මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත.

නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි.

එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර ඇති සාවද්‍ය ආකාරය මඟිනි.

ඩයිනොසෝරයින් පිළිබඳව තවමත් පවතින වැරදි මත කිහිපයක් මෙන්න.

සියලුම ඩයිනෝසරයන් මියගියේ කුප්‍රකට ග්‍රහකය නිසා ද?

Artistic representation of dinosaurs witnessing the impact of an asteroid
ග්‍රහකයක් වැදුන දවසට ඩයිනෝසරයන් ඔක්කොම ඉවරයි ද?

මීට වසර මිලියන 66කට පමණ පෙර, ඩයිනෝසෝරයන්ට ඉතාමත් නරක දිනයක් උදා විණි. විෂ්කම්භය කිලෝමීටර 10ක් පමණ බවට මේ වන විට ඇස්තමේන්තුකර ඇති විශාල ග්‍රහකයක් කෙලින්ම පෘථිවියට පතිත විය. මෙම ග්‍රහකය ගැටීමෙන්, මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට යටින් දැවැන්ත ආවාටයක් නිර්මාණය වූ අතර, ‘මහා නෂ්ටවීමක්’ ද සිදු විණි.

කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියේ සතුන්ගෙන් 75%ක් ‘පමණක්’ මෙම සිදුවීමෙන් මියගිය බව යි. දිවි ගලවාගත් සත්ත්වයන් අතර සමහර ඩයිනෝසෝරයෝ ද වූහ.

“ග්‍රහකය වැදී බොහෝ ඩයිනෝසරයන් මියගියා වුණත්, ඉතා කුඩා හා පිහාටු සහිත වැදගත් ඩයිනෝසරයන් සමූහයක් දිගටම ජීවත් වුණා. ඔවුන් අදටත් අපිට දකින්නට ලැබෙනවා” යි, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ පාෂාණ ධාතු විද්‍යාඥයෙකු වන මහාචාර්ය පෝල් බැරට් බීබීසීයට පැවසුවේ ය.

A woodpecker carving out a nest
කුරුල්ලන් බවට පරිණාමය වූ කුරුළු ඩයිනෝසෝරයන් මීට වසර මිලියන 66 කට පෙර පෘථිවියේ ඇති කළ විනාශකාරී ග්‍රහක බලපෑමෙන් බේරී ඇත.

“පක්ෂීන් යනු ඩයිනෝසෝරයන් අයත් වූ කණ්ඩායමෙන් සෘජුව පැවතෙන සාමාජිකයින්.”

“ඔවුන් ජීවමාන ඩයිනෝසෝරයන් වනවා වගේම, වර්තමානයේ ජීවත් වන පක්ෂීන් විශේෂ ගණන අනුව බැලුවම මීට වසර මිලියන 66කට පෙර හිටපු ඩයිනෝසෝර විශේෂවලට වඩා වැඩි සංඛ්‍යාවක් ඩයිනෝසෝර විශේෂ‍යන් වර්තමානයේ ඉන්නවා.”

නොසෙල්වී සිටීම මඟින් ටිරනොසෝරස් රෙක්ස් ඩයිනෝසරයෙකුගෙන් සැඟවිය හැකි ද?

‘ටිරොනොසෝරස් රෙක්ස්’ (T-Rex) යනු 1993 දී නිකුත්ව අති සාර්ථක වූ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ තාරකාව යි. ඌ එහි ප්‍රධාන මිනිස් චරිත භීතියට පත් කරනු දැක්වෙන අමතක නොවන අන්දමේ දර්ශන රැසක් ද වේ.

Scene from the 1993 movie Jurassic Park shows a T-Rex looking at a man
ඔබට කවදාවත් ටී-රෙක්ස් කෙනෙකු හමු වීමට නොහැකි වෙයි එහෙත් මතක තබා ගන්න ටී-රෙක්ස්ට ඔබව හොඳට පෙනෙන බව

නමුත් චිත්‍රපටයේ T-Rex නිරූපණය කර තිබුණේ දුර්වල දෘෂ්ටියක් ඇති සත්ත්වයෙකු ලෙසට ය. චිත්‍රපටයට අනුව ඌට ගොදුර හඳුනාගත හැක්කේ, ගොදුර චලනය වුවහොත් පමණි.

ඇත්ත වශයෙන්ම එවැනි ලක්ෂණ උභයජීවීන් වැනි සතුන් තුළ පවතින නමුත්, මහාචාර්ය බැරට් පවසන්නේ මෙම විලෝපිකයන් සම්බන්ධයෙන් එය එසේ නොවූ බව යි.

“ඩයිනෝසරයන් බොහෝ දුරට ඉතා හොඳ දෘශ්‍ය තීව්‍රතාවයක් තියෙන්නට ඇති. මීට වසර 15කට කලින් කරපු එක් අධ්‍යයනයකින් පෙන්වන්නේ, මෙතෙක් ජීවත් වූ සතුන් අතුරින් හොඳම ඇස් පෙනීම තිබුණේ ටී-රෙක්ස්ට විය හැකි බව යි.”

“ටී-රෙක්ස් එකෙක් ඉස්සරහා නිශ්චල ව සිටගෙන ඉන්න එක ඔබට කළ හැකි මෝඩම වැඩලින් එකක් වෙන්න පුළුවන්.”

ටිරනොසෝරස් රෙක්ස්ට ගමන් කරන වාහනයක් පසුකර දිවිය හැකි ද?

Illustration of a T-Rex chasing prey
ටී-රෙක්ස් ට හොඳට හයියෙන් දුවන්න පුලුවන් බව ඇත්ත එහෙත් චිත්‍රපට වල පෙන්වන තරම් වේගෙයෙන් නම් නෙමෙයි

එමෙන් ම, චිත්‍රපටයේ සිටින ටී-රෙක්ස් ධාවනය වන වාහනයක් පසුකර දුවන දර්ශනයක් ද ඇතුළත් වේ.

සත්‍යවශයෙන්ම මින් පෙර සිදුකළ අධ්‍යනයයන්ට අනුව, මෙම ප්‍රබල විලෝපිකයාට පැයට කිලෝමීටර 50ක වේගයෙන් දිව යා හැකි බව ඇස්තමේන්තුකර තිබිණි.

මෑතකාලීන, වඩාත් දියුණු අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ, පැයට කිලෝමීටර් 20 සිට 29 දක්වා වූ වඩාත් මන්දගාමී වේගයකි.

“ඔබට දුවන්නට හැකි ඉහළම වේගය එකක්, ඔබට වැඩි කාලයක් දුවන්නට හැකි සුවපහසු වේගය තවත් එකක්බව මතක තියාගන්න එක වැදගත්,” යේල් විශ්වවිද්‍යාලයයේ පීබොඩි ජාතික ඉතිහාස කෞතුකාගාරයේ සංරක්ෂණ නිලධාරිනියක වන ආචාර්ය මරියානා ඩි ජියාකොමෝ පවසයි.

“මැරතන් ධාවකයන් කෙටි දුර ධාවකයන් තරම් වේගයෙන් දුවන්නේ නැහැ. අනික කෙටිදුර ධාවන තරග ඉතාමත් කෙටියි. මොකද, එවැනි අධික වේගයක් දිගු කාලයක් පවත්වා ගැනීම අපේ ශරීරයට අපහසු යි.”

“ටී-රෙක්ස්ට වේගයෙන් කෙටි දුරක් දිවීමේ හැකියාව තිබුණා වෙන්නට හැකියි. නමුත් ඒ වේගය ධාවනය වන මෝටර් රථයක් අභිබවා යාමට ප්‍රමාණවත් වන එකක් නැහැ” යි ඇය වැඩිදුරටත් පවසන්නී ය.

අපට ඩයිනසෝරයෙකු ක්ලෝන කළ හැකි ද?

"Do not feed the dinosaurs" sign
ඩයිනෝසෝරයන් ක්ලෝනීකරණය කිරීම වළක්වන ප්‍රායෝගික බාධක කිහිපයක් තිබේ

ටී-රෙක්ස් මෙලොවින් වඳ වී යන්නේ මානව සංහතිය ඇතිවීමට ද වසර මිලියන ගණනකට පෙර වනවා සේම, ටී-රෙක්ස් සහ අප නුදුරු අනාගතයේ හමුවීමට ඉඩක් ද නැත. ජුරාසික් පාක් චිත්‍රපටය කෙසේ කීව ද, තවමත් ඩයිනෝසෝරයන් ක්ලෝන කළ නොහැකි බව විද්‍යාඥයන් දැඩිව ප්‍රකාශ කර සිටියි.

එයට ප්‍රධානතම හේතුව වන්නේ ඩයිනසෝර DNA කාලයත් සමග හොඳින් සුරක්ෂිත වී නො තිබීම යි.

“අප දන්නා පරිදි ඒවා [ඩයිනොසෝර DNA] දිගු කලක් නොනැසී පවතින්නේ නැහැ,” මහාචාර්ය බැරට් පැහැදිලි කරයි.

“ෆොසිලවලින් හමුවූ, අපි දන්නා පැරණිතම DNA අවුරුදු මිලියන දෙකක් පමණ පැරණි යි. ඒ වගේම ඒ DNA බැක්ටීරියාවල කොටස්, පස, දිලීර කොටස් වැනි ඒවා…”

සතුන් සඳහා පවතින පැරණිතම ජාන දත්ත ඇත්තේ, වසර 50,000කට පෙර මියගිය ජීවීන් සඳහා බව මහාචාර්ය බැරට් පවසයි.

“අප අපගේ කාලයට වඩා සමීප සත්ත්වයන්ගේ හැර, වඳ වී ගිය වෙනත් කිසිදු සතෙකුගේ හෝ ශාකයක DNA අප සතුව නැහැ.”

“ඉතින්, ඒ ගැන මම බලන්නෙ තරමක් සැකෙන්” ඔහු අවසන් වශයෙන් කියා සිටියේ ය.

ආචාර්ය ඩි ජියාකොමෝ මේ අදහසට එකඟ වෙමින් පවසන්නේ, ඩයිනොසෝර ජාන සම්බන්ධයෙන් විද්‍යාත්මක පෙරළියක් සිදුවුව ද, ක්ලෝනකරණය සාර්ථකව සිදුකළ නොහැකි වීමේ ඉඩක් ඇති බව යි.

“අපට වඩා ඉතාමත්ම ඈත භූ විද්‍යාත්මක කාලයකට අයත් ජීවී විශේෂ ක්ලෝනීකරණය ඉතාමත් සංකීර්ණ යි. මොකද ඒ කාලය පිළිබඳව අපි නොදන්නා විචල්‍යයන් වැඩි යි.”

එමෙන් ම ඇය ඇති විය හැකි සදාචාරාත්මක ගැටලු ද සඳහන් කරයි.:

“ජුරාසික් පාර්ක් සහ ජුරාසික් වර්ල්ඩ් වැනි චිත්‍රපට මිනිසුන්ට ඇති වන පීඩා සහ ප්‍රතිවිපාක පෙන්වා දෙමින්, අපට එවැන්නක් නොකිරීමට සියලු හේතු ලබා දෙනවා. ඒ වගේම මේ සත්ත්වයන්ගේ කාලය තුළ ඔවුන් නො දුටු, ඔවුන්ට නුහුරු ලෝකයකට ඔවුන්ව ගෙනඒම කුරිරුබව ගැන එතරම් සාකච්ඡා කෙරෙන්නේ නැහැ.”

ඩයිනෝසෝරයන් “අඥානජීවීන්” ද?

Drawing of a Troodon skeleton
Troodon වැනි, මස් කන, කුඩා ඩයිනෝසෝරයන් තරමක් බුද්ධිමත් යැයි සැලකේ.

තාක්ෂණික දියුණුවත් සමග, ඩයිනෝසෝරයන් ජීවත් වූ ආකාරය සහ හැසිරුණු ආකාරය පිළිබඳව වටහා ගැනීමට විද්‍යාඥයින්ට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව ආචාර්ය ඩි ජියාකොමෝ පැහැදිලි කරයි.

“ඔක්කොම ඩයිනෝසෝරයන් ඉතාමත්ම බුද්ධිමත් නොවුණා වගේම, ඩයිනෝසෝරයන් සියලුදෙනාම බුද්ධියෙන් හීන වූවන් වුණේත් නැහැ.”

“ඔවුන් ජීවත් වූ ලෝකය සඳහා අවශ්‍ය තරමේ තරම් බුද්ධියක් ඔවුන් සතු වුණා.”

සමහර ඩයිනෝසෝරයන් “ඇත්ත වශයෙන්ම සැලකිය යුතු තරම් බුද්ධිමත්” බව මහාචාර්ය බැරට් වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම, ප්‍රමාණයෙන් කුඩා, මාංශභක්ෂක ඩයිනෝසරයන් ඒ ගොඩට වැටේ.

“ඔවුන්ගෙන් සමහරක් විශේෂයන් විශාල සතුන් සමග තරග කරන්නට සිදුවීමෙන් වැළකෙන්නට රාත්‍රියේ දඩයම් කරන්නට ඇති. එසේ කිරීමට නම්, වඩා හොඳින් තොරතුරු ග්‍රහණය කරගත හැකි මොළයක් මෙන්ම, වඩා හොඳ ශ්‍රවණ හැකියාවක්, පෙනීමක් සහ ඉවක් තිබිය යුතු යි.”

ඩයිනෝසෝරයන් නරක මව්පියන් ද?

Illustration of a Maiasaura and its offspring
Maiasaura යන නම් යොදා ඇත්තේ ඔවුන් “හොඳ මාපියන්” ලෙසට හැසිරී ඇතැයි ඇති සාක්ෂි නිසාය

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පිළිගැනුණේ, ඩයිනෝසෝරයන් යනු සැබවින්ම යහපත් දෙමව්පියන් ලෙස කටයුතු නො කළ හුදෙකලා සතුන් ලෙසට ය.

නමුත්, 1970 සහ 1980 ගණනවල දී සිදුකළ සොයාගැනීම් මඟින්, ඔවුන්ට වඩාත් සංකීර්ණ සමාජ හැසිරීම් තිබූ බව අනාවරණය විය.

“මයසෝරා” යනු මීට වසර මිලියන 77 කට පෙර ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ශාක භක්ෂක ඩයිනෝසෝරයෙකි. මයසෝරා යනු ග්‍රීක සහ ලතින් භාෂාවෙන් “හොඳ කටුසු මව” යන්න යි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී Scientific Reports සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වඩාත් මෑත අධ්‍යයනයක් හෙළිදරව් කළේ, වසර මිලියන 193කට පෙර ජීවත් වූ ඩයිනෝසෝරයන් රංචු වශයෙන් සංවිධානය වී ඔවුන්ගේ පැටවුන් පෝෂණය කර ඇති බව යි.

“වර්ථමානය වන විට අපට ඩයිනෝසෝරයන් ගැන හොඳ අවබෝධයක් ලැබී තිබෙනවා. අවම වශයෙන් සමහර ඩයිනෝසෝරයන් හොඳ මව්පියන් බව අපි දැන් දන්නවා,” යි මහාචාර්ය බැරට් පවසයි.

“එහෙම නැති අය හිටි බවත් සත්‍යයක්.”

ආචාර්ය ඩි ජියාකොමෝ පවසන්නේ “තමන්ගේ දරුවන් බලාගත්” ඩයිනෝසෝරයන් පිළිබඳව ද වාර්තා වී ඇති බව යි.

“මව්පියන් ලෙස කටයුතු කළ වෙනත් විශේෂයන් ද සිටිනවා. ඇලෝසෝරස් වැනි විලෝපිකයන් ද ඊට ඇතුළත්,” ඇය පවසන්නී ය.

“ඇත්ත වශයෙන්ම, සිටිපටි ඔස්මෝල්ස්කේ නම් ඩයිනෝසෝරයා “බිග් මමා” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙනවා. ඌ හමුවුණේ උගේ බිත්තරවලට උඩින් හිඳගෙන ඒවා ආරක්ෂා කරමින් සිටින ඉරියව්වෙන්.”

bbc sandesaya

Recommended For You

About the Author: Thusal