ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් රුධිර කැටි ඇතිවීමට හේතුව සොයාගැනේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු අතිශය කලාතුරකින් ඇතිවිය හැකි රුධිර කැටිවලට තුඩු දෙන “ප්‍රේරකය” තමන් සොයාගත් බව විද්‍යාඥයින් පිරිසක් විශ්වාස කරයි.

එක්සත් රාජධානියේ කාඩිෆ්හි සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, රුධිරයේ ඇති ප්‍රෝටීනයක් එන්නතෙහි අඩංගු ප්‍රධාන සංඝටකයකට ආකර්ෂණය වන ආකාරය ඉතා විස්තරාත්මකව පෙන්වා දීමට සමත්ව තිබේ.

මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කරන අතර, එනිසා අවසානයේ භයානක රුධිර කැටි ඇති විය හැකි බවත් ඔවුහු විශ්වාස කරති.

මෙම එන්නත, මිලියනයක් පමණ ජීවිත කෝවිඩ්වලින් බේරාගෙන ඇතැ යි සැලකේ.

කෙසේ වෙතත්, දුර්ලභ රුධිර කැටි පිළිබඳ සැලකීම නිසා, බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට විකල්ප එන්නතක් ලෙස එය ලබාදීම ද ඇතුළුව, ලොව පුරා එය භාවිත වන ආකාරය වෙනස්කම්වලට ලක්විය.

එමෙන්ම සිදුවමින් පවතින්නේ කුමක් ද සහ එය වළක්වාගත හැකි ද යන්න සොයා බැලීම සඳහා ‘විද්‍යාත්මක රහස් පරීක්ෂණයක්’ ද දියත්කෙරිණි. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා කාඩිෆ් පර්යේෂකයින් කණ්ඩායමට එක්සත් රාජධානි රජයේ හදිසි අරමුදල් ද ලබා දෙන ලදී.

මෙම කණ්ඩායමේ පූර්ව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ විද්‍යාඥයෝ ද මෙම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා සහභාගී වූහ.

ඇස්ට්‍රාසෙනෙකාහි මාධ්‍ය ප්‍රකාශිකාවක් අවධාරනය කළේ, රුධිර කැටි ඇති කිරීමට වැඩි සම්භාවිතාවක් දරන්නේ එන්නතට වඩා කොවිඩ් ආසාදනය බව යි. එමෙන්ම, මෙයට හේතුව තවමත් සම්පූර්ණයෙන්ම පැහැදිලිකර ගෙන නැතිබවත් ඇය ප්‍රකාශ කළා ය.

“මේ පර්යේෂණයෙන් නිශ්චිත ප්‍රතිඵලයක් නොදුන්නත් එය ඉතාමත් ප්‍රයෝජනවත් දැනුමක් අපට ලබා දෙනවා. මේ අතිශය දුර්ලභ අතුරු ආබාධය ඉවත් කිරීමට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් දරන ප්‍රයත්නයේ කොටසක් විදියට, අපි මේ සොයාගැනීම් රුකුලක් කරගන්න විදියක් සොයමින් ඉන්නවා,” ඇය වැඩි දුරටත් පැවසුවා ය.

Graphic explaining how blood clots form
ඡායාරූප ශීර්ෂ වැකිය,ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා ලේ කැටි ඇතිවෙන්නේ මෙහෙම යි

දුර්ලභ රුධිර කැටි පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමේ දී පර්යේෂකයන් සතුව මූලික ඉඟි දෙකක් තිබුණි:

  • එන්නත් සඳහා උපයෝගී කරගත් සමහර තාක්ෂණයන් පමණක් රුධිර කැටි ඇතිවීමේ වැඩි අවදානමක් පෙන්වීය
  • රුධිර කැටි ඇතිවූ පුද්ගලයින්ගේ රුධිරයේ, “ප්ලේට්ලට් ෆැක්ටර් 4” (PF4) නම් රුධිර ප්‍රෝටීනයට පහර දෙන අසාමාන්‍ය ප්‍රතිදේහ තිබුණි.

එක්සත් රාජධානියේ භාවිතා කරන එන්නත් සියල්ලම, කොවිඩ් වෛරසයේ ජාන කේතයේ කුඩා “කොටසක්” සිරුරරට එකතු කිරීම මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඊට එරෙහිව පුහුණු කිරීම සිදු කරයි.

මෙම ජාන දත්ත ඇතැම් එන්නත්වලට ඇතුළු කරන්නේ මේද ගෝලිකා තුළ කේතනය කිරීමෙන් වන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දී මේ අන්වීක්ෂීය “තැපැල්” රාජකාරිය කරන්නේ ඇඩිනෝවෛරසයකි (නිශ්චිතවම කිවහොත් චිම්පන්සියන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරසයක්).

පර්යේෂකයන් සිතන්නේ මෙම ඇඩිනෝවෛයිරසය සහ ඇතැම් පුද්ගලයින්ට ඇති වන දුර්ලභ කැටි අතර සබඳතාවක් තිබිය හැකි බව යි.

එනිසා ඔවුහු ක්‍රියෝ-ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නම් තාක්ෂණය භාවිත කර, ඇඩිනෝවෛයිරසය අණුක මට්ටමේ විස්තර සහිතව ඡායාරූපගත කිරීමට ක්‍රියා කළහ.

සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ අධ්‍යයනය හෙළි කරන්නේ ඇඩිනෝවෛයිරසයේ පිටත පෘෂ්ඨය PF4 ප්‍රෝටීනය චුම්බක බලයකින් මෙන් එය වෙත ආකර්ෂණයකර ගන්නා බව යි.

“ඇඩිනෝවෛයිරසයට අතිශයින්ම සෘණ ආරෝපණ සහිත පෘෂ්ඨයක් තියෙන්නේ. ප්ලේට්ලට් ෆැක්ටර් 4 ප්‍රෝටීනයට අතිශයින් ධන ආරෝපිත යි. මේ දෙක ඉතා හොඳින් එකිනෙක හා සම්බන්ධ වෙනවා,” කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන්ගෙන් අයෙකු වන මහාචාර්ය ඇලන් පාකර් බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.

“ඇඩිනෝවෛයිරසය සහ ප්ලේට්ලට් ෆැක්ටර් 4 ප්‍රෝටීනය යන දෙකේ ප්‍රධානතම “වැරදිකරුවන්” අතර සම්බන්ධය ඔප්පු කිරීමට අපට හැකිවෙලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

“අපට මේ හමුවෙලා තියෙන්නේ පූරකය. නමුත් මෙතනින් ඉදිරියට ගන්න සිද්ධ වෙන පියවර රාශියක් තියෙනවා.”

Detailed image of Coronavirus
ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ප්‍රවාහනය” කරන ඇඩිනෝවෛරසයේ ඉතා සවිස්තරාත්මක පින්තූරයක්. මෙහි විෂ්කම්භය නැනෝමීටර 100ටත් වඩා අඩු ය

පර්යේෂකයන්ට සිතන පරිදි ඊළඟ අදියර වන්නේ “ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ව්‍යාකූලබව” යන සංසිද්ධිය යි. නමුත් මෙය වැඩිදුර පර්යේෂණවල දී තහවුරු කළ යුතුව තිබේ.

දැනට විශ්වාස කෙරෙන අන්දමට, PF4 ප්‍රෝටීන යනු තමා තුළට ඇතුළු වූ ආගන්තුක ඇඩිනෝවෛයිරසයේ කොටසක් බවට වරදවා වටහාගන්න මිනිස් සිරුර ඒවාට පහර දීමට පටන් ගනියි. එහිදී සිරුර ප්‍රතිදේහ රුධිරයට මුදා හරින අතර, එය PF4 සමග එකතුවී භයානක රුධිර කැටි ඇතිවීමට මඟ පාදයි.

කෙසේ වෙතත්, මේ සඳහා ‘අවාසනාවන්ත සිදුවීම් මාලාවක්’ අවශ්‍ය වන අතර, මෙසේ රුධිර කැටි ඇතිවීම ඉතා දුර්ලභ වන්නේ මන්දැ යි එමඟින් පැහැදිලි වේ.

“එන්නත්-ප්‍රේරිත ප්‍රතිශක්ත ත්‍රොම්බොටික් ත්‍රොම්බොසයිටොපීනියා” ලෙස හඳුන්වන මෙම රුධිර කැටි, එක්සත් රාජධානිය තුළ ලබා දී ඇති ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 50කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වූ මරණ 73ක් සමග සම්බන්ධ බව සොයාගෙන ඇත.

“මෙහෙම දෙයක් සිදුවෙනවා කියලා කිසි විටෙකත් අනාවැකියක් කියන්න බැහැ වගේම, එහෙම වෙන අවස්ථාවන් නොගිණිය හැකි තරම් කුඩා යි. ඒ නිසා අපි විශාල පින්තූරය දිහා බලලා, මෙම එන්නත බේරාගත් ජීවිත සංඛ්‍යාව පිළිබඳව මතක තබාගත යුතු යි,” යි මහාචාර්ය පාකර් ප්‍රකාශ කළේ ය.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම පැවසුවේ මෙම එන්නත ලොව පුරා මිලියනයකට වඩා වැඩි ජීවිත බේරාගෙන ඇතිබවත්, කෝවිඩ් ආසාදනයවීම් මිලියන 50ක් පමණ වැළැක්වීමට ක්‍රියාකර ඇති වගත් නිගමනය කෙරෙන බව යි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “එන්නත සමග බැඳුණු මේ ඉතා දුර්ලභ අතුරු ආබාධවලට හේතුත්, ඒවා පිළිබඳ නව තොරතුරුත් අපි ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. එමෙන්ම මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මේ එන්නත ඉතා ඵලදායී මෙවලමක් වන බවත් සැබෑ ලෝකයේ සඵලතා දත්ත මඟින් සහතික කර තිබෙනවා.”

බර්මින්හැම් විශ්වවිද්‍යාල රෝහල් භාරයේ රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විල් ලෙස්ටර්, මෙම “සවිස්තරාත්මක” පර්යේෂණය ප්‍රශංසා කරමින්, මෙය රුධිර කැටි ඇතිවීම්වලට පැහැදිලි කිරීමේ ‘ආරම්භක පියවර’ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව පැවසුවේ ය.

“සමහර පුද්ගලයින්ට අනෙක් අයට වඩා වැඩි අවදානමක් තිබෙනවා ද, මොළයේ සහ අක්මාවේ ශිරා තුළ රුධිරය කැටිගැසීම බහුලව සිදුවන්නේ ඇයි ද වගේ ගොඩක් ප්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නැහැ. එහෙත්, කාලය හා වැඩිදුර පර්යේෂණ සමග මේවාට පිළිතුරු ලැබේවි,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම දුර්ලභ සිදුවීම්වල අවදානම අවම වන පරිදි අනාගතයේ දී ඇඩිනෝවෛයිරස් මත පදනම් වූ එන්නත් වැඩිදියුණු කිරීමට මෙම සොයාගැනීම් භාවිතා කළ හැකි වේයැ යි කාඩිෆ් කණ්ඩායමේ පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි.

bbc sandesaya

Recommended For You

About the Author: Thusal