ඇල්සයිමර් ඩිමෙන්ශියාවට එරෙහිව ‘වයාග්‍රා’ ප්‍රයෝජනවත් වෙයි ද ?

ලිංගික බෙලහීනතාව සඳහා භාවිතා කරන වයාග්‍රා පෙති ඇල්සයිමර් රෝගයට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් විය හැකියැ යි, එයින් මොළයට වන බලපෑම් අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද පර්යේෂකයෝ පිරිසක් පවසති.

මෙම ඖෂධය, එම වර්ගයේ ඩිමෙන්ශියාව තිබිය දී එක්රැස් වන ප්‍රෝටීනවලින් සමහරක් ඉලක්ක කරනබව එම සෛල පිළිබඳව සිදුකළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ක්ලීව්ලන්ඩ් පර්යේෂකයන් කණ්ඩායම රෝගීන් මිලියන හතකගේ දත්ත විශ්ලේෂණය කළ අතර, ඖෂධය ලබාගන්නා පිරිමින්ට ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම අඩු බව එහිදී සොයා ගැනුණි.

මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කිරීම වටනේයැ යි නේචර් ඒජින් සඟරාව මඟින් ඔවුන් පවසා සිටියි.

රෝගයක් සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් නිපදවනවාට වඩා, පවත්නා ඖෂධයක් ඒ සඳහා භාවිතා කිරීම ඉක්මන්, සරල සහ ලාභදායී වන හෙයින්, මෙවැනි පර්යේෂණ ඉතාමත් වැදගත් බව යි විශේෂඥයන් පවසන්නේ.

නිල් පෙත්ත

සිල්ඩෙනෆිල් යන වර්ගීය නාමය දරන වයාග්‍රා මුල දී නිපදවුණේ හෘද ඖෂධයක් ලෙසට ය. එහි ප්‍රධාන කාර්යය වන්නේ රුධිර නාල ඉහිල් කිරීම හා පුළුල් කිරීම මඟින් රුධිර ප්‍රවාහය පහසු කිරීම යි.

එය ශිෂ්ණයේ ධමනි ද ඇතුළුව, ශරීරයේ වෙනත් ස්ථානවලට ද සමාන බලපෑමක් ඇති කිරීමට සමත් බව වෛද්‍යවරුන් පසුව සොයාගත් අතර, ඉන් පසුව එය ශිෂ්ණය ඍජු නොවීමට එරෙහිව සාර්ථක ප්‍රතිකාරයක් ලෙස වැඩිදියුණු කෙරිණි.

නමුත් විශේෂඥයින් සිතන්නේ එය වෙනත් රෝග සඳහා ද ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි බවයි. මේ වන විට, “පුප්ඵුසීය අධ්‍යාතතිය” ලෙස හැඳින්වෙන පෙනහැලි රෝගී තත්ත්වය සඳහා පිරිමින් මෙන් ම කාන්තාවන් සඳහා ද සිල්ඩෙනෆිල් භාවිතා වේ.

ඇල්සයිමර් ඩිමෙන්ශියාවෙන් පසු, ඩිමෙන්ශියාවේ වඩාත්ම සුලබ ආකාරය වන “සනාල ඩිමෙන්ශියාව” – එනම් අඩු වූ රුධිර ප්‍රවාහය නිසා මොළයට හානිවීමෙන් ඇතිවන ඩිමෙන්ශියා තත්ත්වය – වැළඳීමේ අවදානම ඇති පුද්ගලයින්ට මෙය ප්‍රතිකාරයක් වනු ඇත් ද යන්න විද්‍යාඥයින් මෑතක දී ගවේශනයකර තිබේ.

මේ වන විට පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය ඇල්සයිමර්වලට ප්‍රතිකාරයක් ලෙසට ද යොදාගත හැකි බව යි.

මෙම වර්ගයේ ඩිමෙන්ශියාවට සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති නමුත්, එය වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ අසාමාන්‍ය ප්‍රෝටීන් තැන්පතු ඇති බව සොයාගෙන තිබේ.

ක්ලීව්ලන්ඩ් කණ්ඩායම සොයාගත් කරුණු:

  • ඖෂධයේ අධිමාත්‍රාවකින් (සාමාන්‍යයෙන් මිනිසෙකු ලබාගන්නවාට වඩා වැඩි ප්‍රමාණයක්) ඖෂධය ලබාගැනීම, මොළයේ සෛල වර්ධනය වැඩි කිරීම සහ ප්‍රෝටීන් තැන්පත් වීම අඩු කිරීම සිදු කරන බව, මානව පටක භාවිතාවෙන් සිදුකළ විද්‍යාගාර අධ්‍යනයන්ගෙන් හෙළි වී තිබේ.
  • මිලියන 7.23 කට වැඩි පුද්ගලයින්ගේ පුද්ගලික වෛද්‍ය දත්ත මත පදනම්ව වසර හයක් පුරා සිදුකළ අධ්‍යයනයන්ට අනුව, සිල්ඩෙනෆිල් ඖෂධය භාවිතා කරන පුද්ගලයන්ට එය භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා ඇල්සයිමර් රෝගය වැළඳීමේ සම්භාවිතාව අඩු ය.

මෙම සොයාගැනීම් දිරිගන්වනසුළු නමුත් තව දුරටත් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයැ යි ප්‍රධාන පර්යේෂක, වෛද්‍ය ෆෙයිෂොන්ග් චෙන් පැවසුවේ ය.

“මේ දක්වා අපගේ සොයාගැනීම් හෙළි කරන්නේ සිල්ඩෙනෆිල් භාවිතය සහ ඇල්සයිමර් රෝගය වැළඳීම අවමවීම අතර සම්බන්ධයක් ඇතිබව පමණ යි. අපි දැන් යාන්ත්‍රික පරීක්ෂාවක් මෙන්ම ඇල්සයිමර් රෝගීන් සඳහා සිල්ඩෙනෆිල්හි සායනික ප්‍රතිලාභ තහවුරු කිරීම සඳහා සායනික අත්හදාබැලීමක් සැලසුම් කරමින් සිටිනවා.”

එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ මොළය පිළිබඳ පර්යේෂණ විශේෂඥ මහාචාර්ය ටාරා ස්පයර්ස්-ජෝන්ස් පවසන්නේ මෙවැන්නකි: “මෙම ඖෂධය ඇත්ත වශයෙන්ම ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම අඩු කරනවා ද කියන එක නිශ්චිතව දැනගන්න නම් තවත් පර්යේෂණ රාශියක් සිදු කිරීම අත්‍යවශ්‍ය යි.”

“මේ දත්ත විද්‍යාත්මකව සිත් ඇදගන්නාසුළු වුණාට, මෙම අධ්‍යයනය මතම පදනම්ව ඇල්සයිමර් රෝගය වළක්වන්න සිල්ඩෙනෆිල් ගන්න පටන්ගන්න මම ඉක්මන් වෙන්නෙ නෑ.”

ටස්මේනියා විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ජැක් ඔටි මෙසේ පවසයි “ඇල්සයිමර්ස් රෝගය පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ දි අපි වසර ගණනාවක් තිස්සේ ගොඩක් ඖෂධ ගැන උද්යෝගයට පත්වුණා. ඒ වුණත් සායනික අත්හදාබැලීම්වල දී ඒ බලාපොරොත්තු බිඳ වැටුණා. මම සිල්ඩෙනෆිල් සම්බන්ධයෙන් මේ පර්යේෂණ කණ්ඩායම සොයාගන්න දේත්, සිල්ඩෙනෆිල් සම්බන්ධ අනෙකුත් පර්යේෂණත් සමීපව අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා.”

බී.බී.සී සන්දේශය ඇසුරිනි

Recommended For You

About the Author: Thusal