තැන තැන පුපුරා යන ‘කාබනික දියර පොහොර‘ හදන තැන සොයා ගිය ගමන

ප්‍රමිතියෙන් තොර බෝතල් නොවීම ප්‍රධාන ගැටලුවක්

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට  ප්‍රධානතම හේතුව ඇසුරුම් සහා උසස්  තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති.

දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය.   පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී  සහ අතිරේක බෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ස්ථානය සොයා ගිය අවස්ථාවේදී එහි නිෂ්පාදකයින් මේ බව සඳහන් කළහ.

 හබරණ  තරැස්කොටුව ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය දියර පොහොර නිෂ්පාදනය  කරනු ලබයි. මෙම ස්ථානයේ සිදු කෙරෙන ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ජනතාව නගන චෝදනා  පිළිබඳව එහි හිමිකරු, කළමනාකරුවන්ගෙන් සහ සේවකයන්ගෙන් කරුණු විමසීමට අප උත්සාහ කළෙමු.


සි .බි.නාගොල්ලේ ගෙදර මහතා

රජයේ සහනාධාර යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ බෙදාහරින කාබනික දියර පොහොර ආයතනයේ හිමි හිමිකරු සි. පී. නාගොල්ලේ ගෙදර මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන්  පොළොන්නරුව දිස්ත්‍රික් ගොවීන් සඳහා මෙම දියර පොහොර රජයට ලබා දීම සිදු කරන බවය. ඉතා වගකීමෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සීයට සීයක් කාබනිකව දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම උසස් තත්ත්වයේ  කාබනික දියර පොහොර ය නිෂ්පාදනය කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම එහි ව්‍යාපෘති නිලධාරී ප්‍රේමරත්න ගමගෙදර මහතා කියා සිටියේ දේශීය වගාවන් සදහා  ඉතා සාර්ථක  නිෂ්පාදනයක් මෙහි  සිදුකෙරෙන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මෙම ආයතනයේ කළමනාකරු අසංක සමරසේකර මහතා, ‘ අපි මේ කාබනික දියර පොහොර නිෂ්පාදනය සඳහා දිවයිනේ විවිධ  ප්‍රදේශවලින් ඉවත ලන මුහුදු මාළු  කොටස් තමයි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ. ඒවා  හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පිහිටි මෙම  නිෂ්පාදනාගාරයට රැගෙනවිත් සියුම්ව කුඩුකර දියර බවට පත්කරමින් මාසයක පමණ කාලයක් මෙම ස්ථානයේ විශාල ප්ලාස්ටික් බැරල් වල තබා තවත් අමු ද්‍රව්‍ය කිහිපයක් එක් කරමින් මෙම දියර පොහොර නිපදවනවා. එමෙන්ම ඒවා සියලු තත්ත්ව පරික්ෂා කිරීම් සිදු කොට වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව තමයි ගොවි සංවිධාන වෙත නිකුත් කිරීම සිදුවන්නේ‘ සමරසේකර මහතා අප සමඟ පැවසීය.


කළමනාකාර අසංක සමරසේකර මහතා

මෙම  දියර පොහොර සම්බන්ධයෙන් ජනතාව නගන ප්‍රබලතම චෝදනාව වන ඒවා පිපිරී යාම සහ ඉන් වහනය වන අධික දුර්ගන්ධය පිළිබඳව අප ප්‍රශ්න කළ විට ඒ සම්බන්ධයෙන් සිය අදහස් දැක් වූ අසංක සමරසේකර මහතා කියා සිටියේ ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් කෑන් බෝතල්  නොමැති වීම  මෙම ක්‍රියාවලියට බරපතලව බලපා තිබෙන බවය. මෙම මසුන්ගේ කොටස් දින  ගණනාවක් පල් කිරීමෙන් අනතුරුව ලබා ගන්නා පොහොර දියරය යම්කිසි පළුද්දක් ඇති ඇසුරුමක් තිබුණහොත් ඒවා පුපුරා එළියට ගලා යෑම සිදුවන බව පෙන්වා දුන්නේය.

‘‘මේ වන විටත් ලංකාවේ ප්ලාස්ටික් කෑන් වල ගුණාත්මකභාවය සහ ඒවායේ නිෂ්පාදන අවම වීම නිසයි මෙම  තත්ත්වය උදා වී තිබෙන්නේ. එසේ නොමැති නම් මෙම ස්ථානයේ සේවය කරන 60කට අධික සේවක පිරිස් ඉදිරියේ විශාල බැරල් පුපුරා  යෑමක් සිදුවිය යුතුයි. එහෙත් මේ දක්වා එවැනි සිදුවීමක් වුණේ නැහැ. ඒ වගේම මම අවධාරණයෙන් කියන්න කැමැතියි එවැනි කිසිදු අනතුරක් මෙම කාබනික දියර පොහොර තුළ නැති බව‘‘


මත්ස්‍ය කොටස් වෙන් කරන හැටි

අසංක සමරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට තම ආයතනය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවී සංවිධාන වෙත දියර පොහොර  ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙන බවයි.

‘ප්‍රමිතියෙන් තොර ඇසුරුම් කිහිපයක් හසුවීමෙන් ස්ථාන කිහිපයකදී දියර කාබනික පොහොර බෝතල් පුපුරා යෑම සිදු වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා‘‘ ඔහු පෙන්වා දුන්නේය.

සියලු පරීක්ෂණ වාර්තා ලබාගෙන නියම  ප්‍රමිතියෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම කාබනික දියර පොහොර  නිෂ්පාදනය කරන බවත් ඕනෑම අයෙකුට හතරැස් කොටුව මෙම කම්මලට පැමිණ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

‘‘අපේ නිෂ්පාදනාගාරය තිබෙන්නේ අතිෂය දුෂ්කර ස්ථානයක. මෙම ස්ථානයේ විදුලි බලය හෝ නැහැ. ඒ නිසා අපි ජෙනරේටර් වලින් තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ සඳහා අපි ප්‍රදේශවාසීන්ගේ තාක්ෂණය ඥානයත් ලබා ගත්තා. මෙහි යන්ත්‍ර සුත්‍ර නිර්මාණය සිදුකළේ ඒ අනුවයි‘‘ තත්ව  කළමනාකරු ප්‍රදීප් නුවන් මහතා පෙන්වා දුන්නේය.


ප්‍රදීප් නුවන් මහතා

කාබනික දියර පොහොර යොදාගෙන සාර්ථක වගාවන් සිදු කර ඇති ගොවීන් දහස් ගණනකගේ හඬ කිසිදු ආකාරයෙන් ජනමාධ්‍ය තුළින් වාර්තා නොවන බවට ද ඔහු චෝදනා කළේය.

‘මෙහි සාර්ථක කතා දස දහස් ගණනක් තිබෙනවා. ඒත් කිසිම මාධ්‍යයක් ඒ ගැන වාර්තා කරන්නේ නැහැ. එහෙත්  ඇසුරුම් වල පවතින දුර්වලතාවයක් හා ගබඩා කිරීමේ දී  නිසි පරිදි ගබඩා නොකොට උඩ යට මාරු කොට ඇසුරුම් ගබඩා කිරීම නිසා සිදුවන ගැටලු කිහිපයක් පමණක් මාධ්‍ය මහත් ඉහළින් වාර්තා කරනවා. අපි කියන්නේ මෙවැනි හුදකලා සිදුවීම් කිහිපයක් පමණක් යොදා ගෙන  ගොවියා අපහසුතාවයකට පත් නොකළ යුතු බවයි‘‘

තම ආයතනය විසින් නිෂ්පාදනය කරන කාබනික දියවර පොහොරවල සාර්ථකත්වය ඕනෑම පරීක්ෂණාගාරයකට ගොස් පරික්ෂා කරන ලෙසත් කිසිදු ආකාරයෙන්  රසායනික හෝ මිනිස් සිරුරට අහිතකර කිසිවක්  නොමැති බවද නුවන් ප්‍රදීප් මහතා පෙන්වා දුන්නේය.

මෙම කාබනික දියර පොහොරවල දැඩි දුර්ගන්ධයක් පවතින බවට ගොවීන් නගන චෝදනා ගැන අප විමසූ විට ඔහු කියා සිටියේ,

‘මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන්නේ මසුන්ගේ කොටස් වලින්. ඒ නිසා එයින් දුර්ගන්ධයක් වහනය වීම ස්වභාවික තත්ත්වයක්. එම ගඳ වහනය වීම වගාවේ කෘමි  පාලනයට සුවිශාල වූ දායකත්වයක් ලබාදෙනවා‘ යැයි ඔහු කීවේය.


චන්දිමා උදයංගනී මහත්මිය

මෙහි සේවය කරන හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පදිංචි  චන්දිමා උදයංගනී නැමැති සේවිකාව කියා සිටියේ තම ප්‍රදේශයට කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ආයතනය පැමිණීම නිසා ප්‍රදේශයේ කාන්තාවන් සහ පිරිමි 60 දෙනකුට පමණ දිනපතා රැකියා ලැබුණු බවය.

‘‘අපේ වගේ දුෂ්කර ප්‍රදේශයකට මෙවැනි කර්මාන්ත ශාලාවක් පැමිණීම ආශිර්වාදයක්. අපි මේ ස්ථානයේ ඉතා සතුටින්  සේවය කරනවා. අපේ සහෝදර ගොවි ජනතාව වෙනුවෙන් සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්. මේ බෝතල් පුපුරා යන බව සමහරු කියනවා. ඒත් අපි කාලයක් තිස්සේ මෙතැන සේවය කරනවා. ඒත් එවැනි අනතුරක් අද දක්වා සිදු වුණේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ගැටලුවක් තිබෙනවා නම් ඒක අපිටත් සිදුවිය යුතුයිනේ. ඒත් අපි ඉතාම ආරක්ෂිතව සේවය කරනවා‘ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Recommended For You

About the Author: Thusal