පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමිය කඩිනම් සංවර්ධනයට පියවර

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ  අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

සොළොස්මස්ථාන පූජා භූමිය විදුලියෙන් ආලෝකමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොළොන්නරුව  සොළොස්මස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියෝ පෙන්වා දුන්හ.

ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා වෙත  දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා ලබන වසරේ මැයි මාසයේ සිට පූජා භූමිය ආලෝකකරණයේ විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාට උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට පූජා භූමිය තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකිවන ලෙස පූජා භූමිය  ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස්  දෙමින් අග්‍රාමාත්‍යතුමා පූජා භූමි සංවර්ධන සැළසුම කෙරෙහි  සිය විශේෂ අවධානය යොමු කළේය.

මනම්පිටියේ වැලි ගොඩදැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන  ආදායමෙන් යම් කොටසක් පූජා භූමි සංවර්ධනයට ලබාදෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාට දැනුම් දුන්නේය.

පූජා භූමියේ සිදුකරන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහය ලබාදෙන ලෙස මෙහි වැඩ සිටි  භික්ෂූන් වහන්සේලා අග්‍රාමාත්‍යතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

Recommended For You

About the Author: Thusal