වීම සහ වී බරෙන් වැඩි වීම විශේෂ කරුණු විය.

අප කළ පසු විපරම්වලදි, මෙම සාර්ථකත්වය ඒ ආකාරයෙන්ම නොලැණු කුඹුරුවල ගොවියන් ඔවුනට ලබා දුන් ස්වාභාවික යෙදවුම් භාවිතයේදී තිබුණු උපදෙස් ඒ අනුවම භාවිතා නොකළ බවට සනාථ විය. ශාකසාර දියර පොහොර සහ කෘමි විකර්ෂක ගොවීන්ට හඳුන්වා දෙනු ලැබුයේ එම පොහොර නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයින් හරහාය. මෙම සියලු නිෂ්පාදනවල මූල ද්‍රව්‍ය ද, සංයුතිය ද භාවිත කරන ආකාරය ද එකිනෙකට වෙනස් වේ. එබැවින් ඒ ඒ ගොවීන් ඔවුන් භාවිත කරන පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් හරහාම උපදෙස් දීමට ද අස්වැන්න ලබා ගන්නා තෙක් අඛණ්ඩ අධික්ෂණය ද අත්‍යවශ්‍ය බව මෙම ව්‍යාපෘති හරහා නිරීක්ෂණය විය.

මෙවර මහ කන්නය සම්පූර්යෙන්ම තිරසර ගොවිතැනට යොමු විම සඳහා නැඟෙනහිර පළාතේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කළේ මේ සියල්ල සැලකිල්ලට ගෙනය.

අපගේ පළමු පියවර වූයේ සියලුම නිලධාරීන් තිරසර කෘෂිකර්මාන්තයෙහි ඇති වැදගත්කම පිළිබඳ දැනුම්වත් කිරීමය. සියලු කෘෂි නිලධාරීන් ද, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අනෙකුත් ප්‍රාදේශිය නිලධාරීන් ද දැනුම්වත් කිරීම අවසන් කර ගොවි සංවිධාන හරහා ගොවීන් දැනුම්වත් කිරිම පටන් ගැනුණි. මෙම වැඩසටහන තිරසර කෘෂි සංස්කෘතිය නමින් හැඳින් වූ අතර ලැබුණු ප්‍රතිචාර බොහෝමය. රසායනික පොහොර භාවිතයේදී සිදු වන සෞඛ්‍යමය ගැටලු සාකච්ඡා කිරීමට විශේෂඥ වෛද්‍යවරු, හෙළ වෙදවරු පමණක් නොව මනෝ වෛද්‍යවරු ද සහිත කණ්ඩායමක් මෙම වැඩසටහන්වලට සහභාගි වූහ. මොවුහු දත්ත සහ පර්යේෂණ ප්‍රතිඑල භාවිතා කරමින් කරුණු ඉදිරිපත් කළහ. හඳුනා නොගත් වකුගඩු රෝගය ලෙස නම්කර ඇති වකුගඩු රෝගීන් වැඩි දෙනෙක් සිටින්නේ රසායනික පොහොර වී ගොවිතැනට භාවිත කරන රජරට සහ නැඟෙනහිරය. මේ නිසාම, එම ගොවියන්ගෙන් ලැබුණු ඇගයිම් නම් රූපවාහිනියෙන් දකින ප්‍රතිචාරවලට වඩා හාත්පසින්ම වෙනස්ය.

පාරම්පරික ක්‍රම

සාර්ථක ලෙස කාබනික ගොවිතැනෙහි යෙදෙන ගොවීන් ද අපගේ මෙම වැඩමූළුවලදි සහාය දැක්වීය. එහිදි වල් පාලනය කිරිම සඳහා නිවැරැදි බිම් සකස් කිරිමේ ක්‍රම, වගා භුමිවලට පිටතින් පැමිණෙන වල් අවම කිරීමේ උපක්‍රම සහ ජලය මඟින් වල් පැළවීම අවම කිරිමේ පාරම්පරික ක්‍රම ගොවීන්ට කියා දීමට හැකි විය.

කොම්පොස්ට්, ජෛව දියර, ශාකසාර දියර, පොහොර (මේවායේ නයිට්‍රජන් සහ පොටෑසියම් අඩු වැඩි වශයෙන් අඩංගුය.) වශයෙන් වෙන් කර ගොවීන්ට බෙදා දීම සැලසුම් කර තිබුණි. මෙම පොහොර දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් හරහාම බෙදා දීමට සැලසුම් කර තිබුණි.

එක් එක් ගොවිජන සේවා කලාපවලට අනුව ඒ ඒ පොහොර නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන කල්වේලා ඇතිව රජය විසින් මිලදී ගෙන බෙදා දීමට කටයුතු සැකසුණි. එම නිෂ්පාදකයින් පොහොර භාවිතා කරන ක්‍රමවේද සහ මාත්‍රාව ඒ ඒ කලාපවල සිටින ගෙවියාව දැනුම්වත් කරමින් ගොවි කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ද මෙම නිෂ්පාදකයින්ට පැවරීමෙන් මෙම ක්‍රියාවලියේ පලදායිතාවය වැඩි කිරීමට හැකි බව අපි විශ්වාස කරමු.

දේශීය පොහොර

තවද, දේශිය දියර පොහොර නිෂ්පාදකයින් නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට නම්, ඔවුන් සමග මිලදි ගැනීමේ ගිවිසුම් ඇතිකර ගත යුතුව තිබුණි.

නමුත්, මෙම කන්නයේදි මෙම සැලැස්මට අනුවම ක්‍රියාත්මක වීමට නොහැකි වූයේ, යම් අවස්ථාවල තිබූ පැටලිලි සහගත බවත් නිෂ්පාදනය කරනු ලබන දේශීය පොහොර මිලදී ගැනීමේ හා ඒ වෙනුවෙන් වන ගිවිසුම් ගත වීම සිදු නොවීමත් නිසාය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ සමහර කෘෂි නිලධාරීන් තවමත් රසායනික පොහොර ආනයනය නවතාලීම පිළිගැනීමට අකැමැති බැවින් ඔවුන්ගේ කඩාකප්පල්කාරි ක්‍රියාවලිය නිසාය.

තවත් හේතුවක් වන්නේ කොම්පොස්ට් නිෂ්පාදනය කරන ගොවීන්ගේ කොම්පොස්ට් තිබිය යුතු නිර්ණායකයන්ට අනුව තිබේදැයි පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් ද ප්‍රමාණවත් තරම් නොතිබීමයි.

නැඟෙනහිර පළාත තුළ පැවැති වැඩසටහන්වලදි අපි හැකිතරම් දුරට ගොවියාව සාම්ප්‍රදායික ගොවිතැනට යොමු කිරීමට ද අවශ්‍ය දැනුම දීමට කටයුතු කළෙමු. කාබනික පොහොර භාවිතයේදී කෘමි සතුන්ගෙන් වන හානි අවම වූව ද, එය තවදුරටත් අවම කර ගැනීමට ස්භාවික කෘමි විකර්ෂක සාදා ගැනීමේ ක්‍රමවේද මෙන්ම ජ්‍යොතිෂයට අනුව සිංහ සහ දිවි කර්ණවලට අනුව වී වැපිරිම හෝ පැළ සිටුවීමට අවශ්‍ය උපදෙස් දීමට ද කටයුතු සිදු කෙරිණි.

හැකි තරම් දුරට කොම්පොස්ට් නිෂ්පාදනය ඒ ඒ කලාප තුළම, ගොවි සංවිධාන හරහාම වර්ධනය කිරිමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ දීමට කටයුතු සිදු කෙරුණි. මෙම යන්ත්‍රෝපකරණ ගොවීන්ට නොමිලේ භාවිතා කිරිමට කටයුතු සිදු කළේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාය. මෙසේ නිෂ්පාදනය කරන පොහොරවල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට රසායනාගාර පහසුකම් පළාතේ දිස්ත්‍රික්ක තුනෙහිම ඇති කිරීම ද කටයුතු සිදු විය. පරිසර හිතකාමි වස විසෙන් තොර ගොවිතැන සාර්ථක කර ගැනීමට නම් එම ගොවිතැනට අවශ්‍ය සෑම පොහොරක්ම සෑම යෙදවුමක්ම ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට අප නිෂ්පාදකයින් දිරි ගැන්විය යුතුයි.

තිරසර කෘෂි සංස්කෘතිය හරහා රට ස්වයංපෝෂිත කිරීමට නම්, ගොවියාගේ ආර්ථිකය නගා සිටුවීමේ වැඩ පිළිවෙළකට යා යුතු වන්නේය. ඒ සඳහා ගොවියාට වඩා සාර්ථක වී මිලක් දීම අත්‍යවශ්‍යයයි. පොහොර සහනාධාර ලැබුණ ද තවමත් ගොවියාට ලැබෙන්නේ මෙරට දෛනික වැටුප් ලබන්නාට වඩා අඩු ආදායමකි. ඒ නිසා ගොවිතැන කෙරෙහි අනාගතයේ තරුණ පරම්පරාව දිරි ගැන්වීමට නම් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වඩා ඉහළ මිලක් දිය යුතුයි.

දැනට ගොවියාගේ වී අස්වැන්නට අනුව ආදායම ගණනය කිරීමේදී, අක්කරයකට වී බුසල් ආසන්න වශයෙන් 100ක් පමණ ලෙස ගත හොත් වී කිලෝ 2000ක් පමණ අක්කරයකට ලැබේ.

අපේක්ෂිත අස්වැන්න

ගොවියකුට අක්කර 02ක් වන ඉඩමක් අයිති නම් වී කිලෝවක් රුපියල් 50 ගණනේ වී කිලෝ 4000කට රුපියල් 200,000.00කට ආසන්න ආදායමක් ගැනීමට හැකිය. මෙම මුදල එක කන්නයක් සඳහා වීවලින් ලැබෙන ආදායමයි. බිත්තර වී මිලදී ගැනීම, බිම් සැකසීමට, සී සෑමට, පොහොර යෙදීමට, අස්වැන්න නෙළීමට, වේළීමට සහ අස්වැන්න ප්‍රවාහනය කිරීමට අක්කරයකට යන වියදම රුපියල් 40,000.00ක් පමණ වේ. එබැවින් පාරිසරික හෝ වන අලි වැනි ස්වාභාවික හානියකින් හෝ මෙම අපේක්ෂිත අස්වැන්න අඩු නොවුණහොත් ගොවියාට කන්නයකට රුපියල් 160,000.00කට ආසන්න ආදායමක් ලැබේ.

අප විශ්වාස කරන්නේ වී මිල අඩුම වශයෙන් දෙගුණයක්වත් විය යුතුය කියාය. වී කිලෝවක මිල රුපියල් 100ක් වත් ලැබුණහොත් ගොවියාට වඩා හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිය. දේශීය ශාකසාර දියර පොහොර නිෂ්පාදනය විධිමත් කිරීමේන් ද, ගොවි සංවිධාන මුල් කරගෙන ගොවියාටම අවශ්‍ය කොම්පොස්ට් සහ දියර පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීමෙන් ද වී ගොවිතැනට, ධාන්‍ය සහ එළවළු වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය අප රට තුළම නිෂ්පාදනය කර ගත හැකි වේ.

පාරිභෝජනය වැඩි වීම

මෙලෙස කාබනික පොහොරවලට ගොවියා සම්පූර්ණයෙන්ම හුරු වීමත් සමඟ පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් එම සහනාධාරය අඩු ආදායම් ලාභීන්ට අඩු මිලකට හාල් ගැනීමට සකස් කළ හැකිය. එවිට හාල් මිල වැඩි වීම නිසා පාන් පිටි පරිභෝජනය වැඩි වීමට ඇති ප්‍රවණතාවය වළක්වා ගත හැකිය.

1980 දශකයෙන් ටිකෙන්ටික ආරම්භ වී අද වන විට සම්පූර්ණයෙන්ම සහල් මිල තීරණය කිරීමේ හැකියාව රජයෙන් ගිලිහෙමින් පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් වෙත ගමන් කරමින් ඇත. එය නැවත රජය වෙත ලබා ගැනීම සඳහා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම අතිශය වැදගත් වේ. වාර්ෂික වී නිෂ්පාදනයෙන් 40%වත් වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකි වන ලෙස මණ්ඩලය ශක්තිමත් කළ යුතු අතර ඒ සඳහා ගොවි බිම් වෙත ගොස් වී මිලට ගැනීමට නියෝජිත ක්‍රමයක් ඇති කිරීම, තෙත බරට අනුව වී මිල තීරණය කිරිමේ සූත්‍රයක් හඳුන්වා දීම, වී වියළීමට කමත් ක්‍රමයට වඩා පහසු හා නවීන ක්‍රම ගොවීන්ට හඳුන්වා දීම හා වී මිලදී ගන්නා නියෝජිතයන්ට මිලදී ගන්නා වී ප්‍රමාණය අනුව දිරි දීමනා දීම වැනි පුද්ගලික අංශය භාවිතා කරන තරගකාරි උපායමාර්ග භාවිතා කරමින් අතීතයේ තිබුණු වී අලෙවි මණ්ඩලය මෙන් ශක්තිමත් නවීනකරණය වූ වී අලෙවි මණ්ඩලයක් ඇති කිරීම ද ඉතාම වැදගත් වේ.

ශ්‍රී ලංකාව බතින් ස්වයං පෝෂිත වී පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වූයේ ලොවම මවිත කළ වාරි ශිෂ්ටාචාරයක් ද බිහි කරවමිනි. අද වන විට ලොවෙහි ජනගහනය වැඩි වී තිබුණ ද, නැවත වතාවක් සහලෙන් ස්වයංපෝෂිත වීමට ද, ආනයනය අවම කර කෘෂි ස්වෛරීත්වය ළඟා කර ගැනීමට ද අව‍ශ්‍ය වාතාවරණය ලැබී ඇත. මෙම අවස්ථාව බුද්ධිමත්ව ක‍ළමනාකරණය කිරීමෙන් අපට ලොවට ආදර්ශයක් වෙමින් තිරසර කෘෂි සංස්කෘතිය හරහා ස්වයංපෝෂිත දේශයක් ගොඩ නැඟිය හැකි බව නොඅනුමානය.

Recommended For You

About the Author: Thusal