ගමට ඩොලර් ගෙනෙන බුලත් වගාව ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

බුලත් යනු සිංහල සංස්කෘතිය හා බැදුණු සුවිශේෂී අංගයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය පයිබර් බෙට්ලේ ( Piper betel L.) ලෙස හුන්වයි. පයිපරේසියේ ( Piperaceae ) හෙවත් පිප්පලි කුලයට මෙම බෝගය ඇතුළත් වේ.

අග්නිදිග ආසියාවේ මැලේසියාව හෝ එයට ආසන්න දිවයිනක මෙම බෝගය ජනිත වුවා යැයි උද්භිද විද්‍යාඥයින් විස්වාස කරති. පසුව බුරුමය, තායිලන්තය ආදී රටවල් වලද, අනතුරුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ආදී දකුණු ආසියානු රටවල් වලද මැඩගස්කරය, දකුණු අප්‍රිකාව වැනි අප්‍රිකානු රටවල් වලද ව්‍යාප්ත විය. මෙය ලෝකයේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත්තේ චීන, මුස්ලිම්, පෘතුගීසි වෙළදුන්ගේ මාර්ගයෙනි.

ප්‍රාග් බෞද්ධ යුගයේ එනම් ක්‍රි. පු. 340 සිට ශ්‍රී ලාංකික ජනතාව බුලත් භාවිතා කළ බවට සාක්ෂි ලැබී තිබේ. ඒ අනුව බුලත් පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ලංකාවට ඇත. ශ්‍රී ලංකාවට ආසන්න රට ඉන්දියාවයි. හත්වන සියවසේ රචිත ‘බාණබට්ටගේ කාදම්බරී‘ ගද්‍ය කාව්‍යයේ සැම උත්තම උත්තමාවකටම බුලත් වවන්නෙක් සිටි බවත්, බුලත් සැපීම එදා ඉන්දියානු සමජයේ බහුලව තිබු බවත් සදහන් වේ.

මේ අනුව ඉන්දියාවෙන් බුදු දහම ආදී විවිධාංග ලංකාවට පැමිණි අයුරින්ම  සිංහල සංස්කෘතියේ සුවිශේෂී සලකුණක් වූ බුලත් ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන්නට ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති. බුලත් ලංකාවට ලැබී ඇත්තේ බුදුදහමේ ලංකාගමනයටත් පෙරය. බුදුදහමේ ලංකාගමනයත් සමගම ඇති වූ සිංහල බෞද්ධ සංස්කෘතියේ ද සුවිශේෂී ස්ථානයක් බුලතට හිමි වේ.

සිංහල ජනතාව බුලත පුජනීයත්වයෙන් සලකා ඇතිබව 3 වැනි උදය රජුගේ ‘බදුළු ටැම් ලිපියෙන්‘ (සුබසෙත ලිපි ) ප්‍රත්‍යක්ෂ වේ. “ බුලත් පුවක් මණ්ඩපයේ තබා විකුණනු කොට් ඉසා නොතැන තබා වික්ක දුටුවා රදොළන් හරවා ද ගන්නා ඉසා “ බුලත් පුවක් විකුණන විට මණ්ඩපයේ තබා විකිණිය යුතු බවත් නුසුදුසු ස්ථානයන් හි තබා විකුණුව හොත් එය රාජසන්තක කරන බවත් ඒ පාඨයෙන් නියම කර ඇත. මෙසේ සිංහලයා බුලත පුජනීයත්වයෙන් සලකා ඇත්තේ එය සිංහල සංස්කෘතියේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවිනි.

බුලත් සැපීම සැලකු විට නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය සෙල්ලිපියේ “රන් කෙන්ඩියෙන් රිදී කෙන්ඩියෙන් මුඛ ශොධා සුවද කල්කයෙන් අත් මැඩ පස් පලවතින් යුත් බුලත් කා …….” යනුවෙන් ද මහා වංශයේදී “වසභයා අතට උහු මොනවට රක්නා පිණිස සුණු නැති බුලත් දුන්නීය.” යනුවෙන් සඳහන් පාඨවලට අනුව රාජ රාජ මහා මාත්‍යාදීන් අතරද බුලත් සැපීම ජනප්‍රියව තිබූ බව පැහැදිලිය.

“ සිංහලයන් කැවූම් කෑමටත් වඩා ආශා කරන්නේ බුලත් සැපීමටය. ඔවුහු නැගිට්ට පැදුරේ සිටම බුලත් සපති” යනුවෙන් `එදා හෙළදිව` කෘතියෙන් රොබට් නොක්ස් සදහන් කරයි.

වර්තමානය වන විට ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට පිටුවහලක් වූ බෝගයක් ලෙස බුලත් හැඳින්විය හැකිය. අපනයනය සඳහා ගුණාත්මයෙන් ඉතා ඉහළ බුලත් නිෂ්පාදනය සදහා ශ්‍රී ලංකාව තුළ පවතින ස්වාභාවික සාධක බෙහෙවින්ම ඉවහල් වේ.

නිවර්තන කලාපීය ශාකයක් වන බුලත් වැල මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් දක්වා සාර්ථකව වගා කළ හැකිය. වර්ෂය මුළුල්ලේම හොදින් පැතිරුණු වර්ෂාපතනයක් තිබීම සාර්ථක බුලත් වගාවක් පවත්වා ගැනීමට දායක වේ. ශාකය දීප්තිමත් හිරු එලිය ප්‍රියකරයි. වඩා හොද වගා නඩත්තුවක් ලබා දෙන්නේ නම් ලංකාවේ පවතින මනා ජල වහනයක් සහිත පස් වර්ග වල බුලත් වගාව සාර්ථක ලෙස පවත්වා ගත හැකි අතර විශේෂයෙන් කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්ක වල පවතින බොරළු සහිත ලැටරයිට් පස බුලත් වගාව  සඳහා ඉතාමත් යෝග්‍ය වේ.

බුලත් වගාව අසූව දශකයට පෙර වැඩි වශයෙන් දේශීය පරිභෝජනය සදහා වගා කෙරුණ ද, විදේශීය වෙළදපොළ විවෘත වීමත් සමගම බුලත් සදහා ඉතා හොද විදේශීය වෙළඳ වටිනාකමක්ද ලැබී ඇත. ග්‍රාමීය මට්ටමේ කෘෂි ආර්ථිකයට සවියක් වූ බුලත් වගාව 1980 වර්ශයේ පමණ සිට ප්‍රවර්ධනය වෙමින් මේ වන විට ඉහළ  විදේශ විනිමය ගෙන දෙන බෝගයක් වී ඇත.

සෑම වසරකම යල් කන්නයේදී පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවල ද මාස් කන්නයේ ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල ද මිලෙහි කැපී පෙනෙන වැඩි වීමක් දැක ගත හැකිය. පහත සටහන එය නිවැරදිව පැහැදිලිකරනු ලැබේ.

 මෙයට ප්‍රධානතම හේතුව වන්නේ බුලත් නිෂ්පාදනයේ දී වර්ෂාව වැනි බාහිර සාධක මත ඉල්ලීමට සරිලන නිෂ්පාදනයක් ලබා ගත නොහැකි වීම සහ අස්වනු නෙළන කාලවලදී වියළි කලාපීය ප්‍රදේශ වල වැඩි බුලත් ඉල්ලුමක් ඇති වීමය. එමෙන්ම බුලත් මිල තීරණය කරන බුලත් වගාකරුවන් අතර පවතින සැඟවුණ රහස වන්නේ බැක්ටීරියා කොළ පුල්ලි රෝගය වේ. බුලත් වගාවේ අත්දැකීම් බහුල ගොවිමහතුන් සාර්ථකව මෙම රෝගය මර්ධනය කරගනිමින් ඉහළ අදායමක් ලබාගනී.

 වගාවක් ලෙස ගත් විට බුලත් ඉනි 50 -100 අතර වගා කරන සුළු පරිමාණ වගාකරුවන්ගේ සිට බුලත් ඉනි 15 000 – 20 000 අතර වගා කරන මහා පරිමාණ ගොවීන් දක්වා පුළුල් පරාසයකින් ගොවීහු බුලත් වගාවේ යෙදී සිටිති. මෙවැනි වාණිජ මට්ටමින් බුලත් වගාවේ නියැලුණු ගොවීන් සංඛ්‍යාව 20 000කට ආසන්න වන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

ආරම්භයේ කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් අපනයනය සදහා බුලත් (කළු බුලත්) වගා  කළ ද මේ වන විට කොළඹ, කළුතර වැනි තෙත් කලාපීය බිම් වලද වියළි කලාපයේ වාරි ජල පහසුව ඇති සමහර ප්‍රදේශ වලද කළු බුලත් වගාව ව්‍යාප්තව ඇත.

සංඛ්‍යාත්මක දත්ත අනුව බුලත් වගා වපසරිය හෙක්ටයාර් 1579 ක් පමණ වේ.  (මූලාශ්‍ර ආර්ථික සංගණනය 2014  ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ) එමෙන්ම 2020 වර්ෂයේ මෙට්‍රික්ටොන් 3939.69 ක් අපනයනයෙන් රුපියල් මිලියන 2,942.55ක විදේශ විනිමයක් උපයා ගෙන ඇත. ( ශ්‍රී ලංකා රේගුව 2020) තවද අපනයනය සඳහා කළු බුලත් නිෂ්පාදනය කරන වගා කරුවන් බුලත් කොළ 1000ක් සඳහා දළ වශයෙන් රුපියල් 4055.56ක ආදායමයක් ලබා ගනී. (ශ්‍රී ලංකා රේගුව 2020.)

පහතින් දක්වා ඇති වගුව අනුව දිස්ත්‍රික්ක මට්ටමින් බුලත් නිෂ්පදනයේ වැඩි දායකත්වයක් දක්වන දිස්ත්‍රික්ක පිළිවෙළින් කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්ක වේ.

අපනයන කෘෂි භෝග නිෂ්පාදනය 2020 ( මෙ . ටොන් )

දිස්ත්‍රික්කයබුලත්
කොළඹ120.6
ගම්පහ 2754.0
කළුතර 216.0
මහනුවර 40.5
මාතලේ 72.0
නුවර එලිය 16.5
ගාල්ල 224.0
මාතර 54.0
හම්බන්තොට 44.0
යාපනය 44.0
මන්නාරම 17.6
වව්නියාව 9.0
මුලතිව් 10.8
කිලිනොච්චිය 8.0
මඩකලපුව 290.3
අම්පාර 39.2
ත්‍රිකුණාමලය 204.0
කුරුණෑගල7478.1
පුත්තලම 818.1
අනුරාධපුර180.0
පොලොන්නරුව 157.5
බදුල්ල 49.2
මොනරාගල 84.5
රත්නපුර 150.0
කෑගල්ල336.7
සමස්ථය 13,418.6

ආර්ථික පර්යේෂණ ඒකකය  අපනයන                                                                                                                                         කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන බුලත් වල අවේනික රසය හා සුවඳ නිසා විදේශීය වෙළඳපොළේ දී වැඩි මුදලකට අලෙවි කර ගැනීමට හැකි වී ඇත. කළු බුලත් අපනයනයේදී 99%කට අධික ප්‍රමාණයක ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වන අතර ප්‍රංශය, ජර්මනිය, මාලදිවයින, එක්සත් රාජධානිය වැනි රට වලටද බුලත් සැලකිය යුතු ප්‍රමාණයකින් අපනයනය කෙරේ .

රටප්‍රමාණය (මෙ.ටොන් )රු. මිලියන
ජෝර්දානය0.090 .22
කුවේට්1.741.04
මාලදිවයින2.040.88
පකිස්ථාන3816.022849.31
දෝහා කටාර්2.121.00
සෞදි අරාබි6.085.24
එමීර් රාජ්‍ය1.110.54
සයිප්‍රස්0.040.01
ප්‍රංශය31.159.06
ජර්මනිය2.862.03
ඉතාලිය0 .050.01
නෙදෙර්ලන්තය0.070.08
නොර්වේ0.260.30
ස්වීඩනය0.010.01
සිවිස්ටර්ලන්තය2.492.81
ඇමරිකාව72.8569.51
කැනඩාව0.070.12
ස්වාසිලන්තය 0.290.36
එකතුව3939.68 2942.55

(ශ්‍රී ලංකා රේගුව 2020.)

සැකසුම : මාලනී චන්ද්‍රරත්න  (පර්යේෂණ හා සංවර්ධන සහකාර)අතුරුවගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයදම්පෑලැස්ස – නාරම්මල

Recommended For You

About the Author: Thusal