කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1,374ක් ගැන නවතම හෙළිදරව්වක්

සමස්ත ගංගා ජාලයම දූෂණය වන ස්ථාන 10,733ක්

සීතාවක සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැලණි ගඟ අපවිත්‍ර වන ස්ථාන සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්.

ශ්‍රී ලංකා නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් ආයතන රැසක සහයෝගයෙන් මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබුණේය.

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) රටේ සමස්ත ගංගා ජාලයම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කර ඇත. එම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාවේ දූෂිතම ගංගාව කැලණි ගඟ වන අතර ගම්පහ සහ කොළඹ ජනගහණයෙන් 80%කට වඩා පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ කැළණි ගංගාවෙන් බව ද අමාත්‍යවරයා පැවසීය.

“අපේ රටේ ගංගා 103ක් තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කරන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයට අනුව සමස්ත ගංගා ජාලයම දූෂණය වන ස්ථාන 10,733ක් සොයාගෙන තිබෙනවා. ඒ සියල්ලටම වඩා දූෂිතම ගංගාව කැලණි ගඟයි. කොළඹ නගර ප්‍රදේශයේ අපවිත්‍ර ස්ථාන 797ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 577ක් ඇතුළුව ස්ථාන 1374 කදී කැළණි ගගට අපද්‍රව්‍ය එක්වීම සිදුවෙනවා‘‘ යැයි ද පරිසර අමාත්‍යවරයා පැවසීය.

‘සුරකිමු ගඟ වැඩසටහන‘ යටතේ ලබන වසරේ දෙවැනි විශාලතම ගංගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගත යුතු බව තමා යෝජනා කළ බවද ඔහු පැවසීය. .

“අපි මැණික් හා වලවේ ගංගා සංරක්ෂණයටත් ප්‍රමුඛත්වය දෙනවා. ඒ අනුව 2021 වසර සඳහා වෙන් කරන මුදලින් මේ වසරේ දිස්ත්‍රික්ක 24ටම ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර තිබෙනවා. 2022 වන විට කැලණි ගඟ පිරිසුදු කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි අද මේ නිරීක්ෂණ චාරිකාව කරන්නේ,” අමාත්‍යවරයා පැවසීය

Recommended For You

About the Author: Thusal