මෙරට ප්‍ර‍ථම වරට ජාතික කාබනික ප්‍ර‍මිතිය අනුව වගාබිම් හා සැකසුම් මධ්‍යස්ථාන සහතික කෙරෙයි

ජාතික කාබනික ප්‍ර‍මිතිය අනුව වගාබිම් හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා කාබනික සහතිකය ලබා දීම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා (2021.12.06) වෙළඳ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ සඳහා සුදුසුකම් ලත් ගොවි සංවිධාන විස්සක් (20) වෙත සහතික පත් ප්‍ර‍දානය සිදුවිය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින ජාතික කාබනික පාලන ඒකකය (NOCU) මගින් ගොවීන් සහ ගොවි සංවිධාන සඳහා ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය, එනම් SLS:1324 අනුව කාබනික සහතිකය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික කාබනික ප්‍රමිතිය අනුව වගා බිම් හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා කාබනික සහතිකය ලබා ගත් ප්‍රථම කණ්ඩායම වනුයේ විසි දෙනෙකුගෙන් (20) සමන්විත ‍මෙම කණ්ඩායමයි. මෙම නිෂ්පාදකයන් වෙළඳපොළ වෙත සම්බන්ධ කරමින් ජාත්‍යන්තර කාබනික සහතිකය ලබා ගැනීම සඳහා උනන්දු කරවීම ඉදිරියේදී සිදුවනු ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය විසින් කාබනික නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කරන ලදී. “අද අපේ රටට ඉතා වැදගත් දිනයක්. ශ්‍රී ලංකාවට ජාතික කාබනික ප්‍ර‍මිතියක්, SLS 1324:2018 නමින් කාබනික නිෂ්පාදන සහතික කිරීම සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීම අප ලැබූ ජයග්‍ර‍හණයක්. එසේ ම ජාතික කාබනික පාලන ඒකකය පිහිටුවීම සඳහා ඇප කැප වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් හා ඒ සඳහා කටයුතු කළ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට මාගේ ස්තුතිය පළ කරනවා. ඒ අනුව කාබනිකව නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන නිෂ්පාදකවරුන් 20 දෙනෙක් සඳහා SLS 1324:2018 යටතේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද අපි එක්ව සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් මෙරට මහපොළොව, වස විසෙන් තොරව, රසායන ද්‍රව්‍යවලින් තොරව පවත්වා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කොට මෙරට මෙන්ම, ආහාර තුළින් ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගනු ලැබුවා. එහි සංධිස්ථානයක් වශයෙන් අද දින මේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම පෙන්වා දිය හැකියි. ඒ අනුව සාම්ප්‍රදායික අපනයන භෝග මෙන්ම භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොල විවිධාංගීකරණය මෙන්ම නවෝත්පාදනය හා අගය එකතු කිරීම තුළ අපනයන ආදායම් වර්ධනය කරගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය සෑම සහයෝගයක්ම ලබා දෙනවා. එමෙන්ම මේ වන විට ලොව පුරා කාබනික නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින තීව්‍ර වෙමින් පවතිනවා. අපනයන වෙළෙඳපොල සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතුව මෙම කාබනික නිෂ්පාදන සිදු කිරීම තුළින් ගෝලීය වෙළෙඳපොල තුළ වඩ වඩාත් ශක්තිමත් අවකාශයන් සකසා ගත හැකි බව පෙනෙනවා. එබැවින් ලොව පුරා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ඇති මෙම වටිනාකම් සුරක්ෂිත කරගනිමින් අපේ රටේ නිෂ්පාදන කෙරෙහි ඇති විශ්වාසනීයත්වය මෙන්ම රටේ නිෂ්පාදනවලට ඇති කීර්තිනාමය සුරැකෙන ආකාරයට සිය නිෂ්පාදන අපනයනය කිරීම සිදු කළ යුතු බව පෙන්වා දෙන්න කැමතියි.”

ජාතික කාබනික පාලන ඒකකය (NOCU) යනු 1979 අංක 40 දරණ අපනයන සංවර්ධන පනතේ 29 යන වගන්තියෙහි විධිවිධානවලට අනුකූලව 2014 ජූලි 11 වන දින නිකුත් කරන ලද අංක 1870/71 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ස්ථාපිත වූ ඒකකයකි.

ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය, සහතික කිරීම හා අලෙවියට අදාළ සියලු කටයුතු අධික්ෂණය කරමින් ආනයන සහ අපනයනය කරනු ලබන සියලුම කාබනික නිෂ්පාදනවල විශ්වාසනීයත්වය සහ සුරක්ෂිතතාවය තහවුරු කිරීම ජාතික කාබනික පාලන ඒකකයේ කාර්යභාරයයි. තව ද දේශීය වෙළඳාමේදී මෙන්ම අන්තර්ජාතික වෙළඳාමේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම මෙම ඒකකයේ මූලික පරමාර්ථයයි.

ලෝකයේ කාබනික නිෂ්පාදන සඳහා යොමුවී සිටින සියලු රටවල් ඒ සඳහා ජාතික කාබනික ප්‍රමිතියක් සකස් කර ඇති අතර පසුව එය ජාත්‍යන්තර ප්‍රමිතියක් දක්වා උසස්කර තිබෙයි. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා ජාතික කාබනික ප්‍රමිතියක අවශ්‍යතාවය හඳුනා ගනිමින් එම ප්‍රමිතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග එක්ව 2018 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

එම ප්‍රමිතිය නියාමනය සඳහා ජාතික කාබනික පාලන ඒකකය මගින්, ජාතික කාබනික ලාංඡනය, සහතිකකරණය හා භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ  හඳුන්වා දෙන ලදී. ඒ සමගම ජාතික කාබනික ප්‍රමිතිය අනුව සහතිකකරණය සඳහා ප්‍රතීතනය ලබා ගැනීමට දේශිය හා විදේශිය සහතිකකරණ ආයතන දිරි ගන්වනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට CONTROL UNION INSPECTION ආයතනය SLS 1324 (2018 කාබනික ප්‍රමිතිය අනුව සහතිකකරණය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් ප්‍රතීතනය ලබා ගෙන ඇත.  

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ජාතික කාබනික ප්‍රමිතිය අනුව සහතිකකරණය ලබා දීම සඳහා ආධාර වැඩසටහනක් 2020 වසරේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ කෘෂිකාර්මික ගොවි බිම් සහ කෘෂි නිෂ්පාදන සැකසුම්කරුවන් කාබනික කෘෂිකාර්මික පිළිවෙත්වලට හුරු කරවිමයි. ඒ මගින් අන්තර් ජාතික කාබනික ප්‍රමිතීන් අනුව කාබනික සහතිකය ලබා ගැනීම දක්වා දිරි ගැන්විමයි.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදනවලට අදාලව ඉහළ ඉල්ලුමක් අපේක්ෂා කළ හැකි අතර එමගින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාවක් පවතියි. එසේම වස විසවලින් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දීම තුළින් සෞඛ්‍ය තත්වය උසස් කිරීමත්, ගොවියාගේ ජීවන තත්වය නංවාලීමත් සිදු කළ හැකිය.

කාබනික නිෂ්පාදකයන් විසි දෙනෙකු මෙම සහතික පත්‍ර සඳහා සුදුසුකම් ලැබීය.

1. Green vanilla ventures (Pvt)Ltd

2. Siyambalakale Henyaya

3. Pintanna Plantations (Pvt) Ltd

4. Sharmila products

5. Organic Agro Lanka (Pvt) Ltd

6. Senikma Holdings (Pvt) Ltd

7. Hiru Lanka

8. Rabuke Estate

9. Chavi Krushi Nishpadana

10. HMC cultivations

11. Cinnamon one (Pvt) Ltd

12. Chilaw Plantations Ltd

13. Thilona Products

14. P.N.Agri Farm

15. Sustaining Hands Holy cross export enterprise

16. J T Good foods company (Pvt) Ltd

17. Uthayan Micro Irrigation & system

18. Nithi Fruit plant nursery

19. Tholagatty products

20. Adampan Bio (Pvt) Ltd

Recommended For You

About the Author: Thusal